මූල්‍ය රෙගුලාසි ලිහිල් කරනවා – රවී

ravi-karunanayake

විදේශ වලින් ලංකාවට මුදල් එවීමට අදාලව පනවා තිබෙන රෙගුලාසි තවදුරටත් ලිහිල් කරන බව මුදල් ඇමති රවී කරුණානායක ඔක්තෝබර් 21වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු පැවසුවේ මින් ඉදිරියට සීමාවකින් තොරව විදේශ මුදල් ලංකාවට එවිය හැකි ලෙස රෙගුලාසි ලිහිල් කරන බවයි. ඇතැම් රෙගුලාසි සංවර්ධනයට බාධාවක් බවද ඒවා නිසා නවීන ලෝකය සමග ගනුදෙනු කිරීමේ අවස්තාව ඇහිරී ඇති බවද ඇමතිවරයා පැවසීය.

මූල්‍ය ක්ෂේත්‍රය සතු රජයේ පාලනය ඉවත් කිරීම නව ලිබරල් ආර්ථික පිළිවෙතේ ප්‍රධාන අංගයක් වන අතර රටේ ප්‍රධාන ගිණුම් තුනෙන් එකක් වන ජංගම ගිණුම 1978දී විවෘත කෙරිණි.

මුදල් අමාත්‍යාංශය ගන්නා මෙම තීරණයත් සමග ප්‍රාග්ධන ගිණුමද විවෘත වන බව ආර්ථික විශේෂඥයෝ පවසති. මෙවර මහමැතිවරණය නිමා වීමත් සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ප්‍රකාශ කළේ ලංකාව “මහා පිපිරුම් ප්‍රතිසංස්කරණ” දියත් කිරීමට සූදානම් වන බවය.

මහා පිපිරුම් ප්‍රතිසංස්කරණ යනුවෙන් හැඳින්වෙන්නේ 1980 දශකයේදී බ්‍රිතාන්‍යය සිය මූල්‍ය රෙගුලාසි ලිහිල් කිරීමට ගත පියවරයන් වන අතර එය බරපතල විවේචන වලට බඳුන් වී තිබෙන බව ජනරළ වාර්තා කරයි.

ප්‍රසන්න ජයවීර