මැගී නූඩ්ලස් තහනම් නෑ – දැන්වීම් තහනම්

maggi-noodles

පසුගිය දා ඉන්දියාව තුළ තහනම් කෙරුණු මැගී ක්ෂණික නූඩ්ල්ස් ලංකාව තුළද තහනම් කළ යුතු දැයි තීරණය කිරීමට ජුනි 24 වැනිදා රැස් වූ සෞඛ්‍ය අමාත්‍යාංශ කමිටුව එය තහනම් නොකිරීමට තීරණය කර තිබේ.

එහෙත් පරීක්ෂණ සියල්ල අවසන් වන තුරු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන්හි මැගී නූඩ්ල්ස් පිළිබඳ ප‍්‍රචාරක දැන්වීම් තාවකාලිකව නතර කිරීමටද එම කමිටුව තීරණය කර ඇත.

මොනෝසෝඩියම් බ්ලූටමේට් නමැති අහිතකර රසායනිකය හා ඊයම් අධික ප‍්‍රමාණයක් අන්තර්ගත වීම නිසා ඉන්දියාව නෙස්ලේ සමාගමෙන් නිෂ්පාදික මැගී ක්ෂණික නූඩ්ල්ස් තහනම් කළ අතර ඒ වන විටත් ඉන්දියාවේ තිබූ නූඩ්ල්ස් ටොන් 27,000ක් විනාශ කිරීමට නියෝග කරන ලදී.

ඒ සමඟම මෙරට භාවිත වන නූඩ්ල්ස් වර්ග පිළිබඳ පරීක්ෂණ කිරීමට පාරිභෝගික අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව කමිටුවක් පත් කරන ලදී.

ලංකාවේ නීතියට අනුව ආහාරවල තිබිය හැකි උපරිම ඊයම් ප‍්‍රමාණය මිලිග‍්‍රෑම් 0.3ක් වන අතර මොනෝසෝඩියම් බ්ලූටමේට් භාවිත කිරීමට අවසර නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙළෙඳ දැන්වීම් නතර කළද නූඩ්ල්ස් තහනම් කොට නැත්තේ සමාගම්වලින් එන බලපෑම් නිසා යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ම චෝදනා කරති.

Leave a Reply