යෝජිත නව මැතිවරණ ක්‍රමයෙන් ජනතා බලය වෙනුවට පාලක බලය ශක්තිමත් කරනවා – පෙසප
Posted on 06.12.2015 by Sampath in වීඩියෝ පුවත් with 0 Comments
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය මගින් ස්ථාපිත කිරීමට යෝජනා කරලා තියෙන නව මැතිවරණ ක‍්‍රමය ජනතාවගේ බලය වෙනුවට පාලකයන්ගේ බලය ශක්තිමත් කරන, ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් විනාශකරන ව්‍යාපෘතියක කොටසක් නිසා තමන් එයට විරුද්ධ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
අද (11) දින කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ විසින් මේ බව ප‍්‍රකාශ කළේය. මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්තද සහභාගී විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ
‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ජූනි 08 වෙනිදා ප‍්‍රකාශයට පත් වුණා. මේ කියන විදියට කැබිනට් මණ්ඩලය 20 වෙනි සංශෝධනයට අදාල කෙටුම්පත් ගණනාවකට අනුමැතිය දීලා තියෙනවා. මුලින්ම මැයි මාසෙ මුල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කළ කෙටුම්පත නමින් එකක් අන්තර් ජාලය හරහා ප‍්‍රසිද්ධ කරලා තිබුණා. පසුව මැයි මාසේ 27 වෙනිදා මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා විසන් ඉදිරිපත් කරපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූර 255ක් සහිත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතකට කැබිනට් අනුමැතිය ලබාදුන් බව 28 වෙනිදා පුවත්පත් ප‍්‍රකාශ කරලා තිබුණා.
අවසානයේදී ජුනි 08 වෙනිදා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් කරපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූර 225 ක් සහිත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදුන් බව සඳහන් වුණා. දැන් ජනතාව දන්නේ නෑ මේ කෙටුම්පත් අතරින් ඉදිරියට එන්නේ මොන කෙටුම්පතද කියලා. දන්නෙ නැතුවත් දෘශ්ඨිවාදී තලයේ හදලා තියෙනවා, මේකට කවුරුවත් විරුද්ධ වෙන්න එපා, හැමදෙනාම මෙයට එකඟ විය යුතුයි කියලා අදහසක්. ජුනි 08 වෙනිදා විහාරමහා දේවි එළිමහන් රංගපීඨයේදී රැස්වීමක් පවත්වමින් ජනාධිපතිවරයාත් කිව්වේ මේකට එරෙහි වෙන අය ද්‍රෝහීන් කියලා. ද්‍රෝහීන් කියන ලේබලය වදිනවාට බයේ මේකට ගොඩාක් අය කතාකෙරුවේ නෑ. නමුත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදියට අපි හිතුවා ඒ බියගැන්වීම්වලට අහුවෙන්නේ නැතුව ඒ පිළිබඳ අපේ මතය නිරවුල්ව ඉදිරිපත් කරන්න.
මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සඳහා ප‍්‍රධාන තර්ක තුනක් ඉදිරිපත් වෙලා තියෙනවා. පළවෙනි එම මේ මැතිවරණ මුළුමනින්ම මුදල් බලය, රාජ්‍ය බලය මත රඳා පවතින එකක් නිසා මැතිවරණ ක‍්‍රමය වෙනස් විය යුතුයි කියන එක. දෙවැන්න මේ ක‍්‍රමය යටතේ මැතිවරණ තුළ විශාල ප‍්‍රචණ්ඩත්වයක් තියෙනවා, එකම පක්ෂයේ අය ගහගන්නවා, ඒ නිසා එය වෙනස් විය යුතුයි කියන එක. තුන්වෙනි එක මේ ක‍්‍රමය යටතේ තමන්ගේ කොට්ඨාශයට මන්ත‍්‍රීවරයෙක් ජනතාවට ලැබෙන්නේ නෑ, ඒ නිසා එය ලබාගත හැකි පරිදි වෙනසක් කළ යුතුයි කියන එක.
මැතිවරණ ක‍්‍රමය වෙනස් විය යුතුයි කියලා අපි මුල පටන්ම හඬනැගුවා. මේ මැතිවරණ ක‍්‍රමය ජනතාවගේ මතය වෙනස් කරන එකක් නෙමෙයි. ඒ වෙනුවට වෙන්නේ මුදල් බලය, මැර බලය, මාධ්‍ය බලය, සිවිල් බලය, රාජ්‍ය බලය භාවිතා කරලා ජනතා මතයක් ගොඩනගන එක. මැතිවරණවල මුදල් බලය, රාජ්‍ය බලය භාවිතා වන එක නවත්වන්න කිසිම ප‍්‍රතිපාදනයක් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයයේ නෑ. තමන්ට පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස් වරයාත් පවසා තිබුණා. ඒ වගේම මැතිවරණ ප‍්‍රචණ්ඩත්වය නැවැත්වීම සඳහාත් මේ යෝජිත මැතිවරණ ක‍්‍රමයේ කිසිවක් නෑ. මනාප ක‍්‍රමය නැති වුණාම එකම පක්ෂයේ අය ගහගන්න එක නවත්වන්න පුළුවන්. නමුත් පක්ෂ දෙකක අය ගහගන්න එක, වෙඩි තියාගන්න එක නවත්වන්න ක‍්‍රමයක් නෑ. ජනාධිපතිවරයා කියන්නේ එකම පක්ෂයේ අය ගහගන්න එක වැරදියි වෙනත් පක්ෂවල අය ගහගන්න එක හරියි කියලාද කියලා අපිට තේරෙන්නේ නෑ. තමන්ගේ කොට්ඨාශයට මන්ත‍්‍රීවරයෙන් කියන දේ ඉදිරිපත් කරන්නේ ස්වර්ණමය අතීතයක් ගැන සිහිනයක් ඔළුවේ තියාගෙන. 1977ට කලින් කේවල ක‍්‍රමය තියෙද්දී ආසනයට මන්ත‍්‍රීවරයෙන් හිටියා. නමුත් හැම දෙනාම අමතක කරනවා ඒ කාලේ තිබුණේ රාජ්‍ය සුභසාධන ධනවාදය කියලා. දැන් තියෙන්නේ නවලිබරල් ධනවාදය. ඒ කාලේ රාජ්‍ය අංශයේ ආර්ථික පංගුව වැඩියි. ඒ නිසා රැකියා දීමේදී රජයට විශාල හැකියාවක් තිබුණා. ඒ කාලේ රජය මැදිහත් වෙලා මහජන සුභසාධන කළා. ඒවා කළේ මන්ත‍්‍රීවරයා හරහා. නමුත් නවලිබරල් ධනවාදය ආවට පස්සේ පෞද්ගලික අංශය පුළුල් වෙලා තියෙනවා. දැනටත් ලක්ෂ 60ක්, 70ක් පෞද්ගලික අංශයේ සේවය කරද්දී, රාජ්‍ය අංශයේ සේවය කරන්නේ ලක්ෂ 12යි. නවලිබරල් ක‍්‍රමය යටතේ සමාජ සුභසාධන අහිමි කරලා තියෙන්නේ. ඒ වගේම සංවර්ධන කටයුතුත් ප‍්‍රාදේශීය මට්ටමින් සිද්ධ නොවී, ජාතික හෝ ජාත්‍යන්තර සැළසුම් මත සිද්ධවෙන්නේ. ඒ නිසා දැන් තියෙන්නේ ගුණාත්මක වශයෙන් වෙනස් තත්ත්වයක්. මේ තත්ත්වය තුළ කොට්ඨාශයට මන්ත‍්‍රීවරයෙක් ආවා කියලා ජනතාවට කිසිම වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා මේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සඳහා ගෙනල්ලා තියෙන යෝජනාවෙන් පවතින මැතිවරණ ක‍්‍රමයේ තියෙන කිසිම අඩුපාඩුවක් නිවැරදි වෙන්නේ නෑ. මේ හදන්නේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්න නෙමෙයි, නියෝජන ක‍්‍රමය වෙනස් කරන්න. අපි මේ ගැන පුදුම වෙන්නේ නෑ. මංකොල්ලකෑම් නවත්වන්න ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරපු අයම තමයි, මැතිවරණ දූශන හා මැතිවරණ ප‍්‍රචණ්ඩත්වය නවත්වන්න මේ මැතිවරණ ක‍්‍රමය යෝජනා කරලා තියෙන්නේ. ඒ දෙක අතර වෙනසක් නෑ.
මේ අලූතින් ඉදිරිපත් කරලා තියෙන මැතිවරණ ක‍්‍රමය ගොඩාක් ව්‍යාකූලයි. පොරොන්දු වුණ විදියට තනි පුද්ගල ප‍්‍රජා නායකයන්ට කම්කරුවන්ට මැතිවරණ අපේක්ෂකත්වය ගන්න බෑ. අපේක්ෂකත්වය ගන්න නම් දිස්ත‍්‍රික්කයටම ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න වෙනවා. ප‍්‍රචාරක වැඩ කරන්න වෙනවා. ඒ වගේම මේකේ අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් පාලනය කිරීමට කිසිම ප‍්‍රතිපාදනයක් නෑ. මැතිවරණ කාලයේ මැතිවරණ වියදම් පාලනයට, මැතිවරණ කාලයේ මාධ්‍ය පාලනයට කිසිම ක‍්‍රමවේදයක් නෑ. පත්වෙන නියෝජිතයන්ගේ වරප‍්‍රසාද පාලනය කරන්න වත්කම්, බැරකම් පාලනය කරන්න ක‍්‍රමවේදයක් නෑ. ඒ නිසා තවදුරටත් වරප‍්‍රසාද ලත් ක‍්‍රමයකට මේක සීමා වෙන එක මේ මැතිවරණ ක‍්‍රමයේදීත් නැතිවෙන්නේ නෑ. ඒ වගේම තවත් ප‍්‍රායෝගික ප‍්‍රශ්න ගණනාවක් මේ මැතිවරණ ක‍්‍රමයේදීත් මතුකරලා තියෙනවා. ප‍්‍රශ්නෙ තියෙන්නේ මේ අය තමන්ම ප‍්‍රශ්න හදලා තමන්ම උත්තර දෙන ක‍්‍රමවේදයක ඉන්නවා. මැතිවරණ ක‍්‍රමය ගැන ප‍්‍රශ්නය ඒ අයම කියලා, ඒකට උත්තරේ මනාප ක‍්‍රමය කියලා එ් අයම කියනවා. ඒ වගේම මේ මැතිවරණ ක‍්‍රමය ඒ අයම ඉදිරිපත් කරලා ඒ අයම ඒකට විවේචනයත් ගේනවා. ඒ අයම ඒ විවේචනයට උත්තරේකුත් දෙනවා. දැන් විවේචනය විදියට ඉදිරිපත් කරලා තියෙන්නේ සුළු පක්ෂවලට මේකේ නියෝජනයක් නෑ කියන එක. අපිට ප‍්‍රශ්නෙ තියෙන්නේ සුළු පක්ෂවලට නියෝජනයක් නෑ කියන එක නෙමෙයි. අපිට ප‍්‍රශ්නෙ තියෙන්නේ මේ ඡන්ද ක‍්‍රමය හරහා තනි පක්ෂයකට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතර බලය හිමිවෙන විදියේ බලයක් තහවුරු කරන එක. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායකයේ බලය කප්පාදු කරලා ඒ අඩුව පුරවන්න 20 වෙනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලය තනි පක්ෂයකට දෙනවා කිව්වා. අන්තිමට වුණේ 19 වෙනි සංශෝධනයෙන් විධායක ක‍්‍රමය එලෙසම පවත්වාගෙන යන අතර පාර්ලිමේන්තුවේ බලයත් තනි පක්ෂයකට දෙන එක. පුරවැසියාගේ බලය ශක්තිමත් කරනවා කිව්වාට කරලා තියෙන්නේ රාජ්‍යයේ බලය ශක්තිමත් කරන එක. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා බලය පාවිච්චි කරන්නේ නෑ කියලා මතයක් හදන්න උත්සාහ කළාට සිද්ධවෙමින් තියෙන්නේ රාජ්‍ය සතු බලය වැඩි වැඩියෙන් ශක්තිමත් කරමින් යන එක. මෛත‍්‍රීපාල සිරිසේන හෝ හෙට මේ තත්ත්වයට පත්වන ඕනෑම කෙනෙකුට ජේ. ආර්. ජයවර්ධනට තිබුණට වඩා වැඩි බලයක් තියෙනවා. මහින්ද රාජපක්ෂට තිබුණට වඩා වැඩි බලයක් තියෙනවා. විධායක ජනාධිපති ධූරය අසීමිත බලතල සහිතව තමන්ගේ අතේ තියෙන අතරම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක හෝ හයෙන් පහක පැහැදිලි බහුතර බලයක් ගන්න පුළුවන් ක‍්‍රමයකුත් එනවා. මේ තත්ත්වය රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට ඉතාම හානිකර එකක් වෙනවා. ඒ නිසා මේ පවතින මජර ඡන්ද ක‍්‍රමය වෙනස් කරලා, ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සුරැකෙන අත්ත වෙනසක් ඡන්ද ක‍්‍රමයට කිරීම සඳහා පෙරට එන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වගේම ඒ ඇත්ත ප‍්‍රශ්නය භාවිතා කරලා ජනතාව රවට්ටන්න ගෙනල්ලා තියෙන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වෙලා සැබෑ ප‍්‍රතිසංස්කරණයක් වෙනුවෙන් පෙනී ඉන්න කියලත්, 20 වෙනි සංශෝධනය පරාජය කරලා මැතිවරණ ක‍්‍රමයේ සැබෑ වෙනසක් වෙනුවෙන් පෙනී ඉන්න කියලත් අපි ජනතාවගෙන් ඉලලනවා.’’
Related News