හොරා කාපු දන සිතුසේ – යකා නටයි ‘ලක් සතොසේ’

ravi-karunanayake-lak-sathosa

මීට සති තුනකට පෙර, මැයි 31 වැනිදා ජනරළ පුවත්පතේ පළමු පිටුවේ පළ වූ ප‍්‍රවෘත්තියක සිරස්තලය වුණේ ‘ලක් සතොස සියදිවි නසා ගන්න යයි’ කියන වාක්‍යය. ඊට පසු සතියේ, එනම් ජුනි 7 කලාපයේ පළමු පිටුවේ පළ වූ තවත් ප‍්‍රවෘත්තියක ‘සතොස වැහෙන ලකුණු’ යැයි සඳහන්ව තිබුණා. ඇත්තටම සතොසට වෙන්න යන්නේ මොකක්ද? සතොස සියදිවි නසා ගන්න යනවාද? එහෙමත් නැතිනම් සතොස මරාදමන්න යනවාද? මේ දෙකෙන් කුමක් වුණත් සතොස මිය යමින් තිබෙන බවනම් පැහැදිලියි. අපි මේ කතා කරන්න යන්නේ සතොස මියයාමේ හේතුව. ඒ කියන්නේ මේ කරන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය. සතොස මැරෙනකල් බලාගෙන ඉඳලා පශ්චාත් මරණ පරීක්ෂණ තියලා වැඩක් තියෙනවද කියලා කවුරු හරි අහන්න පුළුවන්. ඒ ප‍්‍රශ්නය ඉතින් පසුගිය ජනාධිපතිවරණෙදි මහින්දට ඡුන්දය දුන්න අයගෙනුයි, මෛත‍්‍රීට ඡුන්දය දුන්න අයගෙනුයි අහන්න ඕන ප‍්‍රශ්නයක්.

ජනරළ ප‍්‍රවෘත්ති දෙකේ සඳහන් වෙලා තිබුණේ ලංකා සතොස වැහෙන්න අදාළ හේතු කිහිපයෙන් එක හේතුවක්. ඒ තමයි සැපයුම්කරුවන් ලංකා සතොසට භාණ්ඩ සැපයීම නතර කරලා විශාල භාණ්ඩ හිඟයක් ඇති වෙනවා කියන එක. මේ දවස්වල දිවයින පුරා තිබෙන ලංකා සතොස සුපිරි වෙළෙඳසැල් 300න් එකකට ගියොත් බඩු නැතිව රාක්ක පාලූ වෙලා තිබෙන විදිය දකින්න පුළුවන්. ප‍්‍රශ්නය මේ පාලූවෙලා ගිය රාක්ක දැක්කම පාරිභෝගිකයන් ලංකා සතොසට එන්නෙ නෑ. නැති බඩු ගන්න එන අය විතරක් නෙවෙයි තියෙන බඩු ගන්නවත් පාරිභෝගිකයන් එන්නේ නෑ. ලංකා සතොස 1982 අංක 17 දරන පණත යටතේ පිහිටවපු රාජ්‍ය වගකීම සහිත සමාගමක්. ඒකට බඩු සපයන සැපයුම්කරුවන්ට රාජ්‍ය වගකීම පිළිබඳ සුරක්ෂිතතාවක් තිබෙනවා. එහෙනම් ඒ අය සැපයුම් නතර කරන්නේ ඇයි? ඒකට ප‍්‍රධාන හේතුව අලූත් ආණ්ඩුව බලයට පත් වූ විගස ගත් ක‍්‍රියාමාර්ග දෙකක් නිසා කුඩා පරිමාණ සැපයුම්කරුවන්ට ක‍්‍රියාවලියෙන් ඉවත් වෙන්න සිදු වීම.

ආණ්ඩුව පසුගියදා පැනවූ එක කොන්දේසියක් තමයි සතොසට භාණ්ඩ සපයන සැපයුම්කරුවන්ට ඔවුන් සැපයූ භාණ්ඩ සඳහා මුදල් ගෙවීම ප‍්‍රමාද කිරීම. සාමාන්‍යයෙන් සතොස භාණ්ඩ මිලදී ගන්නේ අත්පිට මුදලට නෙවෙයි. භාණ්ඩ මිලට අරන් උපරිම දින 30ක සීමාවක් ඇතුළේ ඒ ගත් බඩුවලට මුදල් ගෙවනවා. මාසයකින් මුදල් ගන්නා පදනම මත සතොසට භාණ්ඩ සපයන කුඩා සැපයුම්කරුවන් ගණනාවක් ඉන්නවා. ගත් භාණ්ඩවලට මුදල් ගෙවීමේ උපරිම දින සීමාව දින 30 සිට 90 දක්වා ඉහළ නංවන්න මෑතකදී ලංකා සතොස පාලනාධිකාරය තීරණය කළා. මහා පරිමාණ සමාගම්වලට කොහොම උනත් කුඩා සැපයුම්කරුවන්ට මේක දරාගන්න බෑ. ඔවුන්ට තමන් සැපයූ බඩුවල මුදල් ලැබෙනතුරු මාස 3ක් බලා ඉන්න බෑ. අනෙක් එක සතොස සැපයුම්කරුවන්ට කලින් පොරොන්දු වූ ආකාරයට මුදල් ගෙවලත් නෑ. මේ වන විට සැපයුම්කරුවන්ට ගෙවන්න තිබෙන මුළු මුදල රුපියල් බිලියනයකට අධිකයි. (රුපියල් කෝටි 100ක්)

අනෙක කලින් පැවැති ක‍්‍රමයට අනුව සැපයුම්කරුවන් මාලිගාවත්තේ පිහිටි ලංකා සතොස මධ්‍යම ගබඩාවට බඩු ගෙනත් දෙනවා. ඒවා රට වටා පිහිටි සතොස සුපිරි වෙළෙඳසැල්වලට බෙදාහරින්නේ සතොස මඟින්. නමුත් අලූත් ආණ්ඩුව මෑතකදී ඒ මාලිගාවත්ත මධ්‍යම ගබඩාව වසා දැමුවා. දැන් සැපයුම්කරුවන්ට ඒක කරන්න බෑ. කොළඹ ඉන්න භාණ්ඩ නිෂ්පාදකයෙක් මහනුවර, මාතර, අනුරාධපුරය වැනි පළාත්වලට ගොස් බඩු බෙදන්නේ කොහොමද? මේ හේතු මත සැපයුම්කරුවන් ලංකා සතොසට භාණ්ඩ සැපයීමෙන් ඉවත් වෙමින් යනවා. මේ වන විට සතොස සැපයුම්කරුවන් 70කට වැඩි ප‍්‍රමාණයක් භාණ්ඩ සැපයීමෙන් ඉවත් වී තිබෙනවා. ඔවුන් ඉවත්වීම නිසා භාණ්ඩ හිඟයක් ඇතිවී සතොස පාලූවට යනවා, පාරිභෝගිකයන් දුරස් වෙනවා.

සතොසේ ගෙල හිරකරන එකම ප‍්‍රශ්නය මේ සැපයුම්කරුවන් පිළිබඳ ප‍්‍රශ්නය විතරක් නෙවෙයි, පසුගිය ආණ්ඩු කාලයේ සතොස හරහා අඩු මිලට හාල් විකුණන්න ගත් තීරණයත් වත්මන් ආණ්ඩුව එහි වගකීම භාර නොගන්න ගත් තීරණයත් සතොසට මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පසුගිය කාලයේ, මහින්ද රාජපක්ෂ පාලන සමයේ අවසන් කාලයේ දේශීය සහල් මිල වේගයෙන් ඉහළ ගියා. ඒ කාලයේ හිටපු ආණ්ඩුව චෝදනා කළේ එවකට ජනාධිපති අපේක්ෂක, වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ සොහොයුරෙක් කෘත‍්‍රිම ලෙස සහල් මිල ඉහළ නංවනවා කියලා. හදිසියේ සහල් මිල අඩු කරන්න ඒ ආණ්ඩුව මෙහෙයුම භාරදුන්නේ සතොසට. ලංකා සතොස මහජන බැංකුවෙන් රුපියල් මිලියන 5,000ක හා ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 1,800ක ණය අරන් විදේශවලින් සහල් තොග ගෙන්වුවා. මේ සහල් විකුණුවේ ඒවා ගත් මිලට වඩා රුපියල් 10ක් අඩු මිලට. ඒ පාඩුව පියවන්න භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරන බවට ඒ කාලයේ කැබිනට් අනුමැතියක් ගෙන තිබුණා. අලූත් ආණ්ඩුව ආවට පස්සේ භාණ්ඩාගාරයෙන් මේ මුදල නොගෙවන්න තීරණයක් ගත්තා. තීරණය ගත්තේ මුදල් අමාත්‍යාංශය. මේ නිසා දැන් සතොසට සහල් විකිණීමෙන් වූ රුපියල් මිලියන 2,870ක අලාභය පියවා ගන්න විදියක් නෑ. බැංකුවලින් ගත් මුළු ණය මුදල රුපියල් මිලියන 6,800ක්. ඒකෙන් රුපියල් මිලියන 4,000ක් පමණ යළි උපයාගෙන තිබෙනවා. නමුත් ඒ සල්ලිවලටත් වුණු දෙයක් නෑ. මහින්ද රාජපක්ෂ පාලනයේ සිටි කම්බහොරු ඒ මුදල්වලට කළ දේ වෙනම හොයන්න ඕන. අනෙක ඉතිරි වී තිබුණු සහල් තොග පිටකොටුවේ ව්‍යාපාරිකයකුට හොර රහසේ විකිණූ මේ පාලනයේ කම්බහොරු ගැනත් හොයන්න ඕන. සතොස ගැන කැකිල්ලේ නඩු තීන්දු දීලා, ඒකේ ණය ගෙවන වගකීමෙන් භාණ්ඩාගාරය ඉවත් වෙන්න ගත් තීරණයට හේතුවත් හොයන්න ඕන.

කොහොම වුණත් මේ හැම ආණ්ඩුවෙම වැඩ නිසා සිදු වී ඇත්තේ සතොස අවසන් හුස්ම හෙළමින් සිටීම. සතොසේ මරණය පාරිභෝගිකයන්ට දුක්මුසු ප‍්‍රවෘත්තියක් වුණත් අඩු මිලට භාණ්ඩ ගන්න ලංකා සතොසට යන්නේ නැති, ඉසුරුමත් ජීවිත ගතකරන සතොස පාලනාධිකාරියට නම් ඒක සතුටුදායක පුවතක්. ඔවුන් දැනට දිවයින පුරා පිහිටි ලංකා සතොස සුපිරි වෙළෙඳසැල් 300න් වැදගත්ම ස්ථානවල පිහිටා තිබෙන සුපිරි වෙළෙඳසැල් 200ක් කාගිල්ස් ෆුඞ්සිටි සුපිරි වෙළෙඳසැල් ජාලයට විකුණන්න සූදානම් වෙනවා. දැනටමත් මේ සම්බන්ධ සාකච්ඡුා දියත් වෙමින් පවතින බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ලංකා සතොස මරණය සියදිවි නසා ගැනීමක් නොව පෞද්ගලිකකරණ ප‍්‍රතිපත්තිය යටතේ කෙරෙන මිනීමැරුමක් දැයි සොයා බැලිය යුත්තේ මේ නිසා. ආණ්ඩුව ගෙන යන නවලිබරල් ප‍්‍රතිපත්තියට අනුව නම් සිල්ලර වෙළෙඳාමේ වගකීමෙන් රජය ඉවත් වී එය පෞද්ගලික අංශයට පැවරිය යුතුයි. මේ සිදුවෙමින් පවතින්නේ ඒකද? අඩු මිලට සහල් මිලදී ගැනීමට ලංකා සතොස වෙත යන පාරිභෝගිකයන්ටත් 3,200ක් වන සතොස සේවකයන්ටත් ඉන් අනතුරුව වෙන දේ පාලකයන්ට අදාළ නෑ. (දැනට ලංකා සතොස සුපිරි වෙළෙඳසැල් ජාලයේ දෛනික ආදායම වන රුපියල් මිලියන 80න් රුපියල් මිලියන 50ක්ම උපයන්නේ සහල් විකිණීමෙන්. රජයේ සහනයක් යටතේ අඩු මිල සහල් ගන්න පාරිභෝගිකයා සතොස වෙත යන සම්ප‍්‍රදායක් ගොඩනැඟී තිබෙනවා)

සතොස මේ විදියට ඇද වැටෙන්න පසුගිය ආණ්ඩු කාලේ කළ හොරකම් ගැන හොයන්නේ නැද්ද? හොරකම් සෙවීම කොහොම වුණත් ඒ හොරකම් අඛණ්ඩව ඉදිරියට ගෙනයාම නම් ජයටම සිදුවෙනවා. මේ ආණ්ඩුව බලයට පත්වූ විගස ලංකා සතොස අයත්ව තිබුණේ ආහාර සුරක්ෂිතතා ඇමැති ගාමිණී ජයවික‍්‍රම පෙරේරාට. පසුව ඔහුගෙන් මේ ආයතනය ඉවත් කරලා ඒක කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඞ් බදියුදීන්ට පැවරුවා. රාජපක්ෂ පාලන කාලයේ සිටි ලංකා සතොස සභාපතිවරයා වන එරාජ් ප‍්‍රනාන්දු බදියුදීන්ගේ ගජමිතුරෙක්. ඒ නිසා හොරකම් ඇල්ලීම කොහොම සිදුවෙයිද කියලා අපට අනුමාන කරන්න පුළුවන්. කොහොමත් ඒ හොරුන් මේ හොරුන් දෙගොල්ලොම එකතු වෙලා ලංකා සතොස මරා දමන්න යන බව නම් පැහැදිලියි. සිල්ලර වෙළෙඳාම ක්ෂේත‍්‍රයේ රාජ්‍ය මැදිහත්වීම හෝ අඩු මිල භාණ්ඩ සපයන සමාජ ආරක්ෂණය අනුමත නොකරන වත්මන් පාලකයන්ගේ ප‍්‍රතිපත්තිය ඒ මරණය වඩාත් වේගවත් කරයි.