හැම වසරකම වගේ මේ වසරේත් මාර්තු 08 වෙනිදාවක් අපේ දින දර්ශනයට එකතු වෙනවා. සමහර අයට ඒ දිනය විශේෂ වෙනවා වගේම තවත් අයට ඒ දිනයත් වෙනද වගේම සාමාන්‍ය දිනයක් කොහොමවුණත් දිනවලට යෙදෙන සුවිශේෂත්වය මත මිනිස්සුන්ගේ ජීවිත තීරණය වෙන්නේ නැහැ කියල අපිත් දන්නවා. නමුත් සමහර දින තියෙනවා දිනයෙන් ඔබ්බට ගිහින් අපට හිතන්න සිදුවෙනවා. මාර්තු 08 කියන්නෙත් එහෙම දවසක්. ඒ ජාත්‍යන්තර කාන්තා දිනය නිසා.
හැමදාමත් වගේ මේ දිනය සීමා වෙන්නේ මල් ප්‍රදර්ශන, කේක් පාඨමාලා, රුපලාවන්‍ය, මනාලියන් හැඩ ගැන්වීම වගේම ස්ත්‍රියව පාවිච්චි කරන වැඩසටහන්වලට. ඒක එහෙම වෙන්නේ ඇයි? ගොඩක් දෙනා හිතන්නේ ස්ත්‍රිය කියන්නේ උයන පිහන, රෙදි හෝදන, දරුවන් වදන හදන, ගේ දොර විතරක් බලාගන්න කෙනෙක් කියල. නමුත් එතනින් එහාට ගිය සමාජ ජීවිතයක් ඇයටත් අයිතියි. ඒ වගේම ඇය ඒ වැඩවලින් විතරක් සීමා වෙන්නේ නැතුව සමාජ ප්‍රගමනය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දෙනවා කියල හිතන්නේ ටික දෙනයි. සමාජයක් ලෙස අපි වැඩ කරද්දී පිරිමින් වගේම ස්ත්‍රීන් ද ඒ වැඩවල හවුල් කාරයන් කියන එකත්ල ඇගේ ශ්‍රමයේ දායකත්වය සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍ය බවත් කතාබහ කෙරෙන්නේ ඉතාම අඩුවෙන්.
ඒ විදිහට ආර්ථික ජීවිතය ඇතුලේ ඇයව ගණන් ගැනෙන්නේ නැහැ වගේමල තවමත් සමාජ ආකල්පල සංස්කෘතිය වගේ දේවල්වලදී ඇය දෙස බලන්නේ වෙනම කෝණයකින්. ගොඩක් වෙලාවට සමාජය ඇය දෙස බලන්නේ කැමති කෙනෙකුට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන් භාණ්ඩයක් කියල. විවාහය ඇතුලේ, පවුල ඇතුලේ, මහමඟදී, ආයතන ඇතුලේ, ස්ත්‍රියක් වීම නිසාම ඇය පීඩාවට පත්කරනවා. අපි ජීවත් වෙන්නේ නව ලිබරල් ධනවාදය ඇතුලේ. ඒක ඇතුලේ කිසිම දේකට පිරිසිදු විදිහට ජීවත් වෙන්න ඉඩක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසාම ස්ත්‍රියත් වෙළෙඳ භාණ්ඩයක් ලෙස සලකන, වෙළෙදපොළ උවමනාව වෙනුවෙන් ඇයව විකුණන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා ඒ නිසා තමයි වෙළෙඳපොළේ විකුණන්න තියෙන අනෙක් භාණ්ඩ අතරට ස්ත්‍රියත් එකතු වෙන්නේ. ඉතින් මේ හේතුව නිසා ආර්ථික ජිවිතයේ මුළු සමාජයම වෙලාගත් පීඩාවේ ඇයත් ගොදුරක් වගේම ස්ත්‍රියක් වීමේ පීඩා වෙනුත් ඇය හෙම්බත් වෙනවා.
ඉතින් ඒක නිසා අපිට වයස මාස 6 ඉඳලා අවුරුදු 90 ක් විතර වෙන මහළු ස්ත්‍රිය දක්වාම විවධ ආකාරයේ ලිංගික හිංසනයන්ට අතවරයන්ට ගොදුරු වෙන බව අහන්න දකින්න ලැබෙනවා. අපි ඒකෙන් කම්පා වෙනවා. දුක්වෙනවා. එත් කවදාවත්ම එහෙම වෙන්නේ ඇයි කියල හිතන්නේ නැහැ. හිතුවත් ඒක කාගේ හරි කෙනෙකුගේ වරදක් විදියට තමයි හිතුවේ.
එත් ඇත්ත කතාවල අපි මුලින් කිව්ව විදියට සමාජයක් විදියට අපි හැමෝම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මේ ධනවාදී ආර්ථික ජීවිතය ඇතුලේ පීඩාවට පත් වෙනවා. ඒකෙ මූලික පදනම තමයි මේ ආර්ථිකය. මිනිස්කම වෙනුවට ලාභය විතරක් සලකන මුදල මූලික වූ සමාජයක අපි කාටවත් ඒකෙන් ගැලවීමක් නැහැ. ඒ නිසා තනි තනි මිනිස්සුන්ට ඔබයි වැරදි කියලා ඇඟිල්ල දික්කරන්න අපට අයිතියක් නැහැ. ස්ත්‍රී පිඩාව කියන්නේ සමාජමය ගැටළුවක්. ඒ නිසා ඒක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මේ තියන සමාජ රටාවම වෙනස් කරන්න අපේ පෙළ ගැසීමකින් විතරයි. ඒක පහසු නැහැ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා කියල තේරුම් ගැනීමම ප්‍රශ්නයට 50%ක පිළිතුරක් ලැබීමක් කියලයි අපි හිතන්නේ. එතනින් ඉදිරියට තියෙන්නේ අපි හිතන්න පටන් ගන්න එක. ඉතින් මේ ව්‍යායාමය ප්‍රශ්නයක් තියෙනවා කියල තේරුම් කිරීමටත් ඉන් පසුව හිතන්න පටන් ගැනීමටත් මූලික පියවරක් විතරයි.
ස්ත්‍රියක් ලෙස ඔබ සිතන්න, සමාජයත් එක්ක සංවිධානය වෙන්න,
එවිට එයම අප පෙළන පීඩාවේ පවුරු පදනම් බිඳ දමන පළමු වෙඩි මුරය බවට පත්වේවි!
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය