පුබුදු ජයගොඩ හා සුජිත් කුරුවිට, අත්අඩංගුවට ගෙන මුදාහරී!

2016.05.25 sujith_pubudu

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහ මධ්‍යම කමිටු සාමාජික සුජිත් කුරුවිට අද(25) දින මරදාන පොලිසියට ගිය අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුගියදා සුජිත් කුරුවිටගේ නිවසට පැමිණි පොලිස් නිලධාරින් පිරිසක් විසින් කළ දැනුම්දීමකට අනුව ප්‍රකාශයක් ලබාදීමට මරදාන පොලිසියට පැමිනි අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප පිට නිදහස්කර තිබේ.

පසුගිය 23වැනිදා රාජගිරිය, කලපලුවාව ප්‍රදේශයේ පිහිටි සුජිත් කුරුවිටගේ නිවසට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් කඩදාසියක ටයිප් කරන ලද  නාමලේඛනයක් පෙන්වා ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගත් උත්සාහයේදී විරෝධය පෑ විට තමන්ට බලහත්කාරයෙන් ගෙන යාමට හැකි බවද පොලිසිය දන්වා ඇත. එසේ බලහත්කාරයෙන් ගෙන යාමට පෙර චෝදනා පත්‍රයක් හෝ අධිකරණ නියෝගයක් ඇත්දැයි පුබුදු ජයගොඩ විසින් කළ විමසීමකදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීදුරුවක් බිඳඇතැයි චෝදනාව ලෙස දැක්වෙන බව පොලීසිය සඳහන් කර තිබේ.

මෙම චෝදනා අතර අයුතු ජනරාශිය, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්වීම, පොදු දේපළවලට අලාභහානිකිරීම හා අධිකරණයට අපහාස කිරීම වැනි එකිනෙකට පරස්පර චෝදනා තිබිණි. කෙසේවෙතත් පුබුදු ජයගොඩ සහ සුජිත් කුරුවිට නිදහස් කිරීම ගැන පොලිසිය දැක්වූ විරෝධය නොතකා මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂ දෙක බැගින් පුද්ගල ඇප මත ඔවුන් මුදාහරින ලදී. ජූනි මස 20 වැනිදාට නියමිත මීළග නඩුවාරයේදී චෝදනා ලැබු අනෙකුත් පක්ෂ සාමාජිකයන් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරින් 15ක් එම චෝදනාවට නම්කර ඇති බවක් අද දින මරදාන පාලිසියේදී දැනගන්නට ලැබුණු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.