සාහිත්‍ය මාසය නිමාවිය. කියවීමේ මාසය ඇරඹිණි. නමුත් මේ සාහිත්‍ය මාසය පිළිබඳව පසු විපරමක් හෝ කියවීමේ මාසය පිළිබඳ පූර්විකාවක් හෝ නොවේ. සාහිත්‍ය හා සංස්කෘතික කටයුතු සමඟ අවියෝජනීය ලෙස බැඳෙන සංස්කෘතික අමාත්‍යාංශය සතුව තිබූ විෂය පථය හා ආයතන රැසක්
ඊට අහිමි කර එහි ‘තටු සිඳලීම’ පිළිබඳව ලාංකේය සමාජය තුළ ඇතිවූ ‘නිහ`ඩ එහෙත් ගැඹුරු’ කම්පනය පිළිබඳව ශබ්ද නඟා කියවීමකි. එය අහඹු ලෙස හෝ සැප්තැම්බරය හෙවත් සාහිත්‍ය මාසය ඇසුරේදීම සිදුවීමද මේ සම්බන්ධ කතිකාවතකට යොමුවීමට සමාජයට පහසු කෙරිනි.
සැප්තැම්බරය ‘සාහිත්‍ය මාසය’ ලෙස අප රටේ ව්‍යවස්ථාපිත වූවක් නොවේ. නමුත් කලා කටයුතු සැප්තැම්බරය සමඟ අවියෝජනීය ලෙස සම්බන්ධ වන්නේ දශක කිහිපයක සිටය. රාජ්‍ය සාහිත්‍ය උත්සවය, වෙනත් සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සව, ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශන, ජාත්‍යන්තර සිනමා උළෙල, රට පුරා කුඩා සාහිත්‍ය උත්සව, සාහිත්‍ය මාසය තුළ බොහෝ පොත් පත් එළි දැක්වීම වැනි කලා හා සංස්කෘතික ක‍්‍රියාකාරකම් නිසා රාජ්‍ය මට්ටම තුළද සැප්තැම්බරය සාහිත්‍ය මාසය ලෙස පිළිගැනීමක් ඇති වී තිබේ. එමෙන්ම මෙම මාසය තුළ කලඑළි බසින සංස්කෘතික අමාත්‍යාංශය සාහිත්‍ය කලා කටයුතු හා සංස්කෘතික ක‍්‍රියාකාරකම්වලට පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි. සාහිත්‍ය මාසයේ හා සංස්කෘතික අමාත්‍යාංශයේ මේ සහසම්බන්ධතාව ලාංකේය ජනසමාජය තුළ ක‍්‍රමානුකූලව තහවුරු වෙමින් පවතින යුගයක පිළිගත හැකි කිසිදු සාධාරණ පදනමකින් තොරව සංස්කෘතික අමාත්‍යාංශය සතු විෂය පථය හා ආයතන රැුසක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කිරීම තුළ වැඩි අපහසුතාවකට හා හෑල්ලූවකට ලක්වන්නේ කැබිනට් අමාත්‍යාංශයක්ද වන සංස්කෘතික අමාත්‍යාංශයයි.
ලංකාවේ පළමු වරට සංස්කෘතික අමාත්‍යාංශය පිහිටවනු ලැබුවේ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ පාලන සමය තුළය. 1956 අපේ‍්‍රල් 12 වැනි දින පිහිටුවනු ලැබු සංස්කෘතික හා පළාත් පාලන කටයුතු අමාත්‍යාංශයේ ඇමැතිවරයා වූයේ ජයවීර කුරුප්පුය. එතැන් සිට 2015 දක්වා සංස්කෘතික ඇමැතිවරු 22 පත්වූ අතර නව සංස්කෘතික ඇමැති එස්.බී. නාවින්න 22 වැනි සංස්කෘතික ඇමැතිවරයාය.
අප රටේ අමාත්‍යාංශ බෙදා වෙන් කරන විට එහි කිසිදු විද්‍යාත්මක පදනමක් නැතැයි යන්න කලක් තිස්සේ තිබෙන බරපතළ විවේචනයකි. බලයට පත්වන රජයේ අවශ්‍යතාව හා වටහා ගැනීම අනුව ඒ කටයුතු සිදුවන බවට ‘ජීවමාන සාක්‍ෂි’ මෙවරත් අඩුපාඩු නැතිවම දක්නට ලැබේ. ජාතියක ‘හදවත’ පෝෂණය කරන සංස්කෘතික අමාත්‍යාංශයට ‘උපන්ගෙයි’ සිටම එම කරුම දෝෂයට බිලිවන්නට සිදුවිය. එතැන් සිට අප රටේ සංස්කෘතික අමාත්‍යාංශය තරම් එහෙන් මෙහෙන් කෑලි එල්ලන, කෑලි හලන අමාත්‍යාංශයක් නැති තරම්ය.
පළමුවරට එය සංස්කෘතික හා පළාත් පාලන කටයුතු අමාත්‍යාංශයයි. ඉන් අනතුරුව සංස්කෘතික හා ආගමික කටයුතු, සංස්කෘතික හා සමාජ සේවා, අධ්‍යාපනය හා සංස්කෘතික කටයුතු, මානව සංවර්ධනය, සංස්කෘතික හා ජාතික උරුමයන්, සංස්කෘතික හා කලා කටයුතු ලෙස ඊට විවිධාකාර විෂයන් හා ආයතන ගැට ගසනු ලැබිණි.
නමුත් මෙවර සිදු වූවේ ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්වයකි. සංස්කෘතික අමාත්‍යාංශයේ විෂයන් හා ආයතන රැසක් ගලවා අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කිරීමයි. මෙය මෙතෙක් පැවැති සම්ප‍්‍රදායට එකහෙලාම වෙනස් වූ එසේම කිසිසේත් ප‍්‍රායෝගික නොවන්නකි.
සංස්කෘතික අමාත්‍යාංශය බාර කැබිනට් ඇමැතිවරයාට හිමි වී ඇත්තේ ජාතික කෞතුකාගාර
දෙපාර්තමේන්තුව හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පමණය. ඊට අමතරව ඔහුට වයඹ පළාත් සංවර්ධනය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අයත්ව තිබේ. මේවා අතර පවතින්නේ කුමන සහ සම්බන්ධතාවක් දැයි දන්නේ අමාත්‍යාංශ වෙන් කළ අයම පමණි.
මීට පෙර සංස්කෘතික අමාත්‍යාංශය යටතේ තිබූ ප‍්‍රධාන ආයතන ලෙස ශ‍්‍රී ලංකා කලා මණ්ඩලය, ටවර් හෝල් පදනම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ප‍්‍රසිද්ධ රැුඟුම් පාලක මණ්ඩලය ආදිය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කර තිබේ. සංස්කෘතික අමාත්‍යාංශය නමින් කැබිනට් අමාත්‍යාංශයක් තිබියදී එහි විෂය පථය හා ආයතන රැුසක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කිරීම ප‍්‍රශ්නකාරීය. පෙර පැවැති සංස්කෘතික අමාත්‍යාංශයෙන් සිදු කළ සාහිත්‍ය කලා හා සංස්කෘතික ක‍්‍රියාකාරකම් පිළිබඳව ඍජුව වගකියන ශ‍්‍රී ලංකා කලා මණ්ඩලය සහ විවිධ අනුමණ්ඩලයන් පත්කිරීමේ බලතල හා වගකීම් හිමිවූයේ සංස්කෘතික කටයුතු ඇමැතිවරයාටය. එහෙත් අද එය නම්කර ඇත්තේ අධ්‍යාපන ඇමැතිවරයාගේ විෂය පථයට අයත් වන බැවින් සියල්ල කණපිට හැරේ. ශ‍්‍රී ලංකා කලා අනු මණ්ඩලය යටතේ ක‍්‍රියාත්මක වන රාජ්‍ය සාහිත්‍ය, නාට්‍ය, නර්තන සංගීත, දෘශ්‍ය කලා, පාරම්පරික කලා, රූපවාහිනි මාධ්‍ය හා තවත් බොහෝ වාර්ෂික සම්මාන උළෙලවල් මේ අනුව ක‍්‍රියාත්මක කළ යුතු වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේය. සංස්කෘතික අමාත්‍යාංශය භාර කැබිනට් ඇමැතිවරයාට හැඳුනුම්පත් හා පාස්පෝට් නිකුත් කිරීමේ කටයුත්ත සංස්කෘතික අමාත්‍යාංශයේ මුල් පුටුවේ සිට මැනවින් කළ හැකිය.

අධ්‍යාපනය හා සංස්කෘතිය එකිනෙක අත්වැල් බැඳ ගන්නා එකිනෙකා පෝෂණය කෙරෙන විෂයන් දෙකක් බවට මෙතනදී කෙනකුට තර්ක කළ හැකිය. එහි විවාදයක්ද නැත. අධ්‍යාපනය හා සංස්කෘතිය බාරව අප රටේ ඇමැතිවරු දෙදෙනෙක්ම සිටියහ. අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල හා වි.ජ.මු. ලොකු බණ්ඩාර එම දෙදෙනාය. මෙවරත් සංස්කෘතික කටයුතු බාර දුන් ඇමැතිට හිමි ආයතන දෙකත් අධ්‍යාපන ඇමැතිවරයාට පවරා ඔහු අධ්‍යාපන හා සංස්කෘතික ඇමැතිවරයා ලෙස නම් කළා නම් මේ ගැටලූකාරී තත්වය මතු නොවනු ඇත.
නමුත් ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය පිළිබඳව මෑතකාලීන බරපතළ විවේචනයක් පවති. නිසියාකාරව වාර විභාගයවත් පවත්වා ගැනීමට නොහැකි බවට දෝෂාරෝපණ ඊට පවතී. පළමු වසරට දරුවන් ඇතුළු කිරීම සම්බන්ධ ගැටලූ අධිකරණය දක්වාම ගොස් ඇත. ලක්ෂ දෙකකට අධික ගුරු පරපුරක පරිපාලනය, පත් කිරීම, මාරු කිරීම, උසස්වීම්, දුෂ්කර කලාපවල ගුරු හිඟය, නගරාශ‍්‍රිත ප‍්‍රදේශවල ගුරු අතිරික්තය, ගුරු වැටුප් විසඳා ගත නොහැකි වූ ප‍්‍රශ්න එමටය. පාසල් විෂය මාලාව සම්බන්ධව නැෙඟන චෝදනා මත ජාතික අධ්‍යාපන ආයතනය විධිමත් කිරීම, ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්ති සැලසුම් සම්පාදනය පිළිබඳව වගකීම් බැ?රුම්ය. ඒ සියල්ල අතරට සංස්කෘතික අමාත්‍යාංශයෙන් ගලවා එල්ලන ලද විෂයපථ මෙන්ම ආයතනද අධ්‍යාපන ඇමැතිවරයාටම බාර වූ කල එය ඔහුට අමතර බරක් පමණි. ඒ පිළිබඳව අවධානය යොමු කරලීමට නොහැකි වන බැවින් සමාජයේ විවිධ කතාබහට හා විවේචනයන්ට ලක්වන සාහිත්‍ය සම්මාන, නාට්‍ය සම්මාන හා රැුඟුම් පාලක මණ්ඩල තීරණ ගැනීම වැනි අවස්ථාවන්වලදී ඇති වන ගැටලූකාරී තත්වයන් වැළැක්විය නොහැකිය.
මේ ආණ්ඩුව බලයට පත් කිරීමේදී කලාකරුවන්ගේ දායකත්වය නොඅඩුව ලැබුණි. පාලකයන් බලයට පත් කිරීම තම ඒකායන කාර්ය කරගෙන අමාත්‍යාංශ වෙන් කිරීම වැනි කාර්යන්හිදී ඒ පිළිබඳව අප‍්‍රසාදය පමණක් පළකර නිහ`ඩවීමට පමණක් ඒ වගකීම ලඝුවිය යුතු නොවේ. අවම තරමින් තමන්ගේ කාර්යන් සාමාන්‍ය ජන ජීවිතය හා සහසම්බන්ධ කරවන ‘සංස්කෘතික අමාත්‍යාංශයවත්’ රැුක ගැනීමට ඔවුන් පෙරට ආ යුතුය. එසේ නැතිනම් අධ්‍යාපනයත් සංස්කෘතියත් දෙකම එකට වළපල්ලට යවන ‘සත්කාර්යයට’ ඔවුන්ගේ දායකත්වය ඉහළින්ම ලැබුණු බවට ඉතිහාසයේ නොඅනුමානව සටහන් වනු ඇත. මන්ද ඉතිහාසය ගලා යන්නේ මේ සියලූ රොඩුබොඩුද සමඟින් වන බැවිනි.
සුජාතා අලහකෝන්
උපුටා ගැනීම – ජනරළ පුවත්පත

