පෙසප 26 වන ඉල් මහ විරු සමරුව
Posted on 11.16.2015 by Sampath in වීඩියෝ පුවත් with 0 Comments
2015.11.13 දින නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඨයේ දී පැවැති පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ26 වන ඉල් මහ විරු සමරුවේදී දක්වන ලද අදහස් –

සේනාධීර ගුණතිලක (ප‍්‍රධාන ලේකම් – පෙරටුගාමී සමාජවාදී පක්ෂය)
විමුක්තිකාමී දේශපාලනය ගැන විශ්වාස කරන කිසිම කෙනෙක්ට මග හැර යන්න බැරි අත්දැකීමක් තමයි ඉල් මහ විරුවන්ගේ අත්දැකීම. වඩා යහපත් හෙට දවසක් වෙනුවෙන් අරගල කරන කම්කරුවන්ට, ගොවීන්ට, තරුණයන්ට, ශිෂ්‍යයන්ට මේ අත්දැකීමෙන් උගත හැකි පාඩම් බොහොමයි. 88-89 අරගලය කියන්නේ සමාජ සමානාත්මතාවය, සමාජවාදය සඳහා වූ අරගලයක්. සමානාත්මතාවය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම සඳහා කළ අරගලයක්. මේ අරගලයේ පෙනුමේ විවිධ හැඩ හුරුකම් තිබෙන්නට පුලූවන්. ඒ සඳහා භාවිතා කළ සටන් පාඨ විවිධයි. ජේආර් මරමු කියලා සටන් පාඨ තිබුණා. දේශපේ‍්‍රමී සටන් පාඨ තිබුණා. පෙනුම කවරක් වූවත් මේ අරගලයේ හරය වූයේ සමාජ සමානාත්මතාවය සඳහා වූ සටන.
අරගල කළ ඉල් මහ විරුවන් අරගලය සඳහා වූ ස්වකීය පෙළඹවීම ලබාගන්නේ විවිධ මූලාශ‍්‍රයන්ගෙන්. 71 දී අරගල කළ පරම්පරාවේ ධෛර්යය ඔවුන්ට ලැබුණා. ඒ වගේම ජාත්‍යත්නර පරිමාණව සමාජවාදය වෙනුවෙන්, සමාජ විමුක්තිය වෙනුවෙන් කරපු අරගලවල ආලෝකය ඔවුන්ට ලැබුණා. කියුබාවේ, වියට්නාමයේ අරගලවල අත්දැකීම් ඔවුන් ලබාගත්තා. මේ අරගලවලින් ඔවුන් ලබාගත් දෙයක් තමයි අසම්මුතිකාමීත්වයේ ගුණය. අසාධාරණය සමග සම්මුතිගත වෙනවා වෙනුවට, කවර තත්වයක් යටතේ වත් අසාධාරණය ඉස්සරහා යටත් නොවෙන අසම්මුතිකාමයක් මේ පරම්පරාව සතුව තිබුණා. මේ අරගල සම්ප‍්‍රදාය ඇතුලේ අඩුපාඩු නොතිබුණා නෙමෙයි. විරුද්ධ මත දරන වාමාංශිකයින්ට එරෙහිව ඝාතන සම්ප‍්‍රදායක් පැවැතීම ඒ වගේ එක් අඩුපාඩුවක්. ඒ වගේම ගම් මට්ටමේ දී රාජ්‍ය නිලධාරීන් වගේ අයට විරුද්ධව යම් යම් ක‍්‍රියාමාර්ග ගැනුණා. මේ වගේ අඩුපාඩු සහිතව වුනත් සමස්තයක් විදිහට අරගලය ඇතුලේ තිබුණේ යටත් නොවෙන – සටන් කරන අසම්මුතිකාමී ජීව ගුණයක්. අද අපට තිබෙන අභියෝගය තමයි විමුක්තිකාමී දේශපාලනයට 88-89 පරම්පරාවේ ඒ ජීවගුණය හා අරගල සම්ප‍්‍රදායේ තිබුණු සාධනීය ලක්ෂණ උකහා ගැනීම. අද වෙනවිට හැමතැනම අසම්මුතිකාමීත්වය වෙනුවට සම්මුතිකාමය ආදේශ වෙලා. ඉල් මහ විරුවන්ගේ පරම්පරාව අපට දෙන පණිවුඩය තමයි ඒ සම්මුතිකාමය වෙනුවට අසම්මුතිකාමී ගුණය මත පදනම් වී සටන් කිරීමේ අවශ්‍යතාවය. අද සටන් කරන කම්කරුවන් ගොවීන් තරුණයන් ශිෂ්‍යයන් ධීවරයන් ආදී සියලූ බලවේගවලට මේ පාඩම බෙහෙවින් වැදගත්.

පුබුදු ජයගොඩ -(ප‍්‍රචාරක ලේකම්- පෙරටුගාමී සමාජවාදී පක්ෂය)
මෙවර ඉල් මහ විරු සමරුව සමරන්න අපි යොමුවූයේ ඇයි කියන තැනින් අපිට මේ කථාව පටන් ගන්න පුලූවන්. අපේ දින දර්ශනයේ දවසක් තිබෙනවා නොවැම්බර් මාසයේ ඉල් මහ විරු සමරුව කියලා, ඒ දවසේ අතීතයේ කළ අරගලයක් අපි සිහිපත් කරනවා, ඒක සිහිපත් කළ යුතු නිසා දින දර්ශනයේ කොටසක් විදිහට සැමරුම කරනවා කියන අදහසට අපි එකග නැහැ. අපි මෙතැනට එකතු වෙලා ඉන්නේ වතාවතක් සඳහා නෙමෙයි. අපි මේ එකතු වෙලා ඉන්නේ මීට පෙර අවස්ථාවල අපි එකතු වුණා වගේම ඒ දිවිදුන් විරු සොයුරු සොයුරියන්ගේ ජීවිත ආදර්ශය කොහොමද අපේ වර්තමාන අරගලයට උකහා ගන්නේ කියන එක සාකච්ඡුා කරගන්න.
පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා කීවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගේනවා කියලා. ඒත් අපි මේ එකතු වෙන මොහොත වන විට ජනාධිපතිවරණයට මාස හයකට පස්සේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපි පමණක් නෙමෙයි ආණ්ඩුවේ බත් බැලයන් බවට සූදානම් නැති සියලූම විකල්ප බලවේග මර්දනයට මුහුණ දී සිටිනවා. මේ ගත කරන්නේ දුෂ්කර මොහොතක්. අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් සහෝදරයාව රටින් පිටුවහල් කරන්න, ඔහුට රටේ ජීවත් වෙන්න තිබෙන අයිතිය නැති කරන්න මේ වෙනකොට කටයුතු යොදලා තියෙනවා. එහෙම අසීරු මොහොතක තමයි අපිට දේශපාලනය කරන්න වෙලා තිබෙන්නේ.
මේ අභියෝගය ඇතුලේ දේශපාලනය කරන්න මහත් ධෛර්යයක් අවශ්‍යයයි. සටන් කරන එක, අරගල කරන එක වැඩක් නැහැ ඒක තේරුමක් නැහැ කියලා දෘෂ්ටිවාදයක් තිබෙන යුගයක මේ දේශපාලනය කරන්න විශාල ධෛර්යයක් අවශ්‍ය කරනවා. ඒ ධෛර්යය අපි උකහා ගන්නේ ඉල් මහේ දී එදා ජීවිතය දුන්නු ඒ පරම්පරාවෙන්. ඒ ධෛර්යය අපි උකහා ගෙන විතරක් මදි, ඒක සමාජයට එන්නත් කරන්න ඕනේ කියලා අපි හිතනවා. ඒ හන්දයි අපි ඉල් මහ විරුවන් මේ විදිහට සමරන්නේ. මේ ඉල් මහ විරුවන් අති දැවැන්ත විශ්වාසයක් තියලා තිබෙනවා අපේ පරම්පරාවන් මත. ඒ විශ්වාසය මත පදනම් වෙලා ඔවුන් අපේක්ෂාකල විදිහේ සමාජයක්, සමානාතාමතාවය තිබෙන, මිනිසෙක් තවමත් මිනිසෙක් සූරාගෙන කන්නේ නැති සමාජයක් හදන්නේ කොහොමද කියන එක ගැන අපිට සාකච්ඡුාවක් තිබෙනවා.
ශාන්ත බණ්ඩාර සහෝදරයා රජයේ හමුදා අත්අඩංගුවට පත්වෙලා දස වධ දීලා මරණයට ඔන්න මෙන්න ලංවෙලා ඉද්දී හමුදා සොල්දාදුවෙක් ගිහින් ඒ සහෝදරයාට කියනවා – ‘‘දැන් ඔබව මරන්න යන්නේ, මට ඔබට උදවු කරන්න ඕනේ, මට ලොකු උදවු කරන්න බැහැ ඔබට පණිවුඩයක් තිබෙනවා නම් ඔබේ ඥාතියෙක්ට කියන්නම් කියලා’’ සොල්දාදුවා කියනවා. ශාන්ත බණ්ඩාර සහෝදරයා මේ සොල්දාදුවාට කියන පණිවුඩය තමයි ‘‘ගිහින් ව්‍යාපාරයට කියන්න අපි කිසිම කෙනෙක්ව පාවලා දුන්නේ නැහැ අපි මැරුණේ කිසිම කෙනෙක්ව පාවලා නොදී කියා කියන්න’’ කියලා. එතකොට සොල්දාදුවා කියනවා මේ වෙනකොට රෝහණ විජේවීර සහෝදරයා ඇතුලූ සියලූ දෙනා මරලා තියෙන්නේ, ඔය පණිවුඩය කියන්න එලියේ පක්ෂයක් නැහැ කියලා. එතකොට ශාන්ත බණ්ඩාර සහෝදරයා කියනවා ඒ ගැන සැකයක් තියා ගන්න එපා, පක්ෂය දැනට නැති වුනාට ඉස්සරහට අනිවාර්යයෙන්ම පක්ෂය හදනවා, අන්න ඒ පක්ෂයට මේ පණිවුඩය කියන්න කියලා. ඒ තමයි අපිට කලින් හිටපු පරම්පරාව අපි ගැන තියපු විශ්වාසය.
අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ සමහරු වගේ ඒ මියගිය පරම්පරාව ආගමික විදිහකට සමරන්න නෙමෙයි. අපි ආවේ අරගල කරන්නෙ නැතිව, එක එක්කෙනා එක්ක සම්මුති ගහගෙන, එක එක ධනේශ්වර ව්‍යාපාර එක්ක ගනුදෙනු කර කර, අරගල නොකර ඒ අරගල කරන්නේ නැති එකේ පාපය වහගන්න පෙර පරම්පරාව මූනිච්චාවට සමරන්න නෙමෙයි. ඒ අරගලයේ හරය අපි ග‍්‍රහණය කරගන්නවා. ඒ අරගලයේ හරය ග‍්‍රහණය කරගෙන ඒ අරගලය නැවත ප‍්‍රතිනිර්මාණය කරන්න අපට අවශ්‍යයයි.
අපිට තිබෙනවා තුන් ආකාරයක අරගලයක්. පලමුව අපට තිබෙනවා ජනතාවගේ අරගල ආරක්ෂා කරන අරගලයක්. මේ වෙනකොට රටේ විවිධ ජනකොටස් අරගල කරනවා. බඳගිරියේ ජනතාව ජල අයිතිය වෙනුවෙන්, මීතොටමුල්ල ජනතාව තමා පෙලන කුණු කන්දේ පීඩාවට විරුද්ධව අරගල කළා. පසුගිය කාලයේ විශ්ව විද්‍යාලවල සිසුන් අරගල කළා. ප‍්‍රවෘත්ති බලනකොට පේනවා මිනිස්සු තනියෙම අරගල කරන හැටි. අලි පාලනය කරන්න විදුලි වැට ඕනේ කියලා කරන අරගල වල ඉදලා ගමට පාර ඉල්ලලා කරන අරගල දක්වා විවිධ අරගල තිබෙනවා. මේ ජනතා අරගල ආරක්ෂා කරන අරගලයක් අපිට තිබෙනවා. ශිෂ්‍යයෝ පහුගිය කාලයේ අරගල කරන කොට විවිධ අය කලබල වුණා. විශේෂයෙන් ලිබරල් වෘත්තිකයෝ ලිබරල් මතධාරීන් කලබල වුනා. ඒ අය එක එක ඒවා කියන්න ගත්තා. මේ ලිබරල් මහත්වරු පසුගිය ඡුන්දයේ දී මෛත‍්‍රීපාල සිරිසේන වෙනුවෙන් කථා කරපු අය. අපි ඒ කාලයේ කීවා මහින්ද පැරදවීම කියන්නේ නිකම්ම නිකම් මහින්ද පරාජය කිරීම නෙමෙයි, මහින්ද නියෝජනය කරපු ක‍්‍රමය නැති කිරීම. එහෙම නොකලොත් වෙන්නේ තවත් මහින්ද කෙනෙක් බිහිවීම කියලා අපි කීවා. දැන් අපි කීව එක ඇත්ත වෙලා තිබෙනවා. දෙවෙනි මහින්ද ඇවිල්ලා පලවෙනි මහින්ද වගේම ජනතා අරගල මර්දනය කරන්න පටන් ගෙන තිබෙනවා. ඒ මර්දනය හන්දා ඇතිවෙන අප‍්‍රසාදය පාවිච්චි කරලා පලවෙනි මහින්ද දැන් ආපහු බලය අල්ලගන්න කුමන්ත‍්‍රණය කරනවා. මේ දේ තේරුම් නොගත්ත ලිබරල් බුද්ධිමතුන් දැන් අරගලවලට විරුද්ධව ආණ්ඩුව ආරක්ෂා කරනවා. ඒ අය මේ අරගල හදුන්වන්නේ උද්ඝෝෂණ විදිහට නෙමෙයි අයුතු ජන රාශි කියලා. මේ අරගල පිටිපස්සේ අදිසි බලවේග තියෙනවාලූ. මේ වගේ වචන පාවිච්චි කරන්නේ මොකටද? මේ අරගල මර්දනය කරන එක සාධාරණීකරනය කරන්න. මෙතන තිබෙන උත්ප‍්‍රාසය තමයි අද මේ අදිසි බලවේග ගැන කථා කරන්නට පටන් අරගෙන තිබෙන්නේ මීට අවුරුද්දකට කලින් මහින්ද මේ අරගල මර්දනය කරනකොට මේ අරගල පිටිපස්සේ අදිසි බලවේග ඉන්නවා කියලා කියන කොට ඒකට විරුද්ධ වෙච්ච පිරිස්.
අපිට තිබෙන දෙවෙනි අරගලය තමයි ඒ අරගල කරන ජනතාව සමග කරන අරගලය. මොකක්ද මේ අරගලය? තමන්ට දැනෙන පීඩාවට විරුද්ධව සාංසිද්ධිකව මහජනතාව අරගල කරනවා. හැබැයි මෙහෙම සාංසිද්ධිකව කරන අරගලවලට ජයග‍්‍රහණය කරන්න බැහැ. මේ අරගලවලට සංවිධානාත්මකභාවය ගෙනියන එක, මේ අරගලවලට පංති දේශපාලනය ගෙනි යන එක අපිට තිබෙන අරගලයක්. අපි මේ අරගලය කරන්නේ වෙබ් සයිට්වල පත්තරවල විචාර ලියලා නෙමෙයි. අපි ඒක කරන්නේ ඒ ජනතාව එක්ක එකට ඉදලා. ඒ ජනතාව එක්ක එකට ඉදලා එකට ගුටි කාලා එකට පොලිසි ගිහිල්ලා ඒ ජනතාව සමග එකට රැුදිලයි අපි ඒ අරගලය කරන්නේ.
අපිට තුන්වෙනි අරගලයකුත් තිබෙනවා. ඉල් විරුවන් කරපු අරගලය එක එක විදිහට දැන් අර්ථකථනය කරන්න වෑයම් කරනවා. මේ විකෘති කිරීම්වලට විරුද්ධව අපිට අරගලයක් තිබෙනවා. දැන් සමහරු ඉල් මහ විරුවන් කරපු අරගලය බෙදුම්වාදයට විරුද්ධ අරගලයක් විදිහට හඳුන්වා දෙනවා. තමන්ගේ ජාතිවාදී න්‍යාය පත‍්‍රයට ගැලපෙන විදිහට මේ අරගලය නිර්වචනය කරන්න වෑයම් කරනවා. ඒ අස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා මේ අරගලය එක්සත් ජාතික පක්ෂ විරෝධී අරගලයක් ලූ. ඒ අතර දැන් ජනතා විමුක්ති පෙරමුණ තමන් කරන සභාග දේශපාලනය සාධාරණීකරනය කරගන්න මේ අරගලය පාවිච්චි කරනවා. 88-89 කාලයේ කරපු අරගලය මේ විදිහට එක එක අරමුණු වෙනුවෙන් විකෘති කරන්න අපි ඉඩ දෙන්නෙ නැහැ. මේ අරගලයේ එක එක සටන් පාඨ තිබුණා. ඒක ඇත්ත. හැබැයි මොන සටන් පාඨ තිබුණත් ඒක සමාජවාදය සඳහා කරපු අරගලයක්. ඒක තමයි ඒ අරගලයේ හරය. ඒක විකෘති කරන්න අපි ඉඩ දෙන්නෙ නැහැ. ජාතිවාදීන්ටයි, ධනපති වලවුවල පිලිකණුවල ලගින අයටයි ඒ අරගලයේ හරය මොට කරන්න අපිට ඉඩ දීමට නොහැකියි.
මේ වෙනකොට අපිට අභියෝග ගනනාවකට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා දැන් මධ්‍යකාලීන ආර්ථික වැඩපිලිවෙලක් ඉදිරිපත් කරලා තිබෙනවා. එතනදී රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියනවා ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් උදා වෙලා තිබෙනවා, ඉතිහාසයේ පලමුවෙනි වතාවට එජාපයයි ශ‍්‍රීලනිපයයි එක ආණ්ඩුවක ඉන්නවා, මේ ස්වර්ණමය අවස්ථාව පාවිච්චි කරලා ඉතිහාසයේ කරන්න බැරි වූ දේ දැන් කරන්න ඕනෙ කියලා රනිල් වික‍්‍රමසිංහ කියනවා. අනුරාධපුර යුගයේ මානවම්ම රජතුමාගේ කාලයේ ඉඳලා පොලොන්නරුවේ මහා පරාක‍්‍රමබාහු රජතුමාගේ කාලය දක්වා තිබුණේ විවෘත ආර්ථිකයලූ. මේ දන්නේ නැතිව කියන ඒවා නෙමෙයි. රනිල් වික‍්‍රමසිංහ නොදන්නවා නෙමෙයි විවෘත ආර්ථිකය කියන්නේ මොකක්ද කියලා. ඒ කාලයේ විදේශ වෙලදාම කලාලූ. විදේශ වෙලදාම කරනවා කියන්නේ විවෘත ආර්ථිකය නෙමෙයි. විදේශ ප‍්‍රාග්ධනයට කිසිම සීමාවක් නැතිව මෙහෙට එන්න දෙන එක තමයි නව ලිබරල් ආර්ථිකය කියන්නේ. දැන් තමන් ක‍්‍රියාත්මක කරන්න අපේක්ෂා කරන නව ලිබරල් ආර්ථික ක‍්‍රමය මානවම්ම රජතුමයි පරාක‍්‍රමබාහු රජතුමයි අරගෙන සාධාරණීකරනය කරගන්නයි බලන්නේ.
මේ අය දැන් කියනවා මූල්‍ය ක්ෂේත‍්‍රය ලිබරල් කරන්න ඕනෙලූ. පෞද්ගලිකකරණය කියන එක නීත්‍යනුකූල කරලා හදුන්වලා දෙනවා. මූලෝපාමය නොවන රාජ්‍ය ව්‍යවසාවයන් කොටස් වෙලදපොලේ විකුණනවලූ. මූලෝපායික රාජ්‍ය ව්‍යවසායන් – ඛණිජ තෙල්, වරාය, ගුවන්තොටුපොල වගේ ඒවායේ පරිපාලනය පෞද්ගලිකකරණය කරනවා. සිංගප්පූරුවේ තමසෙක් ආකෘතියට ඒවා වෙනම රාජ්‍ය සමාගමකට පවරලා ඒවායේ ක‍්‍රියාකාරීත්වය පෞද්ගලික අංශයේ තර්කනයට යටත් කරනවා. සියලූ දේ වෙලද භාණ්ඩ බවට පත්කරන සැලැස්මක් දැන් ක‍්‍රියාත්මක වෙනවා. වාණිජමය කෘෂිකර්මය පෙරට ගෙනෙන බව කියනවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ කියනවා ‘මතු රැුකෙනා ශිල්පයමයි උගත මනා’ විදිහට අධ්‍යාපනය වෙනස් කරනවාලූ. මොකක්ද මේ කියන්නේ? දැන් තිබෙන වෙළඳපොල ආර්ථිකයට ගැලපෙන විදිහට මිනිසුන්ගේ හැකියාවන්, නිපුණතාවන් කපන එක. නව ලිබරල් ආර්ථිකයට ගැලපෙන මිිනහෙක් හදන ක‍්‍රියාවලියක් බවට අධ්‍යාපනය කප්පාදු කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේ මධ්‍යකාලීන ආර්ථික වැඩපිලිවෙල කියවන ඕනෙම කෙනෙක්ට තේරනවා මේක අතලොස්සක් වූ ධනපතියන්ගේ යහපත වෙනුවෙන් ගෙනැවිල්ලා තිබෙන වැඩපිලිවෙලක් කියලා. ආර්ථිකයේ දී ජනප‍්‍රිය නොවන තීරණ ගන්න වෙනවලූ. අපි වික‍්‍රමසිංහට කියනවා ආණ්ඩුව ගන්නේ ජනප‍්‍රිය නොවන තීරණ නම් අපිටත් සිද්ධ වෙනවා ජනප‍්‍රිය නොවන තීරණ අරගෙන ඒකට උත්තර දෙන්න. පාරට බහින එක ජනප‍්‍රිය තීරණයක් නෙමෙයි. ඒත් ආණ්ඩුව එන්නේ ඒ විදිහට නම් මහජනතාවටත් සිද්ධ වෙනවා ජනප‍්‍රිය නොවන තීරණ අරගෙන ඒවාට මුහුණ දෙන්න.
දැන් කුමාර් ගුණරත්නම් සහෝදරයාව අත්අඩංගුවට අරගෙන ඔහුව රටින් එලවන්න සැලසුම් හදමින් මොකක්ද කරන්න හදන්නේ? මේ යහපාලකයින් පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වය ගැන කථා කළා. ඒ ආණ්ඩුවේ මර්දනය හන්දා රටින් පලායන්න සිද්ධ වූ මිනිස්සු ගැන කිඹුල් කඳුලූ හෙලූවා. රාජිත සේනාරත්න මෛත‍්‍රීපාල සිරිසේන බලයට පත්වූ පසු ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් තියලා කීවා – තර්ජන හේතුවෙන් රටින් පිටවූ ඕනෙම කෙනෙක්ට රටට එන්න පුලූවන්, ඒ අයට අපි නිසි අයිතිවාසිකම් දෙනවා කියලා කීවා. මාධ්‍යවේදීන්ට, දේශපාලන ක‍්‍රියාකාරීන්ට, කලාකරුවන්ට එහෙම එන්න කියලා කීවා. දැන් අපි අහනවා ඒ කීවේ විහිලූවටද? කියලා. මෛත‍්‍රීපාල සිරිසේනත් එකම විහිලූව ආයෙ ආයේ කියනවා. එයා පටන් ගත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන අපේක්ෂකයා කියලා. ඊට පස්සේ ඒක සංශෝධනය කරන අපේක්ෂකයා උනා. හැබැයි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කලේ නැහැ. දැන් සෝභිත හාමුදුරුවන්ගේ ආදාහනය දවසේ කියනවා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා. රටින් පිට වෙච්ච අයට නැවත එන්න කියපු එක ඒ වගේම විහිලූවක්ද කියලා අපි අහන්න කැමතියි. රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය මනින්න පුලූවන් ආණ්ඩුවේ විරුද්ධවාදීන්ට සලකන ආකාරයෙන්. රටින් පිටවූ අයට ආපහු එන්න කියලා කියද්දී ඒක අදාල ආණ්ඩුවේ මිත‍්‍රයින්ට විතරද? දේශපාලන වශයෙන් විරුද්ධ මත දරන අයට ඒක අදාල නැද්ද? අපි අද දොලහට කොටුව දුම්රියපොල ඉස්සරහා සත්‍යග‍්‍රහයකට වාඩි වුණා. අපිට මේකට උත්තර ඕනෙ. අපි ඒකට උත්තර දෙනකම් එතැනින් වාඩි වෙන්නෙ නැහැ. අපි අඛණ්ඩව ඒ සත්‍යග‍්‍රහය කරනවා. කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ ප‍්‍රශ්නය විතරක් නෙමෙයි මේ විදිහට අසාධාරණයට ලක්වූ සියලූම දෙනා වෙනුවෙන් හරියට උත්තරයක් දෙනකම් අපි එතැනින් නැගිටින්නේ නැහැ.
අද ඉස්කෝලයට ලමයෙක් දාගන්න බැහැ දේපල හිමි පන්තියේ නොවෙන අයෙක්ට. සල්ලි දෙන්න වෙනවා. සල්ලි ගෙවන්න වෙනවා. සාමාන්‍ය පංතියේ මිනිසුන්ට ඉස්කෝලවලට ලමයි දාගන්න බැරිව ඒ සඳහා උද්ඝෝෂණය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පුද්ගලික රෝහලකට ගියාම ගසා කනවා අන්තිම නරක විදිහට. ලේ බැංකුවෙන් නොමිලේ දෙන රුධිරයට මුදල් අය කරනවා. රෝගියා යම් හෙයකින් මැරුණොත් බිල ගෙවන කම් මළ මිනිය ගන්නවා ප‍්‍රාණ ඇපයට. මේක තමයි ධනවාදයේ සදාචාරය. මැරිච්ච මිනිහගේ මළ සිරුර ප‍්‍රාණ ඇපයට ගන්නවා. මේකට විරුද්ධව අරගල නොකර මොකක්ද තිබෙන උත්තරය? මේ පෞද්ගලික රෝහල්වලට විරුද්ධව උද්ඝෝෂණය කරනවා හැර උත්තරයක් නැහැ.දැන් දේශපාලන රැුඳවියෝ උපවාසයක් පටන් ගෙන තිබෙනවා. සටන් කරන එක හැර ඒ අය මොකක්ද කල යුත්තේ? රනිල් වික‍්‍රමසිංහ කියනවා තිත්ත බෙහෙත් දෙන්න වෙනවලූ. අපි කියනවා තිත්ත බෙහෙත් නෙමෙයි සටන තමයි බෙහෙත. ඉල් මහ විරුවන් කලේ ඒ් අරගලය. මේ ලෝකය මීට වඩා යහපත් ලෝකයක් බවට පත් කරන අරගලය තමයි අපිට මේ මොහොතේදී කරන්න තිබෙන්නේ.
මෙම සමරු රැුස්වීමේදී මොහොමඞ් ෆාරුක් දෙමල භාෂාවෙන් සමරු දේශනයක් පැවැත්වීය. රැුස්වීම අවසානයේදී වීඩියෝ වාර්තා වැඩසටහනකින් සහ සමරු ගී ප‍්‍රසංගයකින් සමන්විත සංස්කෘතික වැඩසටහනක් පැවැත්විණි.



Related News