“එහෙම කෙනෙක් මෙහෙ නෑ, අපි දැකලාත් නෑ, දන්නෙත් නෑ” කීමේ වාර්තාව හිමිවන්නේ ජනතා විමුක්ති පෙරමුණට. ඒ දශක ගණනක් එම පක්ෂයේ නායකත්ව කාර්යභාරයක් ඉටු කළ කුමාර් ගුණරත්නම් ගැන කිසිවක් නොදන්නේ යැයිද, එවැනි නමක් පවා අසා නැතැයිද අනුර කුමාර සහ ටිල්වින් සිල්වා මාධ්‍ය සාකච්ඡා වලදී පොළොවේ අත ගසා දිවුරා පැවසීම නිසා. ජනතා විමුක්ති පෙරමුණේ මේ ස්ථාවරය නිසා අලුත් අවුරුදු උත්සව වලදී ලොකුම බොරුව කියා තෑගි දිනා ගැනීමේ අපේක්ෂාවෙන් සිටි කුඩා ළමුන් පවා කැළඹීමට පත් වුනා. කවුරුත් සිතුවේ මීටත් වඩා ලොකු බොරුවක් කියා ජනතා විමුක්ති පෙරමුණ පරාජය කිරීමට කිසිවෙකුටත් නොහැකි වේවි කියලා. එහෙත් දැන් ආණ්ඩුව ඒ තරඟයට ඉදිරිපත්වී සිටිනවා. ආණ්ඩුව පැත්තෙන් තමන්ගේ හොඳම තරඟකරුවන් දෙපල වන අගමැතිවරයා සහ ජනාධිපතිවරයා මේ සඳහා ඉදිරිපත් කර තිබෙනවා. තරඟකරුවන් දෙදෙනා තරඟයට අවතීර්ණ වුනේ එකම “ට්‍රැක්” එකෙන්. ඒ දේශපාලන සිරකරුවන් ගැන කියමින්.
ලංකාවේ සිංහල හෝ දෙමල කිසිදු දේශපාලන සිරකරුවෙක් නැති බව මෛත්‍රී මුලින්ම කිව්වේ ඔහු ජනාධිපති වූ අලුත මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැත්වුණු සාකච්ඡාවකදී. ඒ දිනවල ඒකට විරෝධය එල්ල වෙද්දී මෛත්‍රී ටිකක් කල් කට වසාගෙන සිටියා. දැන් නැවත ඔහු කරළියට පිවිසිලා. මේ අවුරුද්දේ පළමු සතියේදී ඉන්දියාවේ “හින්දු” පුවත්පත සමග පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු නැවත ලංකාවේ දේශපාලන සිරකරුවන් නැති බව පැවසුවා. ඉන් පසු පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී උතුරේ ඡන්ද කොල්ල කන්න දේශපාලන සිරකරුවන් ගැන වේදිකා වල කිඹුල් කඳුළු හෙලු රනිල් වික්‍රමසිංහ ස්විට්සර්ලන්තයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒකම කිව්වා. ජනාධිපති සහ අගමැති යන දෙදෙනාම කිවූ නිසා මේක රජයේ නිල මතය කියලා අපට හිතන්න පුළුවන්. ලංකාවේ දේශපාලන සිරකරුවන් නැතිනම් ඔවුන් නිදහස් කිරීමකුත් නෑ. දේශපාලන සිරකරුවන්ට බන්ධනාගාර තුළදී පහරදීමේ සහ ඝාතනය කිරීමේ සිදුවීමුත් නෑ. ඒ නිසා නිමලරුබන්ලා ඩෙල්රුක්ශාන්ලා සදීශ්කුමාර්ලා මරා දැමීම ගැන විමර්ශන අවශ්‍ය වෙන්නෙත් නෑ. අන්තිමේදී යහපාලන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළේ ඒ විදියට.
දේශපාලන සිරකරුවන් නැති බව ආණ්ඩුව කියන්නේ බන්ධනාගාරගතව සිටින බහුතරයට චෝදනා තිබෙන නිසා බව ආණ්ඩුව කියනවා. ඔවුන් කියන ආකාරයට මේ අයට නීති විරෝධී ක්‍රියා සම්බන්ධ චෝදනා තිබෙනවා. ඒ නිසා මේ අපරාධ චෝදනා වලට ලක්වුවන් මිස දේශපාලන සිරකරුවන් නොවන බව ආණ්ඩුව කියනවා. අපි මේ තර්ක ගැනත් අවධානය යොමු කරමු. එකක් දැනටමත් බන්ධනාගාර තුළ කිසිදු චෝදනාවක් නැතිව වසර ගණන් සිරගත කළ අය සිටිනවා. ඒ තියාගෙන ඉන්නේ දේශපාලන හේතු මත නෙවෙයිනම් කුමක් නිසාදැයි පැහැදිලි කිරීමේ වගකීම ආණ්ඩුව සතුයි. ඒ වගේම සාමාන්‍යයෙන් වෙන කෙනෙකු කළා නම් ඇප ලැබෙන චෝදනා සඳහා ඇප නැතිව වසර 10-15 තවත් විශාල පිරිසක් බන්ධනාගාර තුළ සිටිනවා. අනෙක් අයට ඇප ලැබෙන චෝදනා වලට මේ අයට පමණක් ඇප නොලැබෙන්නේ දේශපාලන හේතු මත නෙවෙයිනම් කුමක් නිසාදැයි පැහැදිලි කිරීමේ වගකීමත් ආණ්ඩුව සතුයි. අනෙක විවිධ අපරාධ චෝදනා තිබෙන නිසා මේ අය සාමාන්‍ය අපරාධකරුවන් කියන්න පුලුවන්ද, දේශපාලන සිරකරුවන් නෙවෙයි කියන්න පුලුවන්ද කියන ප්‍රශ්නයත් අපට ආණ්ඩුවෙන් අහන්න වෙනවා. මේ අය අපරාධ කර තිබේනම් එසේ කර ඇත්තේ පුද්ගලික ආරවුල් නිසා හෝ ජානමය හේතු නිසා නෙවෙයි, දේශපාලන ක්‍රියාකාරකමක් ලෙස. ඒ දේශපාලනය හරි වුවත් වැරදි වුවත් එය දේශපාලනය බව බැහැර කරන්න අපට බෑ. ඒ නිසා නිශ්චිතවම මේ අය දේශපාලන සිරකරුවෝ.
එල් ටී ටී ඊ සාමාජිකයන් වගේම හමුදා සොල්දාදුවනුත් යුද්ධයේදී අපරාධ වලට හවුල් වෙලා තිබෙනවා. සමහරු දේශපාලන අභිලාෂයන් නිසාත් සමහරු ඉහලින් ආ නියෝග නිසාත් ඒවාට හුල් වුනා. යුද්ධයට වගකිව යුත්තේ යුද පිටියේ දෙපැත්තේ ආයුධ සහිතව සිටි අය පමණක් නෙවෙයි. ලංකාවේ දක්ෂිනාංශික දේශපාලන නායකයන් විශේෂයෙනුත් ජාතිවාදයට සක්‍රිය ලෙස සහ නිශ්ක්‍රියව සිටීමෙන් සහය දුන් අප හැමදෙනාමත් එයට වගකිව යුතුයි. මෙවැනි ඛේදවාචකයක් නිර්මාණය වීම වැළක්විය නොහැකි වීමේ වරදකාරීත්වයෙන් අප කාටවත් ගැලවෙන්න බෑ. සමස්ත සමාජයම හවුල් වූ දේශපාලන වරදකට දැන් බන්ධනාගාරගත කර සිටින තරුණ තරුණියන් දෙසිය ගණනක් පමණක් වගකිව යුතුයැයි පැවසීම සාධාරණ නෑ. ඒ වගේම මේ ඓතිහාසික වරද නිවැරදි කළ හැක්කේ ඔවුන්ට දඬුවම් දීමෙන් කියා සිතීමත් අතිශය මුග්ධයි. ඇත්තටම වරද නිවැරදි කිරීම ආරම්භ කරන්නත්, නැවත එවැනි ඛේදවාචකයක් ඇතිවීම වලක්වන ප්‍රවේශය ගන්නත් වෙන්නේ දේශපාලන සිරකරුවන් නිදහස් කරලා. ප්‍රශ්නය විසඳෙන්නේ දණ්ඩනයෙන් නෙවෙයි, සිදුවූ දේ ගැන ගැඹුරු දේශපාලන සමාලෝචනයක් කිරීමෙන් සහ සමාව දීමෙන්. දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බව කියන්නේ ඒ නිසා.
නමුත් නිදහස් කිරීම හෝ වෙනත් එවැනි සටන් පාඨයක් පිළිගන්න හෝ ඒ ගැන විවාද කරන්න කලින් ලංකාවේ දේශපාලන සිරකරුවන් සිටින බව පිළිගන්න වෙනවා. ආණ්ඩුව අඩුම ගානේ දේශපාලන සිරකරුවන් සිටින බවවත් පිළිගන්නේ නැතිව විවිධ බලවේග සමග කරන ගේම් දේශපාලනයෙන් ප්‍රශ්නය උග්‍ර වෙනවා මිස විසඳෙන්නේ නෑ. අපි ආයෙත් මුලට එමු. “එහෙම කෙනෙක් මෙහෙ නෑ, අපි දැකලාත් නෑ, දන්නෙත් නෑ” කියන විහිලු දේශපාලනයෙන් මොන ප්‍රශ්නයක්වත් විසඳන්න බෑ. ඒ ජාතියේ නූල් සූත්තර වෙනුවට ඇත්තට මුහුණ දීලා දේශපාලනය පටන් ගමු. මුලින්ම ඇත්ත කියමු. ඇත්ත පිළිගමු. එවිට ඉතිරිය සෙමින් හෝ සිදුවේවි. මේක කිව්වේ ආණ්ඩුවට නෙවෙයි, ජනතා විමුක්ති පෙරමුණටත් නෙවෙයි, (ඒ අයට බොරුව ජීර්ණ වෙලා තියෙන්නේ) ලංකාවේ ජනතාවට. ලංකාවේ දේශපාලන සිරකරුවන් නැතැයි ඔබත් කියනවාද?