‘‘සැබැවින්ම, සිරකඳවුරුහි ඉතිහාසය යනු රාජ්‍යයේ කෲර බව පිළිබඳ ඉතිහාසය වේ. එමෙන්ම සිරකඳවුරුහි ඉතිහාසය යනු රාජ්‍යයේ කෲරත්වයට එරෙහිව අරගල කරන්නවුන්ගේ අධ්‍යාත්මය නිරූපණය කරන්නා වූ ඉතිහාසයද වේ.”
මෙසේ සටහන් වූයේ තිස්ස නිහාල් වික‍්‍රමසිංහ විසින් රචනා කරන ලද ‘සිරගෙයි නිමැවුම්’ කෘතියේ පෙරවදනෙහිය. එදා මෙම පෙරවදන ලියා තිබුණේ විමල් වීරවංශ විසිනි. නමුත් අද අප මේ කතා කරන්නට යන්නේ එදා වීරවංශලාගේ නොව අද සිංහල ජාතිවාදය වෙත පල්ලම් බැස ඇති වීරවංශලා ඇතුළු ලංකාවේ පාලක පන්තියේ කෙරුවාවල් නිසා විශේෂයෙන් පීඩාවට පත්වූවන් පිරිසක් ගැන සටහන් තැබීමටය.
ඔවුන් අප හඳුන්වන්නේ ‘දේශපාලන සිරකරුවන්’ ලෙසය. මෙම මාතෘකාව වූ කලී බොහෝ අයට ලිවීමට බිය ගෙන දෙන මාතෘකාවක් වුවත් විශේෂයෙන් තමිල් ජනතාවන්ට ලංකාව තුළ මුහුණදීමට සිදුවී ඇති ජාතික පීඩනය ගැන පෙණුනත් නොපෙණුනා සේ ඉන්නවුන්ට මෙය අපුල දනවන්නක් වුවත් අප මේ ගැන ලිවිය යුතුමය. ‘එදා වීරවංශ’ ඉහත කෘතියේ පෙරවදනේ ලියූ වාක්‍යයකින්ම කියනවා නම් අපට එසේ ලියන්නට හැකිවන්නේ අප එකී ‘මැද පාන්තික උණ සන්නිපාතයෙන්’ රෝගාතූර වී නැති නිසාය.
තිස් අවුරුදු යුද්ධය දැන් අවසන් වී ඇතැයි කියති. ඉන් පසු කිරිබත් කා එය සැමරූවෝ දැන් බැරියර් නැති ලංකාවක ජීවත් වන බවද කියති. යුද්ධය ගැන, මානව හිමිකම් ගැන කතා කරන බොහෝ අයද සිටිති. නමුත් අප මේ කතා කරන දේශපාලන සිරකරුවන් පිළිබඳ ප‍්‍රශ්නයේදී ඔවුන් කිසිවෙක් එතරම් උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත.
පසුගිය ජනවාරි 8 වැනිදා පැවැති රාජපක්ෂ ආණ්ඩුව පරාජය පත්කිරීමේ මූලික බලවේගයක්
වූයේ ලංකාවේ ජාතික පීඩනයෙන් පීඩාවට පත් ජන කොටස්ය. ඔවුන්ගේ නියෝජිතයන් බොහෝ දෙනෙක් පසුගිය අගෝස්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවටද ගියේය. නමුත් තවමත් ‘දේශපාලන සිරකරුවන්’ ගේ ප‍්‍රශ්නය එතැනමය. ඔවුන්ගේ ප‍්‍රමුඛතා වෙනස්ය.
අලූත් ආණ්ඩුව පත් වූ විගස දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ‘සම අයිතිය ව්‍යාපාරය’ ඇතුළු සංවිධාන උද්ඝෝෂණය කළ විට ආණ්ඩුව කීවේ ලංකාවේ දේශපාලන සිරකරුවන් නැති බවයි. නමුත් මේ වන විට ‘නැති දේශපාලන සිරකරුවන්’ ගැන හතරබීරි කතාව නැවත සාකච්ඡුාවට පැමිණ ඇත.
ආසන්න හේතුව ලෙස මෙහිදී මතුවූවේ තමිල් දේශපාලන සිරකරුවන් විසින් පසුගිය 10 වැනිදා ආරම්භ කළ මාරාන්තික උපවාසය සමඟය. ඒ අනුව ආණ්ඩුව නෑ කියූ දේශපාලන සිරකරුන්ගේ හුස්ම වැටෙන හ`ඩ සමාජය සලිත කරමින් සිටී.
මෙම උපවාස කි‍්‍රයාමාර්ගය සඳහා ලංකාව පුරා සිරකඳවුර 14ක සිටින සිරකරුවන් සම්බන්ධ වී සිටී. පසුගිය දා මෙකී සිරකරුන් බැලීමට ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර හට මොවුන් පවසා තිබුණ තොරතුරු අනුව මෙකී කඳවුරුවල මේ වන විට සිරකරුවන් 215ක් සිටින බවයි. ඔවුන් කියා සිටින්නේ තිස් අවුරුදු යුද්ධයට අද වන විට චූදිතයන් වී ඇත්තේ තමන් බවයි. ඉතිහාසයක් තිස්සේ වර්ධනය වූ ගැටලූවකට අවසන මෙවැනි පිරිසකට චෝදනා කොට අඩුම ගණනේ සාක්ෂි පවා කිසිවක් නැතිව වසර ගණන් මෙසේ සිරකර තබා ගැනීම නිවැරදි දැයි ඔවුන් විමසයි.
බොහෝ විට මෙම සිරකරුවන් පිළිබඳ ප‍්‍රශ්නය මතු කළ විට අදාළ පාලනාධිකාරී පැත්තෙන් මතු වන්නේ මනුෂ්‍යත්වය ගැන කතාව නොව වියුක්ත නීති තර්කය. නමුත් සිරකරුවන්ද ප‍්‍රකාශ කරන පරිදි සරත් ෆොන්සේකා හා ශිරාණි බණ්ඩාරනායක වැනි අයට යුක්තිය ඉටු කිරීමේදී එකී නීති තර්ක අබිබවා මතු වූ යුක්තිය පිළිබඳ ප‍්‍රශ්නය තමන් වෙනුවෙන් නැත්තේ ඇයිද යන්නය. එලෙසම යුද්ධයේදී සිරගතව සිටිනවුන්ට වඩා තීරණාත්මක ලෙස ප‍්‍රහාරක කාර්යන්ට සම්බන්ධ වූවන් පසුගිය රාජපක්ෂ පාලනයේ සුරතලූන් වී සිටි ආකාරය අමතක කළ නොහැකිය. ඒ ගැන පසුගිය ජනාධිපතිවරණයේදී විශාල ඝෝෂාවක් කළේ වත්මන් ආණ්ඩුවේ නියෝජිතයන්ය. එහෙව් ‘යහපාලකයන්’ මෙම ප‍්‍රශ්නයේදී නිරුත්තර ඇයි දැයි සිරකරුවන් අසා සිටී. කේ.පී. වැන්නවුන් ගැන වේදිකා දෙදරවමින් කතා කළ ඔවුන් යටතේද අද නිදහසේ පහසුකම් මැද සිටිය හැකිය. එහෙත් යුද්ධයේ ගැට්ටේ සිටි පීඩිතයන් සිරකඳවුරුවල සිටී. මෙම උභතෝකෝටිකය සාධාරණිකරණය වන්නේ කුමන නීති තර්කයෙන් දැයි දේශපාලන රැුඳවියෝ ප‍්‍රශ්න කරති.
පසුගිය දා මෙකී උපවාසකරුවන් බැලීමට ගිය මනෝ ගනේෂන් ඇමැතිවරයා ඔවුන්ට පවසා තිබුණේ අගමැතිවරයා සමඟ තමන් මේ ගැන සාකච්ඡුා කළ බවත් ඔවුන් පිටරට ගොස් පැමිණෙන තුරු සිටින ලෙසත්ය. සිරකරුවන් පිළිතුරු ලෙස පවසා තිබුණේ තමන්ට තවදුරටත් එසේ ඉවසා සිටිය නොහැකි බවයි. රැුඳවියන්ගේ උපවාස ක‍්‍රියාමාර්ගය නිසා පසුගිය
14 වැනිදා සිකරුවන් 6 දෙනෙක් රෝගාතුරව රෝහල් ගත කළ බවත් වාර්තා විණි. ඔවුන්ගේ මූලික ඉල්ලීම වන්නේ තමන් සියලූ දෙනා එකවර නිදහස් කරන ලෙසය, ඒ සඳහා ජනාධිපති මැදිහත් වී ලබා දෙන පොදු සමාවක් පිළිබඳ ඉල්ලීමක් ඔවුන් ඉදිරිපත් කර ඇත.
දේශපාලන සිරකරුවන්ට එල්ල කර ඇති චෝදනා අතර පොදු චෝදනාව වී ඇත්තේ එල්ටීටීඊ සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වීමය. නමුත් ඒවා ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක්ද නැත. සාමාන්‍යයෙන් මරණ ද`ඩුවම දුන් සැකකරුවෙක් පවා වසර 14කින් පමණ නිදහස් වී යන නමුත් තමන්ට එවැනි සහනයක් පවා නොමැති වීම ගැන ඔවුහු ප‍්‍රශ්න කරති. ඔවුන් පවසන්නේ හුදු ‘කොටි’ ලේබලය ඇලවීම නිසා පමණක් අවුරුදු 20කට අධික කාලයක් මේ වන විට සිරවී සිටින්නට සිදු වී ඇති බවයි. මේ අතර සමහරු මේ සඳහා විශේෂ අධිකරණයක් යෝජනා කර එයින් නීති ක‍්‍රියාමාර්ග ගැනීමට යෝජනා කරයි. නමුත් සිරකරුවන් පවසන්නේ එවැනි විසඳුමක් මීට කිසිදු උත්තරයක් නොවන බවයි. ඊට හේතුව නම් මේ වන විටත් ඔවුන් කිසිදු සාක්ෂිකයක් පවා නොමැතිව, වසර ගණන් සිරගත වී සිට ද`ඩුවම් විඳ ඇති බවයි. ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීම පරිදිම විය යුත්තේ ඔවුන් නිදහස් කිරීම බව පැහැදිලිය.
මෙහි සිටින අවුරුදු 20කට වැඩි කාලයක් සිරගත වී සිටි සිරකරුවන් අතර දැනට 38 හැවිරිදි පුත්තලම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් ඔහුගේ අත්දැකීම විස්තර කර තිබුණි. ඔහු අත්අඩංගුවට ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 18කි. ඔහු අත්අඩංගුවට ගැනීමට 300ක පමණ පිරිසක් සම්බන්ධ වූ බව ඔහු පවසා තිබුණි. ඔහු වැඩිදුරටත් විමසා තිබුණේ මේ වන තෙක් තමාට කිසිදු ආකාරයක නීතියේ සාධාරණයක් සිදු වී නැති බවත් සිදුවන එකම දේ නඩු කල් දමමින් සිරකරගෙන සිටීම බවත්ය. ඒ අනුව ඔහු මාරුවෙන් මාරුවට කළුතර, බූස්ස හා මැගසින් බන්ධනාගාරයටත් නැවත බූස්සටත් මාරු කර 2006 සිට නැවත මැගසින් බන්ධනාගාරයේ සිටී. අවිවාහක තමන්ට මේ වන විට අවුරුදු පහකින් තමන්ගේ අයියලා අක්කලා දකින්න නොලැබුණු බවත් පවසා ඔහු තිබුණි. එසේ වසර 20කට වැඩි කාලයක් සිරකඳවුරුවල සිටින්නන් වගේම 2013 වැනි යුද්ධයෙන් පසු කාලයේ අත්අඩංගුවට පත් වූවන්ද මේ අතර සිටී. මොවුන් අතරින් 36 හැවිරිදි මාධ්‍යවේදියෙක් ද විය. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. 2004දී දේශපාලන විද්‍යා විෂය ධාරාවෙන් සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කර ඇති ඔහු ඉන් පසු කටයුතු කර ඇත්තේ මාධ්‍යවේදියකු ලෙසය. මේ අතර මඩකලපුවේදී ඔහු අත්අඩංගුවට ගන්නේද කිසිදු චෝදනාවකින් තොරවය.
මොවුන් බොහෝ දෙනා උතුරු නැෙඟනහිර පදිංචිකරුවන් වන අතර විවාහකයන්, අවිවාහිකයන් මෙන්ම මෙකී 215 දෙනා අතර කාන්තාවන්ද සිටින බව අපට වාර්තා විණි. මොවුන් පවසන්නේ සැබැවින්ම මෙහි දඬුවම් විඳින්නේ තමන්ටත් වඩා තමන්ගේ දරු දැරියන් හා පවුල්වල සාමාජිකයන් බවයි. නිශ්චිත ජීවන මාර්ගයන් අහිමිව ඉතා දුක්ඛිත තත්වයන් යටතේ දිවි ගෙවන ඔවුන් පිට තිස් අවුරුදු යුද්ධයේ සමස්ත වගකීම පටවන්නේ කුමන නීතිය අනුව දැයි ඔවුන් අසා සිටී.
ඒ නිසා තමන්ට මේ වෙනුවෙන් අන් කිසි දෙයක් කිරීමට නැති බවත් මෙකී උපවාස ක‍්‍රියාමාර්ගයන්ට පිවිසියේ ඒ නිසා බවත් ඒ නිසා මරණය දක්වා සටන් කිරීම හැරෙන්නට මේ වන විට කිසිවක් ඉතිරි වී නැති බවත් ඔවුන් පවසා තිබුණි. ඔවුන්් ලංකාවේ සිංහල, තමිල් සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවසන් වශයෙන් තමන්ටත් නැවත නිදහසේ ජීවත් වීමට අවස්ථාව සලසා දීමට මැදිහත් වන ලෙසයි.
එය සැබැවින්ම ඔවුන්ගේ ආයාචනයක් ලෙස නොව සිර මැදිරිවලින් පිට සිටින තිස් අවුරුදු යුද්ධයේ සියලූ චූදිතයන්ගේ යුතුකමක් බව මෙහිදී පැවසිය යුතුය. අප සිතන පරිදි එයින් ලංකාවේ කිසිදු මිනිසකුට ගැලවිය නොහැක. ඒ නිසා ඔවුන් සිරකර ඇති යදම් බිඳින්නට සැවොම කොන්දේසි විරහිතව එක් විය යුතුය. අරගල කළ යුතුය.
නිශාන්ත බණ්ඩාර
උපුටා ගැනීම – ජනරළ පුවත්පත

