පාකිස්තානයේ මරාගෙන මැරෙන ප්රරහාරයකින් 65ක් මරුට

Pakisthan-suicide-28.03.2016

පාකිස්තානයේ ලාහෝර් නගරයේ උද්‍යානයක් ආසන්නයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 65 දෙනකු මරණයට පත්ව තවත් 300ක් පමණ තුවාල ලබා තිබේ. මිය ගිය හා තුවාල ලැබූ වැඩි පිරිස කාන්තාවන් හා කුඩා දරුවන් බව පාකිස්තාන පොලිසිය කියයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පාකිස්තානයේ තලේබාන් කණ්ඩායමක් බාර ගෙන තිබේ. සිය ඉලක්කය ක්‍රිස්තු භක්තිකයන් බවත් තමන් ලාහෝර් නගරයට ඇතුළු වී සිටින බව අගමැති නවාස් ෂරීෆ්ට දැනුම්දීම ප්‍රහාරයේ අරමුණ වූ බවත් එම තලේබාන් කණ්ඩායමේ ප්‍රකාශකයකු නිවේදනය කර ඇත. තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවද එම ප්‍රකාශකයා පවසා ඇත.

මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වූ නැගෙනහිර පාකිස්තානයේ ගුල්ෂාන්-ඊ-ඉක්බාල් උද්‍යානය ක්‍රිස්තු භක්තිකයන්ගේ ජනප්‍රිය ස්ථානයක් බවත් ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට පාස්කු සති අන්ත නිවාඩුව හේතුවෙන් ක්‍රිස්තු භක්තිකයන් විශාල පිරිසක් පැමිණ සිටි බවත් පැවසේ.

පිපිරුම සිදුව තිබෙන්නේ නැගෙනහිර පාකිස්තානයේ ලාහෝර් නගරයේ ගුල්ෂාන්-ඊ-ඉක්බාල් නමැති උද්‍යානයේ වාහන අංගනයේ වන අතර ළමා උද්‍යානයද පිහිටා ඇත්තේ ඊට ආසන්නයේ බව පොලිසිය කියයි.

Pakisthan-suicide-28.03.2016-2