බුරුම රොහින්ග්යා ජනයාට ජීවිතය අහිමිද‍….?

rakhine-in-berma

පසුගිය මැයි 25 වැනි දින ජාත්‍යන්තර මෙන්ම මලයාසියානු මාධ්‍ය අතිශය බිහිසුණු සහ හද කම්පා කරවන සිදුවීමක් වාර්තා කළහ. ඊට අනුව මලයාසියාවට අයත් පෙරිල් ප‍්‍රාන්තයෙහි, තායි-මලයා දේශ සීමාවෙහි වන ගත පෙදෙසක තිබී නාඳුනන මළ සිරුරු 139ක් පොලිස් නිලධාරීන්ට හමුව තිබේ. අවිධිමත්ව සාදන ලද තාවකාලික කූඩාරම් 28කට යාබදව ඒවා ස්ථානගතව තිබිණි. සිද්ධිය පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූ මලයාසියා පොලිස් ප‍්‍රධානී කාලිඞ් අබු බකාර් කියා සිටියේ වධ බන්ධනවලට අදාළ සලකුණුද මළ සිරුරුවල දැකිය හැකි වූ බවයි. සොයාගත් මළ සිරුරු ‘ඇට සැකිලි’ මෙන් දිස්වූ බව අදාළ කලාපය බාර පොලිස් ප‍්‍රධානී රිසානි ඉස්මයිල් ඒ අතර අනාවරණය කර සිටියේය. මරුමුවට පත් වූවන් දරුණු ආහාර හිඟයකට මුහුණපා සිටි බවද ඉන් පැහැදිලි විණි.

එමතුද නොව, මැයි මස මුල් සතියේදී තවත් මළ සිරුරු 39ක් ඉහත කී ස්ථානයට මීටර 500ක් පමණ ඔබ්බෙන් පිහිටි තායිලන්ත දේශසීමාවෙන්ද හමුව තිබිණි. ඒ නිසාම බොහෝ දෙනාගේ උනන්දුව සහ කුතුහලය මේ පුවත කෙරෙහි යොමුව තිබේ. කලාපයට සම්බන්ධ මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ක‍්‍රියාකාරීන් කියා සිටිනුයේ අදාළ මළ සිරුරු සැකයකින් තොරවම රොහින්ග්යා සරණාගතයන්ගේ බවයි. නමුත් ඔවුන් වාසය කරනුයේ බටහිර බුරුමයෙහි රකිනෙ (Rakhine) ප‍්‍රාන්තයෙහි උතුරට වන්නටය. එසේ නම් රොහින්ග්යා මළ සිරුරු මෙතරම් ප‍්‍රමාණයක් තායි-මලයා දේශසීමාවට පැමිණියේ කෙසේද යන්න නිතැතින්ම පැන නැෙඟන ගැටලූවකි. එය සොයා යන්නකුට හමු වනුයේ මරණීය ඉරණමකට ගොදුරුව සිටින තවත් සුළුජන කොටසක් පිළිබඳ කතා පුවතකි.

රොහින්ග්යා ජනයා බුරුමයෙහි බහුතර බෞද්ධ ජනගහනය තුළ සුළු ජන කොටසකි. පවතින දළ ඇස්තමේන්තුවලට අනුව ඔවුන්ගේ ජනගහනය මිලියන 1.1 – 1.5 අතර ප‍්‍රමාණයක පවතී. එනම් සමස්ත ජනගහනයෙන් 3% – 4% ක ප‍්‍රතිශතයකි. රොහින්ග්යාවරුන්ගේ මව් බස බෙංගාලි භාෂාවයි. ආගම ඉස්ලාම්ය. පරම්පරා ගණනාවක් තිස්සේ ඔවුහු එහි ජීවත් වෙති. නමුත් බුරුම ආණ්ඩුව ඔවුන්ගේ පුරවැසි අයිතිය ඉතාම සාහසික ලෙස උදුරාගෙන තිබේ. එමතුද නොව, තමන් ජීවත් වන රකිනෙ ප‍්‍රාන්තයෙන් ඔබ්බට යාමටද රොහින්ග්යාවරුන් විශේෂ අවසරයක් ලබා ගත යුතුය. රජයේ උසස් පාසල්වලට ඇතුළු වීමේ අවසරයද ඔවුනට නොමැත. නිශ්චිත ආදායම් මාර්ගද අහිමිය. රොහින්ග්යාවරුන් අතර දරිද්‍රතාවද ඉහවහා ගොස් තිබේ. බොහෝ විට ඔවුහු මංමාවත් ඉදිකිරීම් ඇතුළු බර වැඩවල යොදවනු ලැබ සිටිති. නමුත් ප‍්‍රමාණවත් වැටුපක් හෝ අදාළ අනෙකුත් අයිතිවාසිකම් ඔවුනට අහිමිය.

රොහින්ග්යාවරුන් මුහුණ දී ඇති බරපතළම තර්ජනය වනුයේ ඕනෑම මොහොතකදී බැහැරින් එල්ල විය හැකි මරණීය ප‍්‍රහාරයකි. බුරුම පොලිසිය හෝ හමුදාව ඔවුනට ප‍්‍රමාණවත් ආරක්ෂාවක් සපයා දී නොමැත.

බුරුමයෙහි පාලනයට සම්බන්ධ ප‍්‍රභූ සහ ඉහළ මධ්‍යම පාන්තික බලවේග මෙන්ම බෞද්ධ භික්ෂූහු රොහින්ග්යාවරුන්ට එරෙහි වර්ගවාදී හිංසනයේ පෙරමුණ ගෙන සිටිති. ඔවුනගේ ජනගහනය දිනෙන් දින ඉහළ යන බව එම පිරිස ගොඩනඟන තර්කයයි. ඒ අතරම රොහින්ග්යාවරුන්ගේ සහාය යටතේ යාබද බංග්ලාදේශයෙන් විශාල වශයෙන් මුස්ලිම් ජනයා තම රටට හොර රහසේ සංක‍්‍රමණය වන බවද ඔවුහු කියා සිටිති. ආධිපත්‍යයික බුරුම ජාතිකවාදයට අනුව, රොහින්ග්යා යනු වසර ගණනාවක් තිස්සේ එලෙස සංක‍්‍රමණය වූවන්ගෙන් ගොඩනැඟුණු ජන කොටසකි. මෙම මතයන්ගේ පීඩනය සහ තමන්ගේම පන්ති අවශ්‍යතා මත, බුරුම ජනාධිපති තෙයින් සයින් සතියකට පෙර විශේෂ පවුල් සැලසුම් පනතකටද අනුමැතිය ලබා දුන්නේය. ඊට අනුව කාන්තාවන් තම පළමු දරු උපතේ සිට දෙවැනි දරු උපත දක්වා වසර 3 ක පරතරයක් තබා ගත යුතුය. තවද, එකිනෙක ප‍්‍රාන්තවලට තම ජනගහන පාලන නීති හැඩගස්වා ගැනීමටද අදාළ පනතෙන් බලතල ලබා දී තිබේ. පනතෙහි අභිප‍්‍රාය අසංවිධිතව ඉහළ යන ජනගහනය පාලනය කිරීම බව එහි සම්පාදකයෝ කියා සිටිති. නමුත් ප‍්‍රායෝගිකව ගත් විට, එය බුරුම බෞද්ධ ජනගහනයට වඩා මුස්ලිම්වරුන් මත ආධිපත්‍යයික වීමේ වැඩි ඉඩක් පවතින බව මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෝ පෙන්වා දෙති.

තමන් මත පටවා ඇති කෲරතර ඉරණමෙන් ගැලවෙනු වස් සරණාගතයකු ලෙස පලා යාම හැර අන් විකල්පයක් අද වන විට රොහින්ග්යාවරුන්ට ඉතිරිව නොමැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව 140,000 කට අධික රොහින්ග්යා ජනකායක් බුරුමය තුළ අවතැන්ව සිටිති. ඔවුන් පානීය ජලය, ආහාර සහ සනීපාරක්ෂක පහසුකම්වලින්ද විතැන්ය. ප‍්‍රචණ්ඩ ක‍්‍රියා තීව‍්‍ර වූ වර්ෂ 2012 සිට මේ දක්වා සරණාගතයන් ලෙස අන් රටවලට පලා ගොස් සිටින සරණාගතයන්ගේ සංඛ්‍යාවද ලක්ෂය ඉක්මවයි. ජාත්‍යන්තර ජනමාධ්‍යවලට අනුව, මේ මොහොත තුළද රොහින්ග්යාවරු 3,000ක් පමණ ආහාර සහ ජලය හිඟකමින් පීඩිතව, දුබල යාත‍්‍රාවල නැඟී ඉන්දියන් සාගරයෙහි යාත‍්‍රා කරමින් සිටිති. නමුත් ඒ කිසිවකුට තමන්ගේ ගමනාන්තය පිළිබඳ නිශ්චිත අවබෝධයක් නොමැත. ඔවුන්ව ප‍්‍රවාහනය කරන තැරැව්කරුවන්ට ඇත්තේද ඩොලර් 2,000ක් පමණ වන තම ගනුදෙනුව පියවා ගැනීමේ අභිලාෂය පමණි. මෙබදු ගමන් නිතැතින්ම මරණයේ අවදානම සමඟ බැඳී පවතී. නිදසුනක් ලෙස, මෙම වසර තුළදී පමණක් යුරෝපය බලා ගමන් ගත් සරණාගතයන් 1,800ක් පමණ මධ්‍යධරණී මුහු‍දේදී මරුට බිලිව තිබේ. ඉන්දීය සාගරය තරණය කරන රොහින්ග්යා සරණාගතයන්ගේ ඉරණම ඊටත් වඩා භයානකය. අනිස් සහ අරෆා නම් සරණාගතයන් දෙදෙනා රොයිටර් පුවත් සේවයට කියා සිටියේ මුහුදු ගමනේදී තමන්ට දිනකට වතුර කෝප්ප දෙකකින් සහ බත් අල්ලකින් සෑහෙන්නට සිදුවූ බවයි. බොහෝ විට යකඩ පොල්ලකින් තැළු‍ම් කෑමට සරණාගතයන්ට සිදු වෙයි. තැරැුව්කරුවන්ට අවනත නොවන්නෝ පහර දී මුහුදට විසි කර දැමෙති.

කුසගින්න සහ රෝගාබාධ හේතුවෙන් දුර්වල වන්නන් සහ මරු වැලඳ ගන්නන්ගේ සුසානයද මහ මුහුදයි. ඒ ආකාරයට 300කට වැඩි පිරිසක් මෙම වසරේ ජනවාරි – මාර්තු අතරදී මරුමුවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමෙහි ඇස්තමේන්තුවයි.
සාමාන්‍යයෙන් ඉහත කී දීර්ඝ මුහුද ගමනෙන් පසුව බොහෝ තැරැව්කරුවෝ තමන් යටතේ සිටින සරණාගතයන්ව තායිලන්ත – මලයාසියා දේශසීමාවෙහි පිහිටි දුෂ්කර වනගත ප‍්‍රදේශයන්ට යොමු කරති. හමු වූ රොහින්ග්යා මළ සිරුරු සහ අදාළ දේශසීමාව අතර සම්බන්ධය ගොඩනැෙඟන මොහොත එයයි. එහිදී තැරැුව්කරුවන් බොහෝ විට එකඟ වූ මුදලට වඩා වැඩි මුදලක් ඉල්ලමින් තර්ජනය කරන බව සරණාගතයෝ කියා සිටිති. එය ලබාදීමට තමන් හෝ තම ඥාතීන් අසමත් වුවහොත් වනය තුළදීම වධ බන්ධන සහිතව මරණය වැලඳ ගැනීමට සිදුව තිබේ. පසුගිය දෙසැම්බරයේදී තමන් දින 26ක් තම කුඩා දරුවාද සමඟ තැරැුව්කරුවන්ගේ ප‍්‍රාණ ඇපයෙහි සිටි බව ෂානු අබ්දුල් හුසේන් නම් මව ටයිම් සඟරාවට කියා සිටියාය. අවසානයේදී ඩොලර් 4,150ක කප්පම් මුදල ගෙවා තම දරු පවුල මරණයෙන් මුදා ගැනීමට මලයාසියාවේ රැකියාවක් කරමින් සිටි ඇයගේ සැමියාට හැකි විණි. නමුත් එම හැකියාව බොහෝ අයට නොමැති බව පැහැදිලි කරුණකි. ඒ නිසාම කප්පම් මුදල් ලැබෙන තුරු මාස 6-7 අතර කාලයක් අදාළ වනගත කඳවුරුවල ගත කිරීමට සිදු වූ සරණාගතයන්ද සිටිති. ඊට අමතරව, ආහාර සහ සෞඛ්‍ය ගැටලූ මතද සැලකිය යුතු පිරිසක් වනාන්තරයේදීම මරණයට පත් වෙති. තමන්ගේ ඛේදනීය ඉරණම පිළිබඳව තැරැුව්කරුවන්ව ප‍්‍රශ්න කරන පිරිස් අනුකම්පා විරහිතව, තොග වශයෙන් මරා දැමීම තැරැුව්කරුවන් අනුගමනය කරන තවත් ක‍්‍රියාමාර්ගයකි.

මෙම වසරේ පළමු කාර්තුව තුළදී මෙලෙස සහ තවත් ක‍්‍රමවලින් 25,000ක පමණ රොහින්ග්යා සරණාගතයන් පිරිසක් තායිලන්තය, මලයාසියාව සහ ඉන්දුනීසියාව යන රටවලට ගොඩ බැස සිටිති. නමුත් අදාළ ආණ්ඩු ඔවුන්ව සලකනුයේ නීති විරෝධී සරණාගතයන් ලෙසිනි. ඒ නිසාම එම රටවලදීද ඔවුහු බරපතළ ලෙස සූරාකෑමකට ලක් වෙති. අර්බුදය පැන නැඟි පළමු වටයේදී ඉහත කී ආණ්ඩුවල ස්ථාවරය වූයේ ඉන්දීය සාගරය මැද අනාරක්ෂිතව සිටින සරණාගතයන් සම්බන්ධව තමන්ට කිසිදු වගකීමක් භාර ගත නොහැකි බවයි. නමුත් මානව හිමිකම් සහ ජනමාධ්‍ය තුළින් එල්ල වූ පීඩනය හමුවේ පසුව ඔවුනට තම සාපරාධී ප‍්‍රතිපත්තිය මදක් ලිහිල් කිරීමට සිදු විණි. නාවික හමුදාවන් යොදවා ඉන්දීය සාගරයේ අතරමංව සිටින සරණාගත කණ්ඩායම් ගලවා ගැනීමට ක‍්‍රියා කරන බව අදාළ බලධාරීහු අද වන විට කියා සිටිති. නමුත් එය කොතරම් සාර්ථක මට්ටමකින් සිදු වේද යන්න අවිනිශ්චිතය.

පලා යන රොහින්ග්යා සරණාගතයන්ට බංග්ලාදේශ දිළිඳු ජනයාද යම් පමණකින් එක්ව සිටිති. ඒ නිසාම සිද්ධියට ප‍්‍රතිචාර දක්වන බුරුම ආණ්ඩුව කියා සිටිනුයේ පවතින අර්බුදයට මුවා වී බංග්ලාදේශ ජාතිකයන් විශාල ලෙස අදාළ රටවලට පලායමින් සිටින බවය. ඊට අනුව
රොහින්ග්යා ජනයා බුරුමය තුළ සුරක්ෂිතය. ඒ අතරම ජාතිකවාදී බුරුම බෞද්ධ භික්ෂූහුද රොහින්ග්යා මුස්ලිම් ජනයා තමන්ට එරෙහිව ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්හි යෙදෙන බවට චෝදනා කරති. ඔවුන් ආක‍්‍රමණිකයන් පිරිසකි යන්න භික්ෂූන්ගේ චෝදනාවයි. හුදෙකලා සිද්ධීන් සමස්තයට ආදේශ කොට සුළු ජාතීන්ට එරෙහි වෛරය ගොඩනැඟීම මෙවැනි අර්බුදයන් තුළ දැකිය හැකි සාමාන්‍ය ලක්ෂණයකි. ඒ අතරම අවුන් සාන් සුකී ප‍්‍රමුඛ බුරුම විපක්ෂයද නිද්‍රාශීලී වෘතයක සිටින බවට චෝදනා එල්ල වෙමින් පවතී. සත්‍ය කරුණ නම් ශක්තිමත් සහ ප‍්‍රචණ්ඩ බුරුම ජාතිකවාදයට ඔවුන්ද අනුගත වෙමින් සිටීමයි.

ජාතිකවාදය පාලක ප‍්‍රභූ පන්තීන්ගේ නිල දෘෂ්ටිවාදය ලෙස ඉහළට එසවෙමින් පවතින බව රොහින්ග්යාවරුන් මුහුණ දී සිටින මානුෂීය ඛේදවාචකයද අපට උගන්වන පාඩමයි.

ජනරළ ඇසුරෙන්