වෙද කඬේ වෙන පාරකින් එයි

saitam

මාලඹේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයට අනුමැතිය ලබාදිය නොහැකි බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ප‍්‍රකාශ කිරීමත් සමඟ එයට යළි නීතිමය තත්වයක් හිමි කර ගැනීම සඳහා වෙනත් ආකාරයක සැලැස්මක් දියත් කර ඇතැයි වාර්තා වේ.

එම ආයතනයේ වගකිව යුත්තන් වන වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු සහ එහි අධ්‍යක්ෂ සමීර සේනාරත්න යෝජනා කරන විකල්ප මොනවාදැයි විමසීමට ඔවුන් දෙදෙනා මුණගැසීම සඳහා සිසුන්ගේ මව්පියන් කාලයක් තිස්සේ උත්සාහ කළත් ඔවුන් දෙදෙනාම මඟහරින බව වාර්තා විය.

පසුව පසුගිය සිකුරාදා මව්පියන් පිරිසකට සමීර සේනාරත්න මුණ ගැසී ඇති අතර එහිදී ඔවුන් අතර ගැටුමක්ද ඇති වී තිබෙන බව සිද්ධිය ඇසින් දුටුවකු ජනරළට පැවසීය. කෙසේවෙතත් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය නීත්‍යනුකූල කර ගැනීම සඳහා නව සැලැස්මක් දියත් කිරීමට එම ආයතනය සූදානම් වේ.

එහි එක් පියවරක් ලෙස මේ සතියේ අඟහරුවාදා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ අතර බදාදා පුවත්පත්වල පුවත්පත් දැන්වීමක්ද පළ කර තිබිණි.

මේ දිනවල එම ආයතනය සෞඛ්‍ය ඇමැතිවරයා සහ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡුා කිරීමට උත්සාහ කරමින් සිටින බවද වාර්තා වේ.

ඔවුන් පවසන්නේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප‍්‍රතික්ෂේප කළ ආයතනයකට වුවද උපාධි ප‍්‍රදානය කිරීමේ බලය ලබාදීමේ හා රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබාදීමේ බලය අදාළ ඇමැතිවරුන්ට ඇති බැවින් දේශපාලන මැදිහත්වීමකින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යනුකූල කළ හැකි බවයි.

මේ අතර තවත් මව්පියන් පිරිසක් මෙම ආයතනය රජයට පවරා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටීමට සූදානම් වන බව ජනරළ වාර්තා කරයි

ප‍්‍රසන්න ජයවීර