‘ඔබාමා සහෝදරයා‘ : ෆිදෙල් කස්ත්‍රෝගෙන් ඔබාමාට පිළිතුරක්

Fidel_Obama

එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා කියුබාවේ සංචාරයකට පැමිණ දින දෙකක් එහි රැදී සිටියේය. හවානා අගනුවර පිහිටි ඇලිසියා ඇලොන්සෝ රගහලේදී ඔබාමා විසින් කළ විශේෂ ප්‍රකාශය තුළ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබතා සහ මිත්‍රත්වය සම්බන්ධ අපේක්ෂා ඇති බව කියැවිණි. එහෙත් ඊට පිළිතුරු වශයෙන් ෆිදෙල් කස්ත්‍රෝ විසින් දැක්වූ  ප්‍රතිචාරය තුළ වෙනත් බොහෝ කරුණු පිළිබ අවධානය යොමු කර තිබිණි. පහත පළ කෙරෙන්නේ ‘ඔබාමා සහෝදරයා“ යන සිරස්තලයෙන් සුප්‍රකට ‘ග්‍රැන්මා‘ කියුබානු පුවත්පතේ පළ වූ එම ලිඛිත ප්‍රතිචාරයේ පරිවර්තනයකි.

අධිරාජ්‍ය විසින් අපට කිසිවක් දිය යුතු නැත. මිහිතලයේ ජීවත්වන සියලු මිනිසුන් අතර සාමය හා සහෝදරත්වය ඇතිකිරීමට අපේ ඇති කැපවීම නිසා අප විසින් ඒ සදහා උත්සාහ දරන්නේ සාමකාමීව හා නීත්‍යනුකූල පදනමිනි.

ස්පාඤ්ඤයේ රජවරුන් අප වෙත යටත්විජිත දඩයක්කරුවන් හා හාම්පුතුන් එවූහ. ගංගාවල වැලි හාරමින් රත්රන් සොයාගිය ඔවුන්ගේ පා සටහන් අපේ රට පුරා විහිදී ඇත. ගුවනින් නිරීක්ෂණය කළ විට පවා රටේ ස්ථාන ගණනාවක සාක්ෂි සටහන් දැකිය හැකි එම රන් සොයායාම ලජ්ජා සහගත හා දූෂිත ආකාරයේ සූරාකෑමක් විය.

අද සංචාරක කර්මාන්තය තුළ විශාල වශයෙන් ඇත්තේ අපේ රටේ භූමි දර්ශන හා මුහුද ආශ්‍රිත විනෝදාස්වාදයයි. ඒ සදහා දායක කරගනු ලබන්නේ දැවැන්ත විදේශ සමාගම්වලින් යොදවන පෞද්ගලික ප්‍රාග්ධනයයි. ඔවුන්ට ඩොලර් මිලියන ගණන් බිලියන ගණන් උපයන්නට නොහැකි නම් ඒවා ගැන කිසිදු උනන්දුවක් ඇති නොවනු ඇත.

මෙහිදී මතු කළ යුතු කරුණක් පිළිබඳ වගකීමක් මට ඇති බව සිතමි. විශේෂයෙන් මෙය තරුණ පරපුරට වැදගත් දෙයකි. මානව ඉතිහාසය තුළ එක් මොහොතකට අදාළව ඇති එවැනි වැදගත්කමක් වටහා ගන්නේ සුලු පිරිසකි. කාලය නාස්ති වී ඇති බව මම නොකියමි. එහෙත් අපට මුහුණදීමට ඇති අභියෝගාත්මක යථාර්ථයට අභිමුඛවීමට තරම්, ඔබ හෝ අපි ප්‍රමාණවත් පරිදි දැනුමෙන් හා හෘදසාක්ෂියෙන් සන්නද්ධ නැති බව කියන්නට නොපැකිළෙමි.

අවධාරණය කරගත යුතු එක් දෙයක් නම්, අපගේ ජීවිත ගෙවී යමින් ඇත්තේ සෑම මනුෂ්‍යයකුටම අත්‍යවශ්‍යවන කරුණු පිළිබඳ කැප කළ යුතු ඓතිහාසික මොහොතක් තුළ බවයි. මෙම තත්වය තුළ එක් ලක්ෂණයක් නම්, එම ඓතිහාසික භූමිකාව අධිනිශ්චය වීමත් අනෙක් අතට ඊට ප්‍රතිවිරුද්ධ ලෙස එය සුවිසල් ජන සමූහයක උස් සිහින හා සම්බන්ධවීමත්ය.

එසේම, කිසිවකු තනි තනිව සම්පූර්ණයෙන් නරක යැයි කිව නොහැකිය. කියුබානුවන්ට හිමි වරපුසාදයක් ලෙස ‘ජාසේ මාටි‘ ආදර්ශය ඇති නමුත් විප්ලවකාරී සමාජයකදී භාරගත යුතු භූමිකාවට ගැලපෙන ලෙස අප කිසිවකු නිර්මාණය වී නැත. ඩොස් රියෝස්හිදී ජීවිතය කැප කරන්නට ඔහු කළ දේ කළ යුතුව තිබුණේදැයි මම මගෙන්ම අසා ගනිමි. ‘දැන් තමයි මගෙ වෙලාව!‘ කියමින් ගිනි අවි පෙළක් වැනි ස්පාඤ්ඥ හමුදාව වෙත කඩාපනින්නට ඔහු තීරණය කළේය. නැවත එක්සත් ජනපදයට යන්නට ඔහුට අවශ්‍ය නොවීය. ඔහු එසේ ගෙන යා හැකි කිසිවකුද නොවීය. කිසියම් පුද්ගලයකු විසින් ඔහුගේ දිනපොතේ පිටු කීපයක් ඉරා දමා තිබිණි. කිසිදු සදාචාරයක් නැති කුමන්ත්‍රණකරුවකු එම ද්‍රෝහීකම කළ බවට සැක නැත. නායකයන්ගේ වෙනස්කම් ගැන කාරණා පුසිද්ධය. එහෙත් අවිනීතකම් ගැන එවැනි ප්‍රසිද්ධියක් නැත.

‘කියුබාව අත්පත් කරගන්නට උත්සාහ දරණ ඕනෑම කෙනෙකුට හිමිවනු ඇත්තේ ලෙයින් පෙඟී ගිය ධූලි සහිත බිමක් පමණි‘ අසහාය කලු නායක අන්තෝනියෝ මැසියෝ එසේ කියා සිටියේය. එසේම මැක්සිමෝ ගෝමෙස් අපේ රටේ වඩාත් විනයගරුක හා සුවිශේෂී හමුදා නායකයකු ලෙස සලකනු ලැබේ.

එය තවත් කෝණයකින් බලන විට බොනිෆසියෝ බයර්න් අයුක්තිය හමුවේ පළ කළ කෝපය අගය කළ යුතු නැතිද අපි? දුර රටක සිට එන යාත්‍රාවක කියුබාව කරා එන විට තනිතරුව සමග ඇති තවත් ධජයක් දැක “මගේ ධජය කිසිවිටෙක කුලී හේවායන් සමග ඇති එකක් නොව…. “ යනුවෙන් ලියූ කවිය තුළ, මා අසා ඇති වඩාත් සිත්ගත් යෙදුමක් ලෙස, “ඉරී ගියත් කෑලිවලට…..  යම් දිනෙක එය මගේ ධජයයි… මිය ගිය අපේ උන් අත් ඔසවා….. එය සුරකිනු ඇත!“ යනුවෙන් ඔහු සටහන් කළේය.

එසේම එක්තරා රාත්‍රියක, මීටර් දහයකට පමණ ඔබ්බෙන් සිටි ප්‍රතිවිප්ලවවාදීන් අත අප දෙසට එල්ල වී තිබුණු බසූකා සහ එක්සත් ජනපද මැෂින් තුවක්කු දැක, කැමිලෝ සෙන්ෆියුගෝස් පිට කළ ගිනි පුපුරු වැනි වචන ද මට කිසිදා අමතක නොවේ.

ඔබාමා කියන විධියට ඔහු උපන්නෙ 1961 අගෝස්තුවෙ. එදා සිට අඩ සියවසකටත් වැඩි කාලයක් ගත වී තිබෙනවා. කෙසේවෙතත්, අපේ සුවිශේෂී අමුත්තා කල්පනා කරන විධිය ගැන බලමු :

“මා මෙහි පැමිණයේ සීතල යුද්ධයට අදාළව අමෙරිකාවේ අවසාන ශේෂයන් වළලා දැමීමටයි. මා මෙහි පැමිණියේ කියුබානු ජනතාව වෙත මිත්‍රත්වයේ දෑත් දිගු කරන්නටයි.“

ඉන්පසුව ඔහුගෙන් ප්‍රකාශයට පත් වුණේ අප බොහෝ දෙනකුට  සම්පූර්ණයෙන්ම අලුත් අදහස් ගංගාවකි.

“අල දෙගොල්ලාම වාසය කරන්නෙ යුරෝපීයයන් විසින් යටත්විජිතකරණය කළ නව ලෝකයක් තුළයි.“ ජනාධිපතිවරයා කියාගෙන ගියේය. “එක්සත් ජනපදය සේම කියුබාවත් ගොඩනැගුවේ අප්‍රිකාවෙන් ගෙන ආ වහලුන් විසිනි. එක්සත් ජනපදය සේම කියුබානු ජනයාටත් සිය උරුමයේ අඅවසානය සොයාගත හැක්කේ වහළුන් හා වහල් හිමියන් අතරය.“

ඔබාමාගේ මනස තුළ ස්වදේශිකයන්ට ඉඩක් ඇත්තේම නැත.  විප්ලවය විසින් වාර්ගික වෙනස්කම් අහෝසි කළ බවද ඔහු කියන්නේ නැත.  ඔබාමාට වයස 10ක් පිරෙන්නටත් කළින් සියලු කියුබානුවන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්තාපනය කෙරුණු බව පවසන්නේද නැත. කලු පුරවැසියන් විනෝදාත්මක මධ්‍යස්ථානවලින් පළවා හරින්නට කුලියට ගත් සවිමත් පුද්ගලයන් යෙදවූ වර්ගවාදී ධනපති කැත සිරිත, කියුබානු විප්ලවය විසින් අවසන් කළ බවද ඔහු කියන්නේ නැත. වර්ණදෙවාදය පිළිබද ඉතිහාසය තුළ එය සටහන් වනු ඇත. බිලියන ගණන් ජනකායක් වාසය කරන මහද්වීපයක න්‍යෂ්ටික අවි රෙඳවා තැබීම අවසන් කරමින් ඇන්ගෝලාව නිදහස් වූයේ එම විප්ලවයේ ම පසුකාලීන ජයග්‍රහණයක් ලෙසය. එය අපේ සහයෝගිතාවයේ අරමුණක් පමණක් නොවේ. එය ඇන්ගෝලා, මොසැම්බික්, ගිනි බසවු සහ පෘතුගාලයේ ෆැසිස්ට්වාදී යටත්විජිත බලය සහිත අනෙක් රටවල ජනයාට කළ උපකාරයකි.

1961දී, විප්ලවයේ වයස අවුරුද්දකුත් මාස තුනක්ව තිබියදී එක්සත් ජනපද යුද නැව්, ගුවන් ප්‍රහාරක යානා සහාය කරගෙන, කාලතුවක්කු හා පාබල ඇණියක් ලෙස කුලී හමුදාවක් අප රටට හදිසියේ පහර දුන්නේය. ජීවිත හානි සිය ගණනක් තුවාලවීම් සිය ගණනක් සහිතව අප රටට එකී ද්‍රෝහී පහරදීමෙන් ඇති කළ හානිය යුක්තියුක්ත කළ නොහැකිය.

යැන්කි ප්‍රහාරක බලඇණිය සැලකූ විට කිසිදු කුලී හමුදා භටයකු බේරාගන්නට හැකි වූ බවට කිසිදු සාක්ෂියක් නැත. කියුබානුවන්ගේ නැගිටීමක් ලෙස එක්සත් ජාකීන්ගේ සංවිධානයට පෙන්වූයේ යැන්කි ප්‍රහාරක ගුවන් යානාය. මේ රටේ මිලිටරිමය අත්දැකීම් හා බලය කවුරුත් දන්නා එකකි. ඒ ආකාරයෙන්ම විප්ලවවාදී කියුබාව අප්‍රිකාවෙන් පළවා හැරිය හැකි වෙතැයි ඔවුහු කල්පනා කළහ. දකුණු අප්‍රිකානු වර්ගවාදී මෝටර් සයිකල් බලඇණියක් ඇංගෝලාවේ නැගෙනහිර ප්‍රදේශයේ ප්‍රධාන නගරය වන ලුවන්ඩා වෙත ළගා විය. එහිදී ඇරඹුණු සටන වසර 15කට නොඅඩු දක්වා ඇදුණි. මා මෙය කතා කරන්නටත් අකැමැති දෙයකි. හවානාහි ඇලිසියා ඇලොන්සෝ රගහලේදී ඔබාමා කළ ප්‍රකාශයට පිළිතුරු දීමේ වගකීම නොමැති නම් මා ඒ ගැන සිහිපත් කිරීම පවා නොකරමි.

මානව නිදහසේ ග්‍රෙරවනීය පරිච්ඡේදයක් එහි සටහන්ව ඇති බව අවධාරණය කළ යුතු නිසා මිස මා එහි තොරතුරු පවසන්නට උත්සාහ දරන්නේද නැත. ඔබාමාගේ හැසිරීම යහපත් වනු ඇතැයි මමද එක්තරා ආකාරයකින් අපේක්ෂා කළෙමි. ඔහු සතු නිහතමානි මූලයන් හා සහජ බුද්ධියක් දක්නට තිබිණි. මැන්ඩෙලා සිරගත කිරීමෙන් පසුව මානව අභිමානය පිළිබඳ අරගලයේ යෝධයකු බවට පත් විය. එක්තරා දවසක මැන්ඩෙලාගේ ජිවිත කතාවේ කොටසක් සටහන් කෙරෙන පොතක් මා වෙත ලැබිණි. පුදුමයකි! එහි පෙරවදන ලියා තිබුණේ බරක් ඔබාමා විසිනි. මා ඉක්මනින් එහි පිටු කියවා ගෙන ගියෙමි.

මැන්ඩෙලා පිළිබඳ කරුණු සටහන් කර ඇති ආකාරය පුදුම සහගතය. ඔහු වැනි මිනිසකු දැන  සිටීම වටිනාකමකි.

දකුණු අප්‍රිකාව පිළිබද එහි එන සටහන් වෙත අවධානය යොමු කරමි.

දකුණු අප්‍රිකාව සම්බන්ධයෙන් තවත් අත්දැකීමක් පෙන්වා දිය යුතුය. දකුණු අප්‍රිකාව න්‍යෂ්ටිත අවි ලබාගත්තේ කෙසේද යන්න ගැන මා මහත් වඋවධානයකින් සොයා බැලුවෙමි. එහි බෝම්බ 10ක් 12කට වැඩියෙන් නොමැති බව පමණක් මට නිශ්චිතවම දැනගන්නට හැකි විය. එක් තොරතුරු මූලාශ්‍රයක් වූයේ මහාචාර්යවරයකු හා පර්යේෂකයකු වූ පියෙරො ග්ලෙයිජෙසිස්ය. මේ පිළිබඳ ඔහු විසින් ලියන ලද ලිපියක් (Conflicting Missions: Havana, Washington, and Africa, 1959-1976) අනර්ඝය. සිදු වූ දේ පිළිබද කිව හැකි වඩා විශ්වාසදායක මූලාශ්‍රය ඔහුය, මා ඔහුට ම ඒ බව කියා සිටියෙමි. ඔහු කීවේ ජෝර්ජි රිස්කෙට් සහෝදරයා මතු කළ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වූවා මිස එම කාරණය ගැන එතරම් කතා කර නැති බවයි. ඇන්ගෝලාවේ කියුබානු තානාපතිවරයා සහ පහසුකම් සපයන්නා ලෙස සිටි ජෝර්ජි රිස්කෙට්, ඔහුගේ කිට්ටුම මිතුරකු විය. තමන් විසින් දිගු කාලයක් තිස්සේ යෙදී සිටි වගකීම්වල කටයුතු අවසන් කිරීමට තවත් සති කිහිපයක් තිබියදී මම ඔහු මුණ ගැසුනෙමි. ඒ සිය කටයුතු අතරතුර මෑතකදී කියුබාවට පැමිණි අවස්ථාවකදීය. වියපත් වෙමින් සිටි සහ එතරම් හොඳ සුවයකින් නොසිටි ඔහුට මම අනතුරු ඇඟවුවෙමි. නමුත් දින කිහිපයකට පසුව මා බියෙන් සිටි දේ සිදු විය. රිස්කෙට්, දුර්වල ව අවසන් ගමන් ගියේය. පියරො පැමිණෙන අවස්ථාවේ පොරොන්දු දෙනවා හැර වෙන කිසිවක් කරන්නට ඉතිරිව නොතිබිණි. ඒ වන විටත් ආයුද සම්බන්ධවත් වර්ගවාදී දකුණු අප්‍රිකාවට (රොනල්ඩ්)රේගන් හා ඊශ්‍රායලය සහයෝගය දුන් ආකාරයත් ගැන තොරතුරු සොයාගෙන සිටියෙමි.

දැන් මේ කතාව ගැන ඔබාමාට කියන්නට ඇත්තේ මොනවාදැයි මා දන්නේ නැත. ඔහු දැන සිටි හා නොදැන සිටි දේ ගැන මා දන්නේ නැත. ඔහු කිසිවක් නොදැන සිටියා යැයි කීමට නොහැකිය. මගේ යෝජනාව නම් කියුබාවේ පිළිවෙත ගැන න්‍යායන් ඉස්මතු නොකර සිටින්නට ඔහු කල්පනා කළ යුතු බවයි.

තවත් වැදගත් ප්‍රශ්නයක් තිබේ . සිය අදහස් දැක්වීමේදී ඔබාමා විසින් ඉතා මිහිරි වචන යොදාගෙන තිබිණි. :

“මේ, අතීතය අමතක කළ යුතු කාලයයි, අතීතය එහි ම අත හැර දමා අපි එක්ව අනාගතය දෙස බලමු.  අපේක්ෂාවේ අනාගතයක්. එය පහසු නොවනු ඇත. අභියෝග මතුවනු ඇත. කාලයට ඉඩ දියයුතු වෙමු. මා මෙහි සිටි කාලය තුළ මට අපේක්ෂා ඇති කරන්නේ අපට මිතුරන් ලෙස, පවුලක් ලෙස, අසල්වැසියන් ලෙස එකතුව කළහැකි දේ ගැනයි.“

එක්සත් ජනපද ජනාධිපතිගේ මේ වචන ඇසීම නිසා අප සියලුදෙනාටම හෘදයාබාධ ඇතිවීමේ අවදානමක් තිබුණ බව මම අනුමාන කරමි. 60 වසරක සම්බාධකවලින් පසු, කියුබානු නැව්වලට, වරායවලට, කැලී හේවායන්ගේ පහරදීම්වලින් පසු, මගීන් රැගත් ගුවන් යානා අහසේදීම පුපුරුවාලීමෙන් පසු, කුලී හේවායන්ගෙ ආක්‍රමණ ඇතුළු ප්‍රචණ්ඩ මැදිහත්වීම් ගණනාවකට පසුව?

මේ අභිමානවත් හා ආත්මාර්ථයෙන් තොර දේශයේ ජනතාව බුක්ති විඳින විජයග්‍රහණ, අයිතිවාසිකම් සහ අධ්‍යාපනයේ,  විද්‍යාවේ හා සංස්කෘතික ප්‍රගතියේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ලබාගත් ආධ්‍යාත්මික ධනය අත්හරින්නට සූදානම්ය යන මායාවේ කිසිවකු සිටිය යුතු නැත.

අපට අවශ්‍ය තරම් ආහාර සහ ද්‍රව්‍යමය වත්කම් අපේම ජනයාගේ උත්සාහයෙන් හා බුද්ධියෙන් නිපදවන්නට අපට හැකි බව මා අනතුරු ඇඟවීමක් ලෙස දක්වමි. අධිරාජ්‍යයෙන් කිසිවක් දෙනු ඇතැයි අපි අපේක්ෂා නොකරමු. අපේ සියලු ප්‍රයත්නයන් සාමකාමී මෙන්ම නීත්‍යනුකූල වනු ඇත. මිහිතලයේ ජීවත්වන සියලු මිනිසුන් අතර සාමය හා සහෝදරත්වය ඇතිකිරීමට අපේ ඇති කැපවීම එලෙසමය.

ෆිදෙල් කස්ත්‍රෝ රුස්

2016 මාර්තු 27 – ප.ව.10.25ට

(පරිවර්තනය – චන්දන සිරිමල්වත්ත)