පෞද්ගලික සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමේ පනත, ගෞරවනීය විදියට ගේනවාද? අරගල මැද්දෙ ගේනවාද? – කම්කරු ඇමති තීරණය කරන්න – අජිත්
Posted on 06.23.2015 by Sampath in වීඩියෝ පුවත් with 0 Comments
යම්කිසි මන්ත්‍රීවරයෙකු කම්කරු විශය සම්බන්ධයෙන් පෞද්ගලික පනතක් ඉදිරිපත් කළහොත් එය සාකච්ඡාවට ගන්නවාද නැද්ද යන තීරණය කිරීම කම්කරු ඇමතිවරයාගේ කටයුත්තක් බවත් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප රුපියල් 2,500කින් වැඩිකිරීම සඳහා තමන් විසින් ගෙන පනත සාකච්ඡාවට ගැනීම ඔහුගේ වගකීමක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර පවසයි.
වැඩිදුරටත් ඔහු පැවසූවේ දැන් එම පනත ගෞරවනීය ලෙස සාකච්ඡාවට ගන්නවාද, නැතිනම් ජනතා අරගල මැද්දේ සාකච්ඡාවට ගන්නවාද යන්න කම්කරු ඇමතිවරයාට අභියෝගයක් බවත් ඉන් ලේසි ක්‍රමට ඔහු තෝරාගත යුතු බවත්ය.
ඔහු මේ අදහස් පලකළේ මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා අද (23) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති විසින් සංවිධානය කළ මෙම මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර විසින් සිදුකළ අතර මේ සඳහා කම්කරු අරගල මධ්‍යස්ථානය නියෝජනය කරමින් වෛද්‍ය රණසිංහ ද සහභාගී විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර
වැඩකරන ජනතාවට සැබෑ ලෙසම වගකීම ඉෂ්ඨ කරන්නේ කව්ද කියලා බලාගන්න දැන් රටේ ජනතාවට හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. දැන් ආණ්ඩුවට නීති කෙටුම්පත් යව යව පනත් හද හදා ඉන්න ඕනෙ නෑ, පනත හදලා තියෙන්නේ. වෘත්තීය සමිති ව්‍යාපාරය පනත හදලා තියෙනවා, ඒ පනත ගැසට් කරලා තියෙනවා, අද හවස 01ට ඒ පනත ඉදිරිපත් කරනවා. ආණ්ඩුවට තීරණයක් ගන්නවා නම් හෙට පක්ෂ නායක රැස්වීම කැඳවලා, ඊලඟ පාර්ලිමේන්තු සතිය එනවා තව සති දෙකකින් මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන්. පාර්ලිමේන්තු ඉතිහාසේ 225ම එකතු වෙලා ඒක මතිකව සම්මත කරන්න පුළුවන් පනතක් මේක.
දැන් ආණ්ඩුවයි විපක්ෂයයි කියලා දෙකක් නෑ, මේ රටේ වැඩකරන ජනතාවගේ ශ්‍රමයට වටිණාකමක් දෙන්න මේ කව්රුවත් කටයුතු කරළා නෑ. වෘත්තීය සමිති ව්‍යාපාරය මේ පනත අපිට ඉදිරිපත් කරපු වෙලාවෙ ඉතාම කැමැත්තෙන් මේක ඉදිරිපත් කරන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදියට තීරණයක් ගත්තා. හැබැයි අපි විශ්වාස කරන්නේ නෑ රුපියල් 2,500 කින් හරි 5,000කින් හරි වැටුප් වැඩිකරලා මේ රටේ වැඩකරන ජනතාවට සාධාරණයක් වෙනවා කියලා. මේ රට විතරක් නෙමෙයි ලෝකෙම දුවවන්නේ මේ වැඩකරන මිනිස්සු. හැබැයි ඒ වැඩකිරීමට පාලකයෝ වටිණාකමක් දෙනවාද? වැඩකරන ජනතාව රුපියල් 100ක් පටි වැඩිකරලා ඉල්ලුවොත් පොලීසිය හමුදාව ඇවිල්ලා වෙඩි තියනවා, කඳුලු ගෑස් ගමනවා. හැබැයි ඒ මනුස්සයා ජීවත් වෙන්නේ කොහොමද, බෙහෙත් ටිකක් ගන්නේ කොහොමද කියන ප්‍රශ්නය හාම්පුතාගෙන් අහන්නේ නෑ. හාම්පුතාට නීති ක්‍රියාත්මක කරන්නේ නෑ. නීති ක්‍රියාත්මක කරන්නේ වැඩකරන ජනතාවට විතරයි. ඒ ජනතාව වැඩකරන එක් නැවැත්තුවොත් මොකක්ද වෙන්නේ?
අද මේ රටේ වැඩකරන අයට පඩියක් දෙන්නේ මොකටද? ජීවත් වෙන්නද? නෑ. හෙට වැඩට එන්න. මේ අයට පුළුවන් නම් මේ පඩිය මීට වඩා අඩු කරන්න, ඒක කරනවා. ඇයි ඒක කරන්නේ නැත්තේ? ඒක අඩු කළෝතින් මේ වැඩකරන මිනිහට කන්න නැති හින්දා හෙට වැඩට එන්න බෑ. ඒ නිසා දැන් පඩියක් දෙන්නේ ගෙයක් හදන්න, දරුවට උගන්වන්න, විනොද වෙන්න, ජීවිතය ගතකරන්න නෙහෙයි හෙට වැඩට එන්න. හෙට වැඩට ආවෙ නැත්නම් මේ හාම්පුතුන්ට, ප්‍රාග්ධන හිමියන්ට ලාභ හොයන්න බෑ. ඒ නිසා පඩියක් දෙන්නේ හෙට වැඩට එන්න. අද වැඩකරන ජනතාවට විවේකයක් නෑ. පඩි මදි නිසා අතිකාල කරන්න, වැඩිපුර වැඩකරන්න, අතිරේක රස්සා කරන්න වෙලා තියෙනවා. විවේකයක් නෑ. මේ විවේකය හරි දෙන්නේ මොකටද? මේ විවේකය හරි නැති වුණොත් හෙට වැඩකරන්න බෑ. කලන්තෙ දාලා වැටෙනවා, ලෙඩ වෙනවා. දැන් වැඩකරන ජනතාව මේ ලාභ ලබන ව්‍යාපාරිකයන්ගේ යන්ත්‍ර සූත්‍රවලම ඇණයක් මුරිච්චියක් බවට පත්කරලා තියෙන්නේ. සත්තු බවට වහල්ලු බවට පත්කරලා තියෙන්නේ. ඒ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සටන ඉතා දිගු සටනක්. මේ වැඩකරන ජනතාව ඒ වහල්භාවයෙන් නිදහස් කරගැනීම තමයි අපේ සටන. රුපියල් 2,500ක 5,000ක වැටුප් වැඩිකරගැනීමට එහා ගියපු සටනක් අපිට තියෙනවා.
නමුත් වෘත්තීය සමිති ව්‍යාපාරය විදියට මේ වෙලාවේ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා, රුපියල් 5,000ක වැටුප් වැඩිවීමක්. රජය යෝජනා කරලා තියෙනවා රුපියල් 2,500ක වැටුප් වැඩිවීමක් වෘත්තීය සමිති ව්‍යාපාරය කියලා තියෙනවා හරි කමක් නෑ, රුපියල් 2,500ක් හරි වැඩිකරපන් කියලා. ඒ පාලකයෝ කියපු එකවත් කරන්නේ නැති නිසා දැන් පනතක් ගෙනල්ලා තියෙනවා. ඇත්තටම රුපියල් 2,500ක් පඩි වැඩිකරනවා කියලා කිව්වේ මෛත්‍රීපාල, රනිල්, හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ එකතු වුණු මේ සභාග ආණ්ඩුව. අතුරු අයවැයක් ඉදිරිපත් කළා, ඒ අතුරු අයවැයට පාර්ලිමේන්තුවේ විරුද්ධ වුණේ මම විතරයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදියට අපි අතුරු අයවැයට විරුද්ධ වුණා. මේ අතුරු අයවැයේ කියපුව කරන්නෙත් නෑ, කියපුවා සාධාරණත් නැති නිසා අපි විරුද්ධ වුණා. දැන් මෙන්න තියෙනවා අවස්ථාව කියපුවා කරන්න.
මොකක්ද කිව්වේ? රවී කරුණානායක අමාත්‍යවරයා යෝජනාවක් ඉදිරිපත් කළා ‘‘පුද්ගලික අංශයේ ප්‍රධාන ගැටළු පිළිබඳ අවබෝධයක් අපට ඇත. කෙසේ වුවත් බලශක්ති ඇතුළු යෙදවුම් පිරිවැය අඩුවීම සැළකිල්ලට ගනිමින්, සේවකයකුගේ මාසික වැටුප රුපියල් 2,500කින් වැඩිකරීමට සළකා බලන ලෙස පුද්ගලික අංශයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටීමට මා කැමතියි.” ඉල්ලා සිටියට හාම්පුතුන් දුන්නද? ඉතාම කලාතුරකින් කීපදෙනෙක් දුන්නා නම් ඇරෙන්න කිසිම කෙනෙක් දීලා නෑ.
මේ රටේ කාරමික නීති ගොඩක් තියෙනවා. අරථසාධක, පාරිතෝෂිත පිළිබඳ නීති ගොඩක් තියෙනවා, කම්කරුවන් වැඩෙහි යෙදවීම පිළිබඳ නීති තියෙනවා. මේ නීති කිසිවක් බොහෝ හාම්පුතුන් ක්‍රියාත්මක කරන්නේ නෑ. ඒ නීතිගත කරලා තියෙන නීති ක්‍රියාත්මක කරන්නෙ නැති හාම්පුතුන්ගෙන් ඉතා ඕනෑකමින් රවී කරුණානායක අමාත්‍යවරයා ඉල්ලනවා. දෙනවද? දුන්නේ නෑ. ඒ නිසා වෘත්තීය සමිති බලකළා පනතක් ගේන්න කියලා. මීට කලින් 1978 ජාතික රාජ්‍ය සභාවෙ අයවැයෙන් එහෙ එකක් යෝජනා කළාම හාම්පුතුන් ඒක ක්‍රියාත්මක කරන්නේ නැති බව දැනගෙන රජය පනතක් ගෙනාවා. ඒක තමයි 1978 අංක 18 දරන කම්කරුවන්ගේ අයවැය සහන පනත. ඊට පස්සේ 2005 අංක 36 දරණ සේවකයන්ගේ අයවැය සහන පනත කියලා මේ විදියටම කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම ගැන පනතක් ගෙනාවා. මේ පනත් පදනම් කරගෙන 2015 අප්‍රෙල් 28 වෙනිදා මම පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළා. ජූලි මාසේ පළවෙනිසා ඒක ගැසට් කළා, අද පාර්ලිමේන්තුවට සභාගත කරනවා.
අපි දන්නවා සාමාන්‍යෙයන් කෙනෙක් අපි හම්බුණාම අහන්නේ ‘20 ගෙනෙයිද?’ ‘ආණ්ඩුව විසුරවයිද?’ ‘රවී කරුණානායකගේ විශ්වාසභංගය එයිද?’ ‘රනිල් වික්‍රමසිංහගේ අගමැතිකම වෙන කාට හරි යයිද?’ වගේ ප්‍රශ්න. මේවද මේ රටේ ප්‍රශ්නෙ? දැන් රටේ පාලකයෝ ජනතාවට ප්‍රශ්න ටිකක් දාලා තියෙනවා උඩ දදා ඉන්න. ඔය මොනවත් නෙමෙයි ජනතාවගේ ඇත්ත ප්‍රශ්න. ළමයා ඉස්කෝලෙ යවන්න බෑ, ළමයගේ අඩුපාඩුකම් ටික දෙන්න බෑ, ඉස්කෝලෙ සල්ලි අයකරනවා, ඉස්කෝලෙට ආණ්ඩුව සල්ලි වෙන්කරන්නේ නෑ, ඉස්පිරිතාලෙට ගියාම බෙහෙත් ටිකක් හම්බවෙන්නේ නෑ, බෙහෙත් සල්ලිවලට ගන්න ඕන, ඔව තමයි ජනතාවගේ ඇත්ත ප්‍රශ්න. මේවට උත්තරයක් වෙන විදියේ වැටුපක්, දීමනාවක් මිනිස්සුන්ට නෑ. හැබැයි පාලකයො, ජනමාධ්‍ය මේ හැමෝම ජනතාවට තමන්ගේ ප්‍රශ්නෙ කතාකරන්න බැරිවෙන්න වෙනත් ප්‍රශ්න ගෙනල්ලා තියෙනවා. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න කතාකරන්නේ නෑ. මෙන්න ගෙනල්ලා තියෙනවා තමන්ගේ ප්‍රශ්නයක්. ඒ නිසා අපි පාලකයන් තමන්ගේ ප්‍රශ්න නොවන ප්‍රශ්න අතඇරලා තමන්ගේ ප්‍රශ්නය සාකච්ඡාවට ගන්න. ලක්ෂ 80ක් වැඩකරන ජනතාව තමුන්ගේ ප්‍රශ්නය ගන්න සාකච්ඡාවට. පාසල් යවන දරුවො ඉන්න දෙමාපියෝ තමුන්ගේ දරුවගෙ ප්‍රශ්නය සාකච්ඡාවට ගන්න. ඉස්පිරිතාලෙ බෙහෙත් පෝලිමේ ඉඳගෙන පීඩා විඳින රෝගියා තමන්ගෙ ප්‍රශ්නෙ සාකච්ඡාවට ගන්න. ඒ අතරේ අපි පෞද්ගලික අංශයේ සේවකයාගේ ප්‍රශ්නය ගෙනල්ලා තියෙනවා.
පෞද්ගලික අංශයේ සේවකයෝ ලක්ෂ 80ක් ඉන්නවා. ලක්ෂ 80ක් එකපාරට නෑ කියලා කිව්වොත් ඒක හෙන ගහන ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුවට මොකුත් කරන්න බෑ. විශේෂයෙන් අපි වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, මේ සාකච්ඡාව ගන්න. ඉල්ලා හිටින්න. බලකරන්න. එතකොට මේ පාර්ලිමේන්තුවට මේකට යටත් වෙන්න සිද්ධවෙනවා.
පාර්ලිමේන්තුවේ අපි දැක්කා හදිසි පනත් ගෙනාවා. න්‍යාය පත්‍ර වෙනස් කර කර එක එක එව්වට ගත්තා. දැන් අදයි හෙටයි පාර්ලිමේන්තුවේ තියෙන්නේ මේ දවස් දෙකේම කතාකරන්නේ මේ රටේ ව්‍යවස්ථා සංශෝධනයක් ඕනැද නැද්ද කියලා. ඇයි ඒවා සාකච්චා කරන්නේ මේ ප්‍රශ්නෙ යටගහන්න. පහුගිය පාර්ලිමේන්තුවේ දවස් 04 ක් සාකච්ඡා කළා ශෝක යෝජනා ගැන. මිය ගිය මන්ත්‍රීවරුන් ගැන ශෝකය ප්‍රකාශ කරලා ගෙදරට ලිවුමක් යවන්න. ජනතාවගෙ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ නෑ. මෙන්න සාකච්ඡා කරනවා නම් ප්‍රශ්න. අපි අභියෝග කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ පනත සාකච්ඡා කරන්න. ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ සඳහා බලපෑම් කරන්න.
යම්කිසි මන්ත්‍රීවරයෙක් කම්කරු විශය සම්බන්ධයෙන් පනතක් ගෙනාවාම ඒ පනත සාකච්ඡාවට ගන්නවාද නැද්ද කියන තීරණය තියෙන්නේ ඔහු අතේ. ඒකත් ප්‍රශ්නයක්. දැන් කම්කරු ඇමතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික. අපි ඉල්ලන්නේ එතුමගේ සල්ලි නෙමෙයි. අපි ඉල්ලන්නේ කම්කරුවෙක් දවසට හාම්පුතුන්ට උපයලාදෙන ආදායමෙන් සොච්චමක්. ඔහුට පුළුවක් මේක ගේනවාද නැද්ද කියලා තීරණය කරන්න. ගේනනෙ නැත්නම් ජනතාව අතේ තීරණයක් තිවෙනවා. පාලකයන්ට අභියෝගයක් තියෙනවා ගෞරවනීය විදියට මේ පනත ගේනවාද? නැත්නම් ජනතාවගේ අරගල මැද්දේ මේ පනත ගේනවාද දෙකෙන් ලේසි එක තොරගන්න.
Related News