පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය ලබාදීම සම්බන්ධ ප්‍රශ්නයේදී ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිදු කරන්නේ දේශපාලන පළිගැනීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (02) කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පුබුදු ජයගොඩ මෙසේ ද පැවසීය.
ඊයේ ඇතිවුණු සිද්ධියෙන් පස්සේ ආගමන විගමන පාලකවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියා නැවත වතාවක් නඩු කටයුත්තක් යෙදිල තියෙන නිසා පුරවැසිභාවය සම්බන්ධයෙන් අවසන් අදහසක් දෙන්න බෑ කියල. නමුත් අපි කියන්නේ ආණ්ඩුව මේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීරණය මොකද්ද කියල ජනාධිපතිවරයා, අගමැතිවරයා වගේම එස්.බි. නාවින්න ඇමැතිවරයා පැහැදිළි කලා නම් හරි.
ආගමන විගමන දෙපාර්තමේන්තුව මුලින් කියපු එක තමයි ඒ අයට පුරවැසි අයදුම්පත භාරගැනීම සදහා බාධාව තියෙන්නේ 2016 ජනවාරි 19 දා දිනය සහිත නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපිය කියල. මොකද මේ ලිපියෙ තියෙනවා ‘පුරවැසිභාවිය ඉල්ලමින් කුමාර් ගුණරත්නම් ඉදිරිපත් කර ඇති අයදුම්පත සලකා බැලීම සදහා කිසිදු බාධාවක් නෑ. නමුත් මෙම සැකකරු දැනටමත් අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ආගමන විගමන නීති උල්ලංඝණය කිරීම පිළිබද නඩුවක් පවරා එය විභාගයට නියම කොට ඇත. එබැවින් ඔබ ඉහත පරිදි කටයුතු වන්නේ මෙම නඩු කටයුත්ත අවසන් වීමෙන් පසු බව දැනුම් දෙමි‘ කියල. ආගමන විගමන දෙපාර්තමේන්තුව මුලින් කිවුවේ මේක තමයි බාධාව කියල.
හැබැයි දැන් ආගමන විගමන දෙපාර්තමේන්තුව කියනව තව නඩුවක් තියෙනව කියන. ඔහු කියන තව නඩුව තමයි අපි අභියාචනාධිකරණයට ගියපු එක. අපි අභියාචනාධිකරණයට ගියේ දැන් නඩුව අවසන් ඒ නිසා පුරවැසිභාවය ලබා දෙන්න කියල නියෝගයක් නිකුත් කරන්න කියල ඉල්ලල. ඒක කිසිසේත්ම මේ අයදුම්පත්‍රය සලකා බැලීමට බාධාවක් නෙමෙයි. ඒක නිසා දැන් ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්තිය පැහැදිළි කළ යුතුයි.
ආගමන විගමන නීතියට අනූව දඬුවම දීලා තියෙනවා. අපි කොහේවත් කියලා නෑ කුමාර් ගුණරත්නම් සහෝදරයා ආගමන විගමන නීති කඩ කළේ නෑ කියලා. ආගමන විගමන නීති කඩවුණා. ඒ වගේම ඔහු වෙනත් නමකින් පෙනී සිටියා. නොයෙල් මුදලි නමින් ගුවන් බලපත්‍රයක් හැදුවා කියලා අපි කිවුවා. උසාවියෙදිත් කිවුවා. අපි හැමතැනදීම කිවුවා. ඒක කළේ බරපතළ හේතුවක් නිසා. පහුගිය කාලයේ ජීවිතය ආරක්ෂා කරගන්න සංවේදි කාරණා තිබුණා. අපිට තියෙන ප්‍රශ්නය නඩුවේ තීන්දුව සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. මෙතෙක් කල් පුරවැසිභාවය දෙන්න තිබුණ ප්‍රශ්නය උසාවියේ නඩුවක් තිබීම කිවුවා.. දැන් අපි අහන්නේ ඒ නඩුව අවසන්. පුරවැසිභාවය ගැන දෙනවා කිවුව උත්තරය ප්‍රමාද වෙන්නේ ඇයි කියලා. අපි ඉල්ලා සිටින්නේ පුරවැසිභාවය. මේක ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක් නෙවෙයි. ආණ්ඩුව දෙන තීන්දු අනූව තමයි ඒ නිලධාරීන් වැඩ කරන්නේ.
පහුගිය කාලයේ රිමාන්ඩ් ගිය ගොඩාක් අය ලෙඩ ලෙඩ කියා ගෙවන වාට්ටුවල හිටියේ. ඒ වගේම පළමු වතාවට සිරකරුවෙකු අද වැලිකඩ ගෙනියන්නේ නැතිව අනුරාධපුර බන්ධනාගාරයට ගෙන ගියා. කුමාර් ගුණරත්නම් අද අනුරාධපුර බන්ධනාගාරයට ගෙන ගියේ ඔහුගේ සහ ඔහුගේ නීතිඥයික්ගේ විරෝධය මධ්‍යයේ. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි පළමුවරට දඩුවම් දෙනු ලැබූ සිරකරැවන් ගේන්නේ වැලිකඩ බන්ධනාගාරයට. දැන් ඒ සාමාන්‍ය සම්ප්‍රදාය මුළුමනින්ම උල්ලංඝනය කරල තියෙන්නේ. මේ ගැන අපි බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විමසීමක් කළා. නමුත් ඔහුට මේ සම්බන්ධයෙන් කිසිදු පැහැදිළි කිරීමක් තිබුණේ නෑ.
මෙතන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එකක් තමයි අනුරාධපුර බන්ධනාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා බන්ධනාගාර පාලනාධිකාරය වගේම ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි ඇයි වැලිකඩට කුමාර් ගුණරත්නම් ගෙනයන්න බැරි කියලා. රැඳවියෙක් තමන් අකමැති බන්ධනාගාරයකට යන්න බෑ කියද්දී ඒ ගැන සලකා බලනවා. නමුත් කුමාර් ගුණරත්නම් සහෝදරයා අනුරාධපුර බන්ධනාගාරයට යන්න බෑ කියද්දී ගෙනගියා. ආණ්ඩුව මේවට පැහැදිලි උත්තරයක් දිය යුතුයි. මේ කරන්නේ දේශපාලන පළිගැනීම්. මේ ආණ්ඩුව බලයට ආවේ මේ වගේ දේවල් කරන්නේ නෑ කියලා. නමුත් මේ කරන දේවල් වලින් පැහැදිලි වෙනවා මේ කරලා තියෙන්නේ දේශපාලන පලිගැනීමක්. මේ ගැන ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි.


