පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ පුරවැසිබව ලබා දෙන ලෙස සහ ඔහු සිරගත කිරීමට විරෝධය පා එම පක්ෂයේ සාමාජිකයෝ පුංචි බොරැල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (01) උද්ඝෝෂණයක් පැවැත්වුහ. පක්ෂ සාමාජිකයින්ගේ හා 71 කැරැල්ලේ මෙන්ම 83-89 කැරැල්ලට සම්බන්ධ වූ පැරණි සාමාජික සාමාජිකාවන්ගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම උද්ඝෝෂණයේදී ඔවුන් ඉල්ලා සිටියේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වන කුමාර් ගුණරත්නම්ට මෙටර පුරවැසිකම ලබා දෙන ලෙසයි.
විසා කාලය ඉකුත්වී මෙරට රැඳී සිටීම හේතුවෙන් කුමාර් ගුණරත්නම්ට පසුගිය මාර්තු 31 දින කෑගල්ල උසාවියේ පැවති නඩු විභාගයකින් වසරක ළිහිල් සිර දඬුවම් හිමිවිය. උද්ඝෝෂකයින් මෙම විරෝධතාවය දක්වමින් චෝදනා කරමින් සිටින්නේ රාජපක්ෂ පාලනය මෙන්ම වත්මන් රනිල් මෛත්‍රී පාලනය ද කුමාර්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය අහිමි කරමින් සිටින බවයි.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉදිරිපස වීදුරු දොර බිදී ගිය අතර, මේ හේතුවෙන් පොලිසිය හා කැරළි මර්ධන ඒකකය විරෝධතාකරුවන්ට ඉතා නින්දිත ලෙස පහර දුන්හ. පහරකෑමෙන් තුවාල ලැබූ හා බිදී ගිය වීදුරු කටුවලින් තුවාල ලැබූ පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයින් කිහිපදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.





