තවත් කාන්තා දිනයක් එළඹෙමින් තිබේ. මේ වනවිටත් ඒ ගැන විවිධ මාධ්‍ය ඔස්සේ විවිධ සංවිධානවල මැදිහත්වීමෙන් සාකච්ඡා, සංවාද ගොඩනැගෙමින් තිබේ. ස්ත‍්‍රීන් කේන්ද්‍ර කරගත් විවිධ වැඩසටහන් පවා සංවිධානය වෙමින් තිබේ. මෙය සෑම වසරකම මාර්තු 8 වැනිදා එළඹෙන විට දකින්නට ලැබෙන තත්වයකි. කාන්තා දිනය උත්කර්ෂයට නැංවෙන උත්සවකාරී අවස්ථාවක් ලෙස හඳුනාගෙන මේ ක‍්‍රියාවලිය පටන් ගනී. ඒ සඳහා අවශ්‍ය පසුබිම සැකසීම විශාල වශයෙන් මාධ්‍ය හරහා සිදුවන ප‍්‍රචාරක ක‍්‍රියාවලියකින් සිදු කෙරේ.
කාන්තා දිනයක් යනු කුමක්ද? කාන්තා දිනයක අවශයතාව කුමක්ද? මේ කිසිවක් ගැන පැහැදිලි අදහසක් නැතිව එක් දිනයකට පමණක් සීමා වූ වැඩසටහන් සංවිධානය කරන කාන්තා සංවිධාන විසින් ඉටු කරන්නේ කාගේ අවශ්‍යතාවද? සැබෑ ස්ත‍්‍රී ව්‍යාපාරයක් අවශ්‍යව ඇත්තේ ඇයිද යන්න මෙන්ම එවැනි ව්‍යාපාරයක සමාජමය වගකීම කුමක්ද යන්නත් ගැන සාකච්ඡුාවක් මේ වෙලාවේ අවශ්‍ය බව අපි කල්පනා කරමු.
ලෝකයේ ශ‍්‍රම දායකත්වය සැලකූ විට වැඩ කරන පැය ගණන අනුව 60% දායකත්වයක් ලබාදෙන්නේ ස්ත‍්‍රීන් විසිනි. එහෙත් ආදායම වශයෙන් ඔවුන්ට හිමිවන්නේ 1%ක් පමණකි. මේ සා වෙනසක් සිදුවන්නේ ඇයිද යන්න විමසා බැලිය යුතුව තිබේ. ඇයට ජීවිතය පවත්වාගෙන යන්නටත් පැවැත්ම වෙනුවෙන් පෙරමුණු දෙකක සටන් වදින්නට සිදුව තිබේ. එක් පෙරමුණක් වන්නේ ආර්ථික පීඩනයට එරෙහි සටන් පෙරමුණයි. අනෙක නම් ස්තී‍්‍රයක්වීම නිසා ඇතිකරන පීඩනයට එරෙහිව සිදුකරන සටන් පෙරමුණයි. බොහෝ අවස්ථාවලදී කාන්තා සංවිධාන සිය අවධානයට ලක්කරන්නේ දෙවැනි සටන් පෙරමුණ පිළිබඳව පමණකි. සමාජයේ ස්ත‍්‍රිය හා පුරුෂය අතර ප‍්‍රතිවිරෝධයක් මවා පාමින් ස්ත‍්‍රියගේ පීඩාවට වගඋත්තරකරුවා ලෙස පුරුෂයා වෙත ඇගිල්ල දිගුකරනු දක්නට ලැබේ. ජනසමාජයේ පීඩාවට ගොදුරු වන්නේ ස්ත‍්‍රිය පමණක් නොවන බව මෙන්ම ස්ත‍්‍රිය ස්ත‍්‍රියක්වීම නිසා විශේෂ පීඩාවක් ලබන බව තේරුම්ගන්නා අපි මුලූ මහත් සමාජයේ පීඩාවට පත් කොටස් වෙනුවෙන් විසඳුම් සෙවිය යුතුයැයි යෝජනා කරමු. ස්ත‍්‍රිය වෙන්කොට ඇයගේ විමුක්තිය ළඟා කරගත නොහැකි යයි විශ්වාස කරන අපි ස්ත‍්‍රීන්ඳ පුරුෂයන් ඇතුළු සමාජයේ පීඩාවට පත් සියල්ලගේ පීඩාවන්ට හේතුව වත්මන් සමාජ ආර්ථික ක‍්‍රමය බව වටහා ගනිමු. ඒ නිසා ස්ත‍්‍රිය පෙළන පීඩාවට එරෙහිව කරන්නට ඇත්තේ පෙරමුණු දෙකක අරගලයක් මිස හුදු පුරුෂ විරෝධී අරගලයක් නොවන බව අපගේ ස්ථාවරයයි.
තමන් පෙළන පීඩාවන්ගේ සැබෑ වගඋත්තරකරුවා කවුදැයි හඳනාගනු වෙනුවට පුරුෂවිරොධී ස්ථාවරයක හිඳ කරන අරගලයකින් ස්ත‍්‍රියට විමුක්තිය ළඟා කරගනු නොහැකිය. ඒ වෙනුවට සිදුවන්නේ එවැනි ව්‍යාජ සටන්වල යෙදී මගවැරදීමෙන් ස්ත‍්‍රිය මුලාකරන සංවිධාන සිදුකරන්නේ එම පීඩාව පවත්වාගෙන යන්නට අනුග‍්‍රහය දැක්වීමය. එහෙත් සැබෑ කාන්තා ව්‍යාපාරයක් ගොඩනැගීමේදී පදනම විය යුත්තේ කාන්තාවට හිමි සටන් පෙරමුූණු දෙකම පිළිබඳ හරයාත්මක සාකච්ඡුාවක් සමාජගත කිරීමය. ස්ත‍්‍රිය විසින් සිදුකරනු ලබන ආර්ථිකමය, නිෂ්පාදන කාර්යයන් බොහොමයක් පිළිබඳ අදවන විට අවධානයක් යොමු නොවේ. ඒවා ‘අවිද්‍යාමාන වැඩ’ ලෙස ගණන් ගනු ලබයි. එවැනි කාර්යයන් හරහා ස්ත‍්‍රිය විසින් නිර්මාණය කරන අතිරික්ත සේවා සම්පූර්ණයෙන් බැහැරකරනු ලබයි. ගේ දොර වැඩ, දරුවන් බිහිකිරිම, පෝෂණය හා ඇතිදැඩි කිරීම වැනි කාර්යයන් සඳහා වැය කරන ශ‍්‍රමය ආර්ථිකමය වශයෙන් වටිනාකම් ලෙස සලකනු නොලබයි.
මේ පිළිබඳ පළල් සාකච්ඡාවක් හා සංවාදයක් සමාජගත කිරීම කාන්තා සංවිධාන විසින් නොසලකා හැර තිබේ. ඒ වෙනුවට ස්ත‍්‍රිය සැරසිල්ලක් බවට පත්කරන්නට යොදාගනු ලබන මෙහෙයුමක් කාන්තා දිනය ආශ‍්‍රිතවත් ඉන් පරිබාහිරවත් සිදුවෙමින් තිබේ. ස්ත‍්‍රිය පීඩාවට ලක්කරන සමාජය වෙනස්කරන්නට කෙරෙන සාකච්ඡාව නිතරම පස්සට දැමීම හෝ බැහැර කිරීම දක්නට ලැබේ. ඒ වෙනුවට පවතින පරිභෝජනවාදී සමාජය තුළ අලංකාර වස්තුවක් හා ලිංගික භාණ්ඩයක් ලෙස ස්ත‍්‍රිය තබාගැනීම දිනපතාම සිදු වෙමින් තිබේ.
ස්ති‍්‍රය මුහුණ දෙන ප‍්‍රශ්න මොනවාදැයි යළි යළිත් කිවයුතු නැත. එහෙත් ඒවා යළි අවධානයට ලක් කළ යුතුව ඇත. එක් අතකින් ඇය පවුලේ සාමාජිකාවක ලෙස ගෙදර වැඩ කළයුතු පිරිමි පාර්ශ්වයට දෙවැනි තත්වයක සිටී. පාසලේදී, මගතොටේදී, වැඩබිමේදී පවා ඇය දෙවැනි තැනට ඇද දමනු ලබයි. වැටුප් හා වරප‍්‍රසාදවලදී පවා වැඩකරන කාන්තාවන්ට කෙනෙහිලිකම් සිදු වේ. ඒ සෑම තැනකදීම ඇය ලිංගික වශයෙන් ගොදුරක් බවට පත් වීමේ ඉඩකඩ වැඩි වෙමින් තිබේ. එහෙත් මෙම තත්වය ඇයගේ දුර්වලකම නිසා හටන්නක් හෝ පුරුෂයාගේ ආධිපත්‍ය නිසා හටගන්නක් ලෙස පමණක් සාකච්ඡුාවට ගනු දක්නට ලැබේ. එක් අතකින් පොදු සමාජය තුළ ස්තී‍්‍රය පිළිබඳ ඇති අදහස්වල ප‍්‍රතිවිරෝධතා ඇත. ස්ත‍්‍රිය අඳින පළඳින ආකාරය වැනි කාරණා පවා පොදු සමාජය තුළ තීරණය වන්නේ ඇගේ වුවමනාවන්ට අනුව නොවේ. නිදසුන් ලෙස ස්ත‍්‍රියක් කැමැති ආකාරයට ඇඳුම් පැළඳුම් තොරාගැනීමේ නිදහස හා පුරුෂයෙක් කැමැති ආකාරයට ඇඳුම් තෝරාගැනීමේ නිදහස තරාදියකට තබා බැලූවොත් වැඩි බරක් ඇත්තේ පිරිමියාගේ පැත්ත යැයි වටහාගත හැකිවනු ඇත. එයට හේතුව වන්නේ අප ජීවත්වන්නේ අප කැමැති ආකාරයට ජිවත්වන්නට නිදහසක් ඇති වටපිටාවක නොව, ‘අපි නම් හරිම හොඳයි“ යැයි පිටතට පෙන්වීමේ ව්‍යාජ මිනුම් ද`ඩු අනුව කටයුතු කරන සමාජයක වීමය. ස්ත‍්‍රිය අඳින පළඳින දෙයින් ඇය පිළිබඳ ඇතිවන හැඟීම් නිසා ඇය ලිංගික හිංසනයට ලක්වන්නේ ඇගේම වරදින් යැයි කියැවෙන තරමටම ස්ත‍්‍රීයගේ පැවැත්ම පිළිබඳ සමාජ මිනුම් ද`ඩු පහත් මට්ටමක ඇත. සමාජ මිනුම්ද`ඩු සහ පොදු සමාජ ආකල්පවලදී ඇය පාවිච්චි කර ඉවත දැමිය හැකි දෙයක් ලෙස සලකනවා නම් එම සමාජය ශිෂ්ට සම්පන්න යැයි පිළිගත නොහැකිය.
අනෙක් අතට ස්ත‍්‍රිය තුලම සිය ස්වාධීන පැවැත්ම සහ සමාජ පැවැත්ම පිළිබඳ ස්ථාවරයක් නැත. එහිදී කාන්තාවන් මෙන්ම පුරුෂයන් පසුගාමීත්වයක ගොදුරු බවට පත්ව ඇත. ඒ නිසා ස්ත‍්‍රිය පිළිබඳ සාකච්ඡාවේදී ස්ත‍්‍රී – පුරුෂ ප‍්‍රතිවිරෝධය අවුලූවනවා වෙනුවට මුලූමහත් සමාජය වෙලාගත් පීඩාවන්ට එරෙහිව ඇය සටනට කැඳවන ස්ත‍්‍රී ව්‍යාපාරයක අවශ්‍යතාව පැන නැගී තිබේ. එය දැරියක, තරුණියක, මවක, ප‍්‍රජනන කාර්යයේ යෙදෙන්නියක හ වැඩකරන කාන්තාවන් ලෙස විවිධ මට්ටමෙන් ස්ත‍්‍රිය පිළිබඳ සංකීර්ණතා පුලූල්ව හසුකරගන්නා ස්ත‍්‍රී ව්‍යාපාරයක් වියයුතුය. එසේම එය හුදු තවත් එක් කාන්තා සංවිධානයක් වෙනුවට ස්ත‍්‍රියගේ විමුක්තිය සමාජ විමුක්තියේ අංගයක් ලෙස හඳුනාගෙන සටන් කරණ සමාජ ව්‍යාපාරයක් වියයුතුය.
මෙතෙක් ලාංකීය සමාජය තුළ විවිධ අවස්ථාවල විවිධ වකවාණුවල උපත ලැබූ ස්ත‍්‍රී ව්‍යාපාර බොහෝ දුරට ලඝුවූයේ ‘ස්ත‍්‍රිය’ සංකල්පයට පමණි. එසේම එවැනි සංවිධාන ආර්ථිකමය පදනම් හා දේශපාලන බලය වෙනුවෙන් බිහි කල සංවිධාන බව නිරීක්ෂනය කළ හැකිය. ඒ නිසාම ඒවැනි සංවිධන මූලික වීමෙන් සැබෑ ස්ත‍්‍රී කතිකාවක් ගොඩනැගුණේද නැත. ඇතැම් සංවිධාන අඩු වැඩි වශයෙන් පුරුෂ විරෝධී විය. ඒ නිසා ස්ත‍්‍රී පීඩනය පුරුෂෝත්තමවාදය තුළ සංවාදයට ගන්නවා හැර ඉන් ඔබ්බට පුලූල් සමාජ පීඩාව සමග සංවාදයට ලක් කෙරුනේ නැත. ඒ නිසා ස්ත‍්‍රිය පීඩා විඳින සැබෑ හේතු ඇත්තේ කොහිදැයි සාකච්ඡාවක් ඇති වූයේ නැත. ඊට අමතරව දේශපාලන බලය පදනමින් ගොඩනැගුණු ස්ත‍්‍රී ව්‍යාපාරවලින් සිදුවූයේ ස්තී‍්‍රය බලවේගයක් ලෙස සලකමින් ඇය සංවිධානයකට ගොනු කරමින් එයට පමණක් සීමා වීමය. අවසානයේ ස්ත‍්‍රියගේ දේශපාලනය හුදු දේශපාලන බලය සඳහා වේදිකා සැරසිල්ලක් පමණක් විය. ස්ත‍්‍රිය සතුව ඇති ශක්‍යතා හඳුනාගනිමින් ඇයගේ සමාජ වගකීම හා ස්ත‍්‍රී පීඩාවේ ඇත් හේතු ගවේශනය කරන දේශපාලන ක‍්‍රියාකාරිත්වයක් බිහි කෙරුණේ නැත.
මේ නිසා ලාංකීය භූමියට සැබෑ ස්ත‍්‍රී ව්‍යපාරයක අවශ්‍යතාවය අවැසිව තිබෙන මොහොතක ජාත්‍යන්තර කාන්තා දිනය එළඹෙමින් තිබේ. ධනපති දේශපාලන පක්ෂ මෙන්ම වෙනත් කණ්ඩායම් සිය දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ස්ත‍්‍රිය පාවිච්චි කිරීමේ සූදානම ඇතිව සමාජය ආක‍්‍රමණය කරමින් තිබේ. එසේම ජනමාධ්‍ය විසින් වැඩි වැඩියෙන් ස්ත‍්‍රිය සිහින ලෝකවලට කැඳවමින් තිබේ. ඇය තවදුරටත් නවලිබරල් ධනවාදයේ ගොදුරක් බවට පත්කරමින් තිබේ. සිහින ලොවක සිහින දකින්නියන් ලෙස ඇය තවදුරටත් පටු දැක්මක හා අකල් නිද්‍රාවකට ඇද දමමින් තිබේ. මේ නිසා ස්ත‍්‍රී පීඩාවේ සැබෑ තත්වය ගවේශනය කරන සහ පොදු සමාජය ආමන්ත‍්‍රනය කරමින් එම තත්වයන් වෙනස් කරන්නට සටන් කරන ස්ත‍්‍රී ව්‍යාපාරයකට ඇති වගකීම සුලූපටු නොවේ. එවැනි ව්‍යාපාරයක් බිහිකිරීම පහසු කාර්යයක් ද නොවේ. එසේම එය දුෂ්කර යැයි සිතා අත්හැර දැමීමද කළ යුතු නොවේ.
එබැවින් ස්ත‍්‍රියගේ සැබෑ පීඩාවන් මෙන්ම පොදු සමාජ පීඩාවන් මුලිනුපුටා දැමීමේ අරමුණු වෙනුවෙන් සැබෑ ස්ත‍්‍රී ව්‍යාපාරයක් ගොඩනැගීම අද දවසේම ආරම්භ කළ යුතු බව අපි අවධාරණය කරමු.
හේමමාලි අබේරත්න