20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද ප.ව. 6.00ට විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වෙන බැවින් සියලු ඇමැතිවරුන් ඊට සහභාගි විය යුතු යැයි ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වේ. එහිදී ජනාධිපතිවරයා 20 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම රැස්වීම උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි මත පළ වී තිබේ.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන්නේ අද දහවල් 12.00 පමණ වන විට 20 වැනි සංශෝධනයේ අවසාන පිටපතක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාර දිය හැකි වනු ඇති බවයි.
අද කැබිනට් රැස්වීමේදී සම්මත කර ගනු ලබන ව්‍යවස්ථා සංශෝධනය හෙට ගැසට් කිරීමට නියමිත බවද වාර්තා වේ.
20 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමෙන් පසුව එහි මූලික කටයුතු අවසන් කර පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇති බවටද දේශපාලන කරලියේ කතබහක් ඇති වී තිබේ.