මලල ක‍්‍රීඩාවට තහංචි – තරග අවදානම් – ද්‍රෝහීන් කව්ද?

sri-lanka-athletics

පසුගියදා පවත්වන ලද මලල ක‍්‍රීඩා සංගම් නිලවරණය තමන් පිළිනොගන්නා බවත් එම නිසා මුලින් සිටි මලල ක‍්‍රීඩා සංගමයේ නිලධාරී මණ්ඩලය තමන් පිළිගන්නා බවත් අන්තර් ජාතික මලල ක‍්‍රීඩා සංගමය නිලවශයෙන් දැනුම් දී ඇති බව පසුගියදා මාධ්‍ය වාර්තා පළ විය. මේ නිසා තම සංගමය විසින් ශ‍්‍රී ලංකාවට තරග තහනමක් පැනවීමට ඉඩ තිබෙන බව අදාළ අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සංගමය තවදුරටත් දන්වා ඇත.

පසුගිය කාලයේ ඔලිම්පික් කමිටු ලොක්කා වූ හේමසිරි විසින් අටවමින් යන ගේමක් පිළිබඳ අප කතා කළ බව බොහෝ දෙනා සිහියට ගත යුතුය. හේමසිරි කියා තිබුණේ ජාතික ඔලිම්පික් කමිටුවට සම්බන්ධ ක‍්‍රීඩාවන් සඳහා වන ජාතික ක‍්‍රීඩා සංගම් තම ජාත්‍යන්තර මව් සංගම් දැනුවත් කළ යුතු බවකි.

ලංකාවේ ක‍්‍රීඩාවට දේශපාලනය මැදිහත් වන බවත් ඒ නිසා අදාළ ක‍්‍රීඩා සංගම්වල ස්වාධීනත්වය නැති වන බවත් හේතු ලෙස ඉදිරිපත් කළ යුතු බව හේමසිරිගේ ප‍්‍රවාදයේ ඇතුළත් විය.

කිසිවකු නොදන්නවා වුවත් හේමසිරි විසින් ගැසීමට අර අදින ගේම අප කල් තියා හඳුනාගෙන තිබුණේ ලංකාවේ ක‍්‍රීඩාව හැසිරෙන ආකාරයත් මේ තුට්ටු දෙකේ මහත්වරුන් කරනා වැඩ පිළිබඳ හොඳට දන්නා නිසාය. ඕනෑම රටක ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම දේශපාලන මැදිහත් වීමක් වන අතර දේශපාලන ආර්ථික ක‍්‍රියාවලියක් මඟින් බොහෝ දේවල් පාලනය කරනු ලබයි. නමුත් ලංකාව වැනි රටවල්වල සිදුවනුයේ මේ ක‍්‍රියාවලියේ පසුගාමී ක‍්‍රියාවලියකි. ඒ නිසා ක‍්‍රීඩාව හෝ ක‍්‍රීඩා සංගම්, අදාළ පාලකයන් මේ පසුගාමී දේශපාලන ක‍්‍රියාවලියේ කොටස්කරුවන්ය. ඒ අර්ථයෙන් හේමසිරිලා වැන්නවුන්ට පැවැත්මක් ලැබී තිබේ.

ක‍්‍රීඩාව වෙළෙඳපොළක් කර එම වෙළෙඳපොළේ සේල්ස් රෙෆ්ලා වූ ඉහත නිලධාරීන් සිතා සිටින්නේ රටක දේශපාලනික ඇඟිලි ගැසීම යන්න නොතේරෙන තොත්ත බබාලා සිටින බවකි. අපි කිසිවිටෙකත් රටක දේශපාලනික බල ව්‍යුහයන්ට අදාළ නොවන පාලනයක් හෝ ක‍්‍රීඩාවක් ආර්ථිකයක්, කලාවක්, පවතින බව විශ්වාස නොකරන අතර නමුත් පසුගාමී දේශපාලනික මැදිහත්වීම් විසින් කරනු ලබන සමාජ සහ ජනතා විරෝධී සියලූ දේ සමඟ ගැටෙමින් සිටිමු. මේ නිසා දේශපාලන ඇඟිලි ගැසීම් නිසා ස්වාධීනත්වය විනාශ වනවා යන තර්කය මේ මහත්වරුන් ගොඩනඟන්නේ තමන්ගේ පැවැත්ම සහතික කරගැනීම උදෙසා මිස වෙන සාධනීය යමකට නොවේ.

ප‍්‍රශ්නය බරපතළ වන්නේ එහෙයිනි. අනෙක රටක ක‍්‍රීඩාවේ ප‍්‍රතිපත්ති තීරණය කළ යුත්තේ රටේ ජනතාවගේ අවශ්‍යතාවන් සහ රටේ ප‍්‍රතිපත්ති, දේශපාලනික අරමුණු ආදියට සාපේක්ෂවය. එම නිසා මේ හේමසිරිලාගේ පෙළැන්තියේ උන් කියන තොත්ත බබා කතා පුළුල් අර්ථයෙන් වැදගත් නොවේ. එම නිසා වහාම අදාළ අන්තර්ජාතික ක‍්‍රීඩා සංගම් ඉත්තන් කරගෙන මේ නටන්නට යන නාඩගම නැවැත්වීමට ක‍්‍රීඩා ඇමැතිවරයා හා මාධ්‍ය වගකිව යුත්තන් සහ ජනතාව කටයුතු කළ යුතුය.

කිසිදා පවත්වා නැති ඔලිම්පික් කමිටුවේ පුහුණු පාඨමාලා සඳහා වැය කර ඇති මුදල යැයි සඳහන් වන්නේ කොපමණක්ද යන්න
පසුගියදා මාධ්‍ය වාර්තා පළ වී තිබණි. යථාර්ථය එයයි.

ඉදිරියේදී මලල ක‍්‍රීඩා සංගමය ගත් මේ ආස්ථානයන් අනෙක් ජාත්‍යන්තර ක‍්‍රීඩා සංගම් ලංකාවේ ක‍්‍රීඩාවට අදාළව බලපෑම් කිරීමට ඉඩ තිබේ. මේ ව්‍යසනයේ ප‍්‍රධාන වගඋත්තරකරුවා හේමසිරි බව අපි නොබියව කියන අතර පසුගියදා මේ ගේම සඳහා යටිතලය ඔහු විසින් සකස් කරමින් පැවතිණි.

ඒ හරහා ක‍්‍රීඩා ඇමැතිවරයා කොටු කිරීමටත් තමන්ගේ සහ තම වර්ගයේ නිලධාරී පෙළැන්තියේ පැවැත්ම සහතික කරගැනීමත් මෙහි ඉලක්කය වන අතර ඊට ලංකාවේ ක‍්‍රීඩාවේ අනාගතය රැුකගැනීමක් අදාළ නොවේ. මේ නිසා වහාම අදාළ මුග්ධ නිලධාරීන් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ කරනු ලබන විනාශය ජනතාවට හෙළි කිරීමටත් ඒ පිළිබඳ නීතිමය පරීක්ෂණ පැවැත්වීමටත් ඔවුන්ව අදාළ ස්ථානයන්ගෙන් පලවා හැරීමටත් ජනතාව කටයුතු කළ යුතුය.

මේ සියලූ දෙනා කඩු අමෝරා ගෙන ඇත්තේ අවුරුදු හතරේ නීතිමය තත්වය වෙනස් කරගැනීම වෙනුවෙනි. මේ නීතිය නිසා පැවැත්ම අහවර වෙන ප‍්‍රධානම නිලධාරියා හේමසිරිය. ඔහු මේ ගේම ගසන්නේ ඒ නිසා බව අපි පුන පුනා කීවෙමු. රටකට අවශ්‍ය වන්නේ ප‍්‍රතිපත්තිමය මඟ පෙන්වීමක් නිසා පුද්ගල භාවිතාවන් සාපේක්ෂ ක‍්‍රියාවලියක අංගයක් බව වටහා ගත යුතුය. මේ නිසා ප‍්‍රතිපත්ති සහ වැඩපිළිවෙළක් ඇති ක‍්‍රීඩා සංස්කෘතියක් ජාතික සංගම් සංස්කෘතියක් තුළ කිසිවකුට පුද්ගල කල්ලි හෝ වෙනත් පැවැත්මක් අවශ්‍ය නොවේ. මේ නිසා කිසිදු අයුරකින් දීර්ඝ කාලීනව කිසිදු නිලධාරියකු ක‍්‍රීඩා සංගම්වල සිටිය යුතු නැති අතර අදාළ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීම පොදු උවමනාව සහ අදාළ සංගමයේ ක‍්‍රියාවලිය විය යුතුය.

එම නිසා තර්කයක් ලෙස ගත් කළ කිසිදු අයුරකින් අදාළ කිසිදු ක‍්‍රීඩා සංගමයක නිලධාරීන් දීර්ඝ කාලයක් රැුඳී සිටීමට ඉඩ දිය යුතු නැති අතර ඒ තත්වය අද පවතින නරුමත්වය ගොඩනැංවීමට පාර කපන බව වටහාගත යුතුය. මේ නිසා මොන ක‍්‍රීඩා ඇමැතිවරයා හෝ මොනයම් හෝ නිලධාරියා හෝ ගන්නා ලද ජාතික සංගම්වල අවුරුදු 4 නීතිය ක‍්‍රියාත්මක කළ යුතු අතර ජාත්‍යන්තර සංගම් ගොනාට අන්දා තමන්ගේ අරමුණු ඉටු කරගැනීමට අර අදින සියලූ නිලධාරීන් නීතිය හමුවට පැමිණ වීමට නීති සකස් කළ යුතුය. දැන් සිදුවෙමින් යන්නේ ගේමක් වන බව තේරුම් ගත යුතුය. දේශපාලනික මැදිහත් වීම ගැන කතා කරන අදාළ නිලධාරීන් ඔය ස්ථානයන්ගේ ස්ථානගත වූයේ දේශපාලනික පසුගාමී

නරුම බව පාවිච්චි කරමිනි. එදා ඒ දේශපාලනික මැදිහත්වීම් ගැන කතා කළ වුන් තළා පෙළා දැමීමට අද කෑමොර දෙන අවස්ථාවාදී නරුම නඩය කටයුතු කළ බව සිහි කළ යුතුය.