ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහළම නිලයක් දරන පුද්ගලයකු පහර දුන්නා – කාන්තාවක් පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ

high-court sri lanka

ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහළම නිලයක් දරණ පුද්ගලයෙකුගේ පහරකෑමට ලක්වූ බව කියන කාන්තාවක් මේවන විට පොලිස් ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

තමාට සිදුවූ පහරදීම හා හිරිහැර සම්බන්ධයෙන් ඇය ඊයේ මධ්‍යම රාත්‍රී 12.15ට පමණ ගල්කිස්ස පොලීසියට පැමිණිලි කළ බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.

බියගම, සියඹලාපේ පදිංචිකාරියක වන ඇය අදාල පුද්ගලයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදුණු කාන්තාවකි.

ඇය අදාල නිවසේ මෙහෙකාර සේවය සඳහා පැමිණ ඇත්තේ පසුගිය 15 වැනිදා බවත් එතැන් සිට තමන්ට මන්ද මානසික දරුවෙකු බලා ගැනීමට බාරවූ බවත් ඇය පොලිසියට ප්‍රකාශ කර තිබේ.

තවද එකී දරුවාද තමන්ට නිතර නිතර පහරදෙන බවත්, ඒ දෙස බලා සිටින නිලධාරියාද පිස්තෝලයකින් තමන්ට පහරදෙන බවත්, ඇය ගල්කිස්ස පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

එසේම පහරදීම නිසා තමන්ගේ දකුණු අතේ උරහිස ප්‍රදේශය ගෙඩී ගැසී ඇති බවද නිවසට පැමිණි දා සිට නිවසින් එළියට යාමට නොදෙන බවද, පපුව ප්‍රදේශයේ ද සිරීම් තුවාල ඇති බව පැමිණිල්ල මඟින් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම සිද්ධිය ගැන ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂවරයා විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර මේ ගැන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

අධිකරණ වෛද්‍ය පෝරමයක් යටතේ මේවන විට අදාල කාන්තාව කළුබෝවිල රෝහලේ පොලිස් කාන්තාවන් දෙදෙනෙකුගේ යටතේ ආරක්ෂාව ලබන බවද පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාල නිවසේ සිටින මේ වන විට සිවිල් ආරක්ෂක නිලධාරින්ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙන බවත් නිවසේ සිටින තවත් මෙහෙකාරිකගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Leave a Reply