කුණාටුවට පෙර – නිහඬතාව තුළ

maithripala-fasion-shaw

දිනපතා පුවත්පත්ද විද්‍යුත් මාධ්‍ය පුවත් විකාශනද බලන්නකුට එක්වරම පෙනී යන්නේ දේශපාලන කරළිය නිහඬ වී දේශපාලනය අවසන්ව බවය. පුවත් සිරස්තල මවන්නේ රිය අනතුරු, අපරාධ, දුර්ලභ සිදුවීම් ආදියයි. දේශපාලන සාකච්ඡුා නිහඬය. මැතිවරණ සමයේ රූපවාහිනී නාළිකාවල දේශපාලන සංවාද නැරඹීම රාත‍්‍රී ආහාරය තරමටම නැතිවම බැරි දෙයක් ලෙස සැලකු අයද මේ දිනවල කරන්නේ ඒ වැඩසටහන් විකාශනය වන වෙලාව අනෙකුත් පෞද්ගලික කටයුතු හෝ නිදා ගැනීම සඳහා වෙන් කිරීමයි. දේශපාලන රළ වේගය පහත වැටෙමින් තිබෙන්නේ නිර්-දේශපාලනිකත්වයක් සහ දේශපාලන උදාසීනභාවයක්ද සමඟ අත්වැල් බැඳගනිමිනි. එය සම්බන්ධ වන්නේ මහ මැතිවරණයෙන් පසු පැටව් ගසමින් බෝවන අතෘප්තිය, කලකිරීම සහ අසුබවාදය සමඟය. ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් පොරොන්දු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය ලැබී නැත. ඒ අතර සාමාන්‍ය පොදු ජනයා අපේක්ෂා කළ ආර්ථික විකල්පද නැත. ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ආර්ථික පිළිවෙත් සහ ජනතාවගේ දෛනික ආර්ථික ජීවිතය නඟා සිටුවන ආකාරය පිළිබඳ කතාබහ ඊනියා යහපාලකයන් සිතාමතාම මඟහැර ගියත් ජනතාව අපේක්ෂා කළේ වඩා යහපත් ආර්ථික කොන්දේසි සහ සිය ආර්ථික ප‍්‍රශ්නවලින් ගැලවීමය.

අන්තිමේදී ලැබී ඇත්තේ කැකිල්ලේ පන්නයේ විසඳුම්ය. රුපියලේ අගය අවප‍්‍රමාණ වීමෙන් සිදු වන පීඩාව ගැන මැසිවිලි කියන්නන්ට මෛත‍්‍රී දී තිබෙන පිළිතුර වන්නේ සල්ලි කොළ විශාල කිරීමයි. දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමය තමා හමුවීමට පැමිණ මෑතකදී නිකුත් කළ අලූත් වර්ගයේ මුදල් නෝට්ටු දෘශ්‍යාබාධිතයන්ව හඳුනාගත නොහැකි යැයි කළ දුක් ගැනවිල්ලකට පිළිතුරු වශයෙන් ඉදිරියේදී මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන මුදල් නෝට්ටු දැනට වසර කිහිපයකට පෙර තිබූ මුදල් නෝට්ටුවල ප‍්‍රමාණයෙන් නිකුත් කරන ලෙස තමන් උපදෙස් දුන් බව ජනාධිපතිවරයා පවසා තිබේ. මේ අතර සිය විරැුකියාවට පිළිතුරු අපේක්ෂා කළ තරුණ තරුණියන් සඳහා අඩු මුදලට ස්මාර්ට් ෆෝන් හා ටැබ් ලබාදීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප‍්‍රනාන්දු පසුගිය සතියේ කොළඹ පැවැති සමුළුවකදී පැවැසීය. රෝහල්වල ඖෂධ සහ අත්‍යවශ්‍ය පහසුකම් නොමැති වීම ගැන වචනයක්වත් නොකියමින් එහිදී ඔහු පවසා ඇත්තේ මෙරට පිහිටි සියලූම රෝහල්වලින් ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ තොරතුරු දත්ත එක්කර රෝගීන්ට බාර්කෝඞ් එකක් ලබාදීමට කටයුතු කරන බවයි. නේවාසිකාගාර පහසුකම් ඉල්ලා අරගල කළ කැලණි සරසවි සිසුන්ට ඒ වෙනුවට වයිෆයි ලබාදෙන බව රජය 14 වැනිදා පුවත්පත්වලට ප‍්‍රකාශකර තිබුණේය. මේ ආකාරයට කැකිල්ලේ විසඳුම් ලබාදෙන අතර සමාජය තුළ අපේක්ෂා භංගත්වය ඉහළ යමින් තිබේ.

 

 

ෂර්ලොක් හෝම්ස්ලා මිලියන ගණනක්

තමන්ගේ පවුලේ ආර්ථිකයට සිදුවන්නේ කුමක්ද? ජිනීවාහිදී ගත් තීරණ සමාජයට කවර බලපෑමක් කරනු ඇත්ද? අධ්‍යාපනය – සෞඛ්‍ය සේවය වැනි ක්ෂේත‍්‍රවල සිදුවෙමින් පවතින්නේ කුමක්ද වැනි ප‍්‍රශ්න පිළිබඳ වගේ වගක් නැතිව ජනතාව අවධානය යොමු කර ඇත්තේ සේයාගේ ඝාතකයන් කවුද වැනි ප‍්‍රශ්න කෙරෙහිය. මිලියන ගණනක් ජනතාව මාධ්‍ය වෙත දෑස් දල්වාගෙන සේයාගේ ඝාතනයට වගකිවයුත්තන් ගැන රහස් පරීක්ෂණ පවත්වමින් සිටී. හැමදෙනාම රහස් පරීක්ෂකයන් බවට පත්ව ෂර්ලොක් හෝම්ස්ට ආවේශ වී සිටී. අවසානයේදී සේයාගේ ඝාතකයා පොලිසිය ඇටකටු කැඩූ කොණ්ඩයා නොව කොණ්ඩයාගේ සොහොයුරා බව ඞී.එන්.ඒ. පරීක්ෂණයෙන් ඔප්පු වී තිබේ. ඇතැම් ෂර්ලොක් හෝම්ස්ලාට සතුටු විය හැකි අතර ඇතැම් ෂර්ලොක් හෝම්ස්ලා අසාර්ථක වී ඇත. නමුත් ඒ සිදුවීමේ දේශපාලනය ගැන පවා සමාජ අවධානය නිසි පරිදි යොමු වී නැත. ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවාද ඇතුළු දෙදෙනාට එරෙහිව දියත් වූ පොලිස් මර්දනය ක‍්‍රමයෙන් අමතක වෙමින් යයි. ඇතැම් අය සිතා සිටින්නේ එය කොටදෙනියාව පොලිසියේ ඕ.අයි.සී.ගේ ප‍්‍රශ්නයක් බවය. තවත් සමහරු සිතන්නේ මෙය පොලිසිය සිදු කළ අමුතු දෙයක් බවය. කවුරුත් නොකියන්නේ මෙය ලංකාවේ සෑම පොලිසියකම, සෑම අවස්ථාවකම සිදු වන සාමාන්‍ය දෙයක් බවය. කොටදෙනියාවේ සිද්ධිය දිනපතා බොහෝ පොලිසි තුළ සිදු වෙමින් පවතින්නකි. එය පොලිසියද ඇතුළු සමස්ත රාජ්‍ය යන්ත‍්‍රයේම ප‍්‍රශ්නයකි. නමුත් ඒ වෙනුවට කතා කරන්නේ මෙය අහම්බීය සිදුවීමක් ලෙසය. එහි දේශපාලනය මතුකර ගැනීමට සහ රැුඩිකල් ලෙස එයට මැදිහත් වීමට කෙරෙන උත්සාහයන් අවමය. අවම වශයෙන් පොලිසියේ ම්ලේච්ඡුත්වය එන්නේ පන්ති ධූරාවලියේ පහළ කොටස් ඉලක්ක කරගෙන බවවත් සාකච්ඡුා වන්නේ නැත. ඉහළ කොටස් වෙත පොලිසියේ අත්තනෝමතිකත්වය එල්ල වීම පෞද්ගලික විශේෂතා මත පදනම්ව සිදු කෙරෙන අහම්බීය සිදුවීම් වන අතර සාමාන්‍යයෙන් එයට ඉලක්ක වන්නේ පීඩිත ජනතාවමය. මේ සියල්ල අමතක කර ජනතාව ෂර්ලොක් හෝම්ස්ලා බවට පත් කිරීමට මාධ්‍ය සමත් වී ඇති අතර ඒ තුළ සියලූ සැබෑ ප‍්‍රශ්න අමතක කරවමින් තිබේ.

ජනතාව දැන් සිටින්නේ දේශපාලනයේ සිදු වන දේ කුමක්දැයි නොදන්නා තැනකය. ඒ තරමට දේශපාලනය එපා වී තිබේ. ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණ කතිකාව තුළ මෛත‍්‍රීගේත් රනිල්ගේත් බල උවමනා ක‍්‍රියාත්මක වන අතර සමාජමය අභිලාෂයන්ගෙන් අවමයක්වත් ඉටුකර ගැනීමේ ව්‍යාපෘතියක් දියත් නොවිණි. එවැනි ව්‍යාපෘතියක සිටින බව පුනපුනා පැවැසූ අයද කළේ එම අභිලාෂයන් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණවලට ලඝු කිරීමයි. අවසානයේදී ව්‍යවස්ථා සංශෝධනද පාලකයන්ගේ බල අරමුණුවල ගොදුරක් වූ අතර ජනතාවගේ සැබෑ අභිලාෂයන් යටපත් විය. මේ වන විට පවතින දේශපාලන නිහැඬියාව ඒ නිසා ජනතාව තුළ ජනිත වූ අපේක්ෂා භංගත්වයේත් කලකිරීමේත් ප‍්‍රකාශනයකි. නමුත් එහි අවසන් ප‍්‍රතිඵලය වී ඇත්තේ කිසිදු බාධාවකින් තොරව සිය ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේ අවස්ථාව පාලකයන්ට ලැබීමයි.

 

 

දේශපාලනයද? අදේශපාලනයද?

මේ මතුව ඇත්තේ රික්තකයකි. එක පැත්තකින් ජනවාරි 8 වැනිදාත් අගෝස්තු 17 වැනිදාත් මැවූ සිහින බිඳ වැටී ඇත. එම සිහින සඳහා විකල්පයක් පෙනෙන්නටත් නැත. මැවූ සිහිනත් විකල්පයත් යන දෙකම අහිමි වූ තත්වයක් තුළ බිහි වී තිබෙන රික්තය තවමත් වාමාංශික විකල්පයක් හරහා පිරවීමට සමත් වීද නැත. මේ නිහඬතාවයේ උපත එතනය. පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව සිය විමුක්ති මාර්ගය සෙව්වේ දේශපාලනය තුළය. හැමදෙනාම දේශපාලන සාකච්ඡුාවට සම්බන්ධ විය. එහෙත් ඒ දේශපාලනය ධනේශ්වර දේශපාලනය වීම එම අවස්ථාවේ තිබූ ප‍්‍රශ්නය විය. එවැනි ධනේශ්වර දේශපාලනයකින් වැඩකරන ජනතාවගේ ප‍්‍රශ්න කිසිවක් නොවිසඳෙන අතර ඔවුන්ගේ අභිලාෂයන් මස්තකප‍්‍රාප්ත වන්නේද නැත. දැන් සිදුව ඇත්තේ වැරදි ආකාරයට හෝ දේශපාලනය කෙරෙහි තමන් තැබූ විශ්වාසය පලූදු වීම නිසා ජනතාව වෙනත් අන්තයන් වෙත ආකර්ෂණය වීමයි. නැවතත් පේන බැලීම, අත්භූත බලවේග වෙත යාම, පොල් ගැසීම ආදිය ආරම්භ වී ඇත. එමෙන්ම තමන්ගේ ප‍්‍රශ්න විසඳාගත යුත්තේ සමාජ – දේශපාලන ක‍්‍රියාවලියකින් නොව පෞද්ගලික උත්සාහයන් හරහා යැයි බොහෝ අයට සිතෙමින් තිබේ. දැන් යළිත් ‘තමන් හිසට තම අතමය’ දර්ශනය පෙරට එමින් තිබේ. කුමන හෝ දේශපාලනයක් හරහා සිය ප‍්‍රශ්න විසඳා ගැනීමේ උත්සාහය අත හැරෙමින් තිබේ. සියලූ දෙනා පරණ පුරුදු වෙත ආපසු යමින් සිටී. මෙය අදේශපාලනයකි. නිහඬතාව පතුලේ තිබෙන්නේ එයයි. එනිසා මේ නිහඬතාවයෙන් කිසිදු හොඳක් සිදු නොවන බව නම් ස්ථිරව කිව හැකිය. සිදු වන නරක දේ විවිධ හැඩතල තිබිය හැකි අතර එහි අවසන් හැඩතල නිශ්චිතව පැවසිය නොහැකි වුවත් හොඳක් සිදු නොවන බව නම් කිව හැක.

මේ නිහඬතාව කුණාටුවකට පෙර එන තාවකාලික නිහඬතාව වැන්නක් බවද එපමණකටම ස්ථිරය. නිහඬතාවද හඬකි. නිහඬතාව යනු තුරුපතක් බිම වැටී අනෙක බිම වැටෙන තුරු ඇති කුඩා නිමේෂයේ ඇසෙන එකම හඬ බව කවියක තිබුණා මතකය. වාමාංශිකයන්ට වැදගත් වන්නේ ඒ නිහඬතාවයේ හඬ තේරුම් ගැනීමයි. ලැබී තිබෙන කුඩා විවේකය තුළ ඊළඟ අභියෝගයට සූදානම් වීමයි. ජනතාවටද කිව යුතු දෙයක් තිබේ. ඉබ්බන්ගෙන් පිහාටු අපේක්ෂා කිරීමෙන් පලක් නැත. ධනේශ්වර දේශපාලනයේ කෙටිකාලීන සන්දර්ශනවලින් සිය ජීවිතයේ ප‍්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂා කිරීමෙන් පලක් නැත. දක්ෂිණාංශික නායකයන්ටද ඊනියා සිවිල් සමාජයටද මාධ්‍යවලින් පුම්බන සූකිරි බටිල්ලන්ටද ලබාදිය හැක්කේ මෙපමණකි. මෙපමණක් පමණි. එතනින් එහා ඇත්තේ තමන්ගේ පන්තියේ දේශපාලනයයි. වැඩකරන ජනතාවට නම් වමේ දේශපාලනයයි. උත්තරය එය පමණි. දැන් කළ යුත්තේ ඒ උත්තරය ඉලක්ක කරගත් දුර ගමනකට සූදානම් වීමයි. නිහඬතාවද නඟන හඬ සහ සෙමින් පවසන රහස එයයි.

 

උපුටා ගැනීම – ජනරළ පුවත්පත

Leave a Reply