ගොවි සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාරයක්, දෙනවා කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය මේකද? – ගොවි අරගල ව්‍යාපාරය
Posted on 06.20.2015 by Sampath in වීඩියෝ පුවත් with 0 Comments
පොරොන්දු වූ බිත්තර වී සහනාධාරය ඉල්ලා දෙහිඅත්තකණ්ඩිය ගොවීන් විසින් ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය නවතන ලෙස උසාවි නියෝගයක් ලබාදී තබූ අතර ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඊයේ (18) දින රාත්‍රී 12ට පමණ පහර දී සත්‍යග්‍රහ අට්ටාලයද රැගෙන ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා ගොවි අරගල ව්‍යාපාරයේ මාධ්‍ය හමුවක් අද (19) දින කොළඹදී පැවැත්වූ අතර එම ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික ජයන්ත රන්දෙනිය හා තවත් ගොවි සංවිධාන දෙකක සභාපතිවරු ඊට සහභාගී විය.
එහිදී ගොවි අරගල ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික ජයන්ත රන්දෙනිය විසින් දැක්වූ අදහස්
‘‘පහුගිය රජය මගින් ගොවීන් සදහා බිත්තර වී සහනාධාරය ලෙස රුපියල් 700ක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වුණා. ජනාධිපතිවරණය අවසන් වුණාට පස්සේ ඒ පොරොන්දු වුණ බිත්තර වී සහනාධාරය දීලා නෑ. ඒ නිසා දෙහිඅත්තකණ්ඩිය ගොවි ජනතාව විදියට අපි පහුගිය 17 දින ගොවි සංවිධාන කිහිපයක සවිධානත්වයෙන් ගොවියෝ දෙතුන්දාහක් එකතු වෙලා උද්ඝෝෂණයක් කළා. මේ උද්ඝෝෂණයේ අරමුණ වුණේ බිත්තර වී සහනාධාරය ලබාදෙන ලෙස පාලකයන්ට බලකිරීම. ඒ උද්ඝෝෂණය අවසානයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා. මෙම සත්‍යග්‍රහයට ඊයේ රාත්‍රී 12ට පමණ පොලිස් නිලධාරීන් උසවි නියෝගයක් එක්ක ඇවිල්ලා පහර දීලා සත්‍යග්‍රහ අට්ටාලය ගලවගෙන ගියා. වත්මන් පාලනය ගොවීන්ට ඉල්ලීම් දිනාගැනීම සදහා තිබෙන අයිතිය පවා අහෝසි කරමින් සිටින්නෙ. මේ පාලනය සිදුකරමින් සිටින්නේ ජනතා උද්ඝෝෂණ අධිකරණය භාවිතාකර මර්දනය කරන රාජපක්ෂ පාලනයේ පරණ වැඩපිළිවෙලමයි.
එක පැත්තකින් ආණ්ඩුව මේවිදියට ගොවීන්ගේ බිත්තර වී සහනාධාරය ලබානොදෙන තත්ත්වයක් පවතිද්දී අනෙක් පැත්තෙන් පහුගිය මාස් කන්නයේ ඇදහැලුණු වර්ශාවත් සමග ගොවීන්ගේ කුඹුරු සොදාපාලුවට ලක්වුණා. ගොවීන්ට රක්ෂණයක් ලබාදෙනවා කියලා ගොවියකුගෙන් රුපියල් 150ක මුදලක් අයකරනවා. එහෙම අයකරලත් ගොවීන්ගෙ පාලුවූ ගොවිතැන් සදහා වන්දි ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ.
අනෙක් පැත්තෙන් ගොවිතැන සදහා යොදාගන්නා පොහොර ඉතා අධික මිලගණන් යටතේ අලෙවිකරන තත්ත්වයක් තුළ ගොවීන්ට රුපියල් 350 පොහොර සහනාධාරයවත් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ.
අනෙක් කාරණය විදියට තියෙන්නේ ගොවීන්ගේ අස්වැන්න අළෙවි කරගන්න බැරි ප්‍රශ්නය. අස්වනු කපන කාලෙට ‘අපි වී මිගදී ගන්නවා’ කියලා ආණ්ඩුව කියනවා. නමුත් පහුගිය කාලය පුරා හැම ආණ්ඩුවක්ම මිලදී ගත්තේ වී නිෂ්පාදනයෙන් සියයට දෙකක් හෝ තුනක් විතරයි. ඒ තත්ත්වය තුළ වී මිලදී ගන්න සමාගම් කුණු කොල්ලයට වී මිලදී ගනිමින් සිටිනවා. මේ නිසා ගොවීන්ට ජීවත්වීමට නොහැකි තත්ත්වයක්, වස පානය කිරීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා.
මේ විදියට ගොවීන් විශාල අසාධාරණයකට ලක්වෙලා තියෙන මොහොතක තමයි ඒ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් උද්ඝෝෂණය කරලා අඛණ්ඩ සත්‍යග්‍රහයකට වාඩිවුණේ. ඒ විදියට සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට ආණ්ඩුව පොලිසිය මැදිහත්කරගෙන පහරදීලා කඩාකප්පල් කරන්න උත්සහ කරනකොට ගොවීන් විදියට අපට ආණ්ඩුවෙන් අහන්න තියෙන්නේ දෙනවා කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය මේකද කියලා.
අපට ආණ්ඩුවට කියන්න තියෙන්නේ මේ වගේ කඩාකප්පල්කාරී ක්‍රියා හරහා ගොවීන් විදියට අපි ආරම්භ කරපු අරගලය නවත්වන්න බෑ. අපි අපේ අරගලට ඉදිරියට අරගෙන යනවා. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් ආරම්භ කළ මෙම අරගලයට සහාය දෙන්න කියලා.’’
Related News