ගාල්ල නගරයෙන් ගමන් ආරම්භ කරනා බස් රථ 11ක් අද වර්ජනයක් ආරම්භ කර ඇත. ගාල්ල සිට මහරගම දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය වන මෙම බස් රථවල සේවය කරන සේවකයින් හා ඒවායේ හිමිකරුවන් මෙම වර්ජනයට එක් වී ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බස් රථ සේවකයෙක් පැවසුවේ සිය ගමන් වාරයන්ට අදාල බලපත්‍ර මෙතෙක් විධිමත් ලෙස නිකුත් කර නොමැති බැවින් තමන් දැඩි අර්බුධයකට මුහුණ දී ඇති බවයි. පසුගිය රජය විසින් ගාල්ලෙන් ආරම්භ කිරීම සදහා බස් රථ 11කට බලපත්‍ර නිකුත් කර තිබූ අතර, වත්මන් රජය විසින් මෙම බලපත්‍ර අහෝසි කර ඇත.
පසුව අලුත් අවුරුදු සමයේ, වෙසක් සමයේ හා පොසොන් සමයේ අදාල ගමන් වාර සදහා වාචිකව අවසරය ලබා දී ඇති අතර, මේ වන විටත් අදාල බස් රථ මගී ප්‍රවාහනයේ නියැලෙනුයේ අදාල බලධාරීන්ගේ වාචික අවසරය මතය.
කෙසේ වෙතත් මහරගම බස් පර්යන්තයේ කටයුතු ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සිදු කෙරෙන අතර, එහි සේවයේ නියුතු අය පවසන්නේ මෙම බස් රථ වෙනුවෙන් විධිමත් බලපත්‍ර නොමැති බැවින් මහරගමින් ගමන් ආරම්භ කිරීමට අවසර ලබා දිය නොහැකි බවයි. මේ අනුව අදාල බස් රථ 11 ගාල්ලෙන් නියමිත පරිදි විධිමත් කාලසටහනකට ගමන් ආරම්භ කළ ද මහරගමින් ඔවුන්ට ගමන් ආරම්භ කිරීමට අවසර නොමැති බැවින් ඔවුන් බලවත් අපහසුතාවයකට ලක්ව ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ සේවකයින් පවසන්නේ සිය ඉල්ලීම ඉටු වන තුරු අඛණ්ඩව මෙම වර්ජනය සිදු කරන බවයි.