මහ බැංකුවේ බැඳුම්කර අර්බුදය හොරකමක් ද?

central-bank-of-sri-lanka

මහ බැංකු බැඳුම්කර කියන්නේ මොකක්ද? බැදුම්කර අවශ්‍ය වන්නේ මොන මොන අවස්ථාවලදි ද යන්න තේරුම් ගැනීම වර්තමානයේ අප කතා කරන  බැදුම්කර අර්බුදය නැත්නම් වංචාව තේරුම් ගන්නට උපකාරී වෙනවා කියල මම විශ්වාස කරනවා.

අපි දන්නවා රජයකට ආදායම් ලැබෙන්නේ විශේෂයෙන් බදු සහ අනෙකුත් අදායම් මාර්ගවලින්. මේ අදායම්වලින් තමයි රාජ්‍ය වියදම් පියවා ගන්නේ. රාජ්‍ය වියදම් පියවා ගැනීමට රජය බලාපොරොත්තු වෙන ප‍්‍රමාණයට අර මුදල් ප‍්‍රමාණවත් නොවන බව අපි වගේ රටවල් අත්දැකීමෙන් දන්නවා. අපේ රටේ තිබෙන්නේ සෘණ පරතරයක්. ආදායමට වඩා වියදම වැඩියි. අපේ ආණ්ඩු මේ පරතරය පියවා ගන්නේ ණය ලබා ගැනීමෙන් හා විදේශ ආධරවලින්.

වාර්ෂික අයවැයක් හැදුවත් මාසික වියදම් ඇස්තමේනතුවක් මහා භාණ්ඩාගාරය විසින් හා මුදල් අමාත්‍යාංශය විසින් සම්පාදනය කරනු ලබනවා. අපට ලැබෙන අදායම් මොනවද? අතේ තියෙන ප‍්‍රමාණය කොපමණද? වියදම කොපමණද කියල ඉදිරි මාසෙ හැම මාසෙම ඇස්තමේන්තු හදනවා. සෑම වසරක් සඳහාම මේ ආකාරයට ආදායම් වියදම් මාසික ඇස්තමේන්තුවක් (Cash Flow) හදනවා.

අපි දන්නවා අපේ ආදායම අඩුයි. වියදම වැඩියි කියල. මේ අඩුව හැමදාම තියෙනවා. මේ අඩුව පිරවීමේ වගකීම පැවැරෙන්නේ මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට. ඒ අයට අදාල මාසයට අවශ්‍ය හිගය දැනුම් දෙනවා. මේ හිගය පියවීමට මොනවද කරන්නේ කියන වගකිම පැවරෙන්නේ සහ ඒ සඳහා ක‍්‍රමවේද සකස් කරන්නේ මේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින්. ඒ සඳහා ක‍්‍රම කිහිපයක් තියෙනවා. එක් ක‍්‍රමයක් වෙන්නේ භාණ්ඩාගාර බිල්පත්. (Treasury Bills) සුඵ කාලීනව ණයක් ලබාගැනීම එම ක‍්‍රමයේ අරමුණ වෙනවා. මාසය, මාස 03, මාස 06, අවුරුද්ද වශයෙන් අවුරුද්ද තමයි එහි උපරිම සීමාව. අවුරුද්දට වැඩි කාලයක් අවශ්‍ය නම් වසර දෙකේ සිට වසර පණහ දක්වා වූ ණයක් ලබා ගන්නේ නම් ඒ ණය ලබා ගන්නේ බැඳුම්කර (Treasury Bonds) මගින්. එවාට තමයි මහ බැංකු බැඳුම්කර කියන්නේ.  ඒ සඳහා ක‍්‍රම කිහිපයක් යොදා ගන්න පුඵවන්. වාර්ෂික අයවැයේ දී  Appropriate Bill  කියන බලපරාක‍්‍රමයෙන්  තමයි ඒ අවසරය ලැබෙන්නේ. පහත කියපු බැඳුම්කර වලින් මුදල් හොයාගන්න පුඵවන්.

ඉදිරි කාලයේ පොලී අනුපාතය කෙසේ වේ දැයි තක්සේරු කිරීම Deal Curve කියලයි හඳුන්වන්නේ. මේ රට අනාගතයේ දියුණු වෙනවා නම්, අයවැය පරතරය (Budget Deficit) අඩුවෙනවා නම්, රට සංවර්ධනය වෙලා ආදායම් ඉහළ යනවා නම් ණය ගැනීමේ අවශ්‍යතාවය පහළ යනවා. එවිට පොළී අනුපාතයත් පහළ යනවා. දීර්ඝකාලීනව අවධානම අඩුවෙනවා නම් පොලී අනුපාතයත් අඩුවෙනවා. අතීතයේ භාණ්ඩාගාර බිල්පත් සඳහා වැඩි පොලියක් ගෙව්වත් බැඳුම්කර සඳහා ගෙව්වේ අඩු පොලියක්.

මේ රජයත්, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයත්, මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහත්තයත් කියන්නේ මේ රට වසර දෙකක් තුළ සිංගප්පූරුවක් කරනවා කියල. ඒ තරම් දියුණුවකට අපි වසර දෙකකින් යනවා නම් අවදානම අඩුවෙන්න  ඕනෑ. රට දියුණු වෙනකොට ජනතාවගේ ඉතිරි කිරීම් ඉහළ යනවා. එතකොට පොලී අනුපාතය තවත් බහිනවා.

එහෙම කියන ආණ්ඩුව, වසර දෙකකින් රට දියුණු කරනවා කියන ආණ්ඩුව එහෙම නම් මොකට ද ඉහළ පොලී අනුපාතයකට බැදුම්කර ගන්නේ. මේක තමයි ප‍්‍රශ්නය වෙන්නේ. අද 14% පොලියට ගන්නවා යැයි හිතමු.  වසර දෙක තුනකින් හතරකින් රට දියුණු වෙනවා නම් අනිවාර්යයෙන් ම පොලී අනුපාතය අඩුවෙනවා. එහෙනම් මොකට ද දීර්ඝකාලීනව බැඳුම්කර ගන්නේ ඉහළ පොලී අනුපාතයකට?

ඔන්න ඔතැනින් තමයි සිදුවුනා යැයි කියන බැඳුම්කර වංචාව ගැන කථාව පටන් ගන්න වෙන්නේ.

දැන් අපි දන්නවා ආර්ථික දියුණුව හා කඩාවැටීම පිළිබඳව බැඳුම්කර අතර තිබෙන සබඳතාවය. ඉල්ලුම වැඩිවීම, අවදානම හා කඩාවැටීම අතර සබඳතාවය, ඉල්ලූම හා අඩු වැඩිවීම යන කාරණා අනුව තමයි පොලී අනුපාතය තීන්දු වෙන්නේ. දැන් රටේ තියෙන්නේ පොලි අනුපාතය ඉහළ යන තත්වය. ආණ්ඩුවේ බලවතුන් කියන විදිහට අනාගතය තියෙන්නේ පොලී අනුපාතය අඩුවිය යුතු තත්වයක්. කොටින්ම ආණ්ඩුව ම කියන ආකාරයට පොලී අනුපාතය එහෙනම් 4-6% පැවතිය යුතු වෙනවා.

ඔන්න එහෙනම් අපට පුඵවන් බැඳුම්කර මගඩිය මොකක්ද කියන කාරණයට ප‍්‍රවේශ වෙන්න.

බැඳුම්කර ලබාගත හැක්කේ ඒ සඳහාම ලියාපදිංචි වූ සමාගම්වලට පමණයි. අවශ්‍ය  ඕනෑම කෙනෙකුට බැඳුම්කර ගැනීමට හැකියාවක් නෑ. මේ ක‍්‍රියාවලිය සිදුවන්නේ Primary Dealers කියන අය හරහා. ලංකාවේ ඒ හැකියාව තිබෙන අය ඉන්නෙ 26ක් පමණ. ලංකාවේ සේවක අර්ථ සාධක අරමුදලට පමණක් Primary Dealership එකක් නැතුව සෘජුවම බැඳුම්කර ගැනිමට පුඵවන්කම තියෙනවා. පී.බී. ජයසුන්දරගෙ කාලෙත් නිවාඩ් කබ්රාල් මහත්තයගෙ කාලෙත් මේ වගේම වැරැදි කෙරුවා. මොකද්ද ඒ වැරැද්ද? මේ අය EPF එකට කිව්වා අඩුවෙන් ලංසු දාන්න කියලා. මේ කරන්නෙත් හොරකමක් කියල අපි උසාවි යන්න සැළසුම් කළා. ඇත්තටටම ඒ වෙලාවේ සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ට 2% පමණ අලාභයක් සිදුවුනා මේ බලහත්කාර ක‍්‍රමය නිසා. මේක පසුගිය වසර දහය පුරාම සිදුවුනා. අද වගේම එදත් අපි නඩු මගට ගියා. ඒ කාලේ ඉතිං මොනවත් කරන්න පුඵවන් කාලයක් නෙවෙයිනේ.

මේ රජය ඇවිල්ලා මාස කීපයයි. පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේ දී කිව්වා නිවාඩ් කබ්රාල් හා ජයසුන්දර වැඩකරන ජනයාගේ  EPF එක මංකොල්ල කෑවා කියල. අපි එහෙම කරන්නේ නෑ. අපි වෙළඳපොල අවශ්‍යතාවය අනුව විනා ලංසු දාන්න කියලා EPF එකට අපි බල කරන්නේ නෑ කියල.  ඇයි ඒ අය කථා කරන්නේ සමාජ ධනවාදයක් ගැනනේ. මේකෙන් වුනත් අනතුරක් වෙයි කියල කවුරුවත් කල්පනා කළෙත් නෑ. ඒ ගැන කථා කළෙත් නෑ. පිටට කරන්නෙත් එහෙම තමයි. ඒ මාර්කට් එකට බලපෑම් කරන්න කවුරුවත් නෑ. තීන්දු කරන්නේ ඒ වෙළඳ පොළමයි. ඒ මාර්කට් එකේ ලංසු අතර ලොකු වෙනසක් එන්නේ නෑ. වැඩිම වුනොත් 1%යි.

2014 සිට ආපස්සට අපි වසර 10 ක් හොයල බැලූවා. ආණ්ඩුවට කියන් පුඵවන් වැඩියෙන් හෝ අඩුවෙන් ගන්න පුඵවන් කියල. ඒ වසර දහයෙම එක ලංසුවක් දාල තව එකක් ක‍්‍රියාත්මක කරල නෑ. නමුත් පොලී අනුපාතය අඩුවෙන් තියාගන්න බල කළා. ඒකෙනුත් වුනේ EPF එකේ ගිණුම් හිමියට පාඩුවීම ම තමයි.

දැන් බලමු අපි මේ බැඳුම්කර මිළදී ගැනීමේ දී මොකද වුනේ කියල. 2015 පෙබරවාරි නිවේදනයක් නිකුත් කළා එක බිලියනයක් සඳහා ලංසු ඉදිරිපත් කරන ලෙස. පෙබරවාරි 27 ලංසු පිළිබඳ ටෙන්ඩරය පෙරවරු 11.00ට වැසිමට නියමිතව තිබුණා. මේ බිලියනය ඉල්ලූවේ භාණ්ඩාගරයෙන් එවපු මුදල් අවශ්‍යතාවයට අනුව.

පෙබරවාරි 26 වෙනිදා අගමැතිතුමා. කිරිඇල්ල ඇමතිතුමා, මලික් සමරවික‍්‍රම මහත්තයත්, මහ බැංකු අධිපතිත් භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යාංශයේ නිළධාරීන් සමග රැස්වීමක් කැඳවල කියනවා තව බිලියන 15 අවශ්‍යතාවයක් තිබෙන බව. පාරවල් හදන්න ගත්ත ණය ගෙවන්න හදිසි අවශ්‍යතාවයක් තිබෙන බව තමයි එහි ප‍්‍රකාශ වුනේ. එහෙම අවශ්‍ය තාවයක් තිබුණා නම් මිළ ගණන් කැදවිම සඳහා අර ලියාපදිංචි 26 දෙනාට දැනුම් දි යුතුව තිබුණා. කාලය මදි නම් ටෙලිෆෝන් කරල, ෆැක්ස් පණිවුඩයකින් දැනුම් දෙන්න තිබුණා. වැඩි ඉල්ලූමක් තිබෙනවා නම් සාමාන්‍යයෙන් පොලී අනුපාතය අඩුවෙන එක. මොකද වුනේ මේ කාටවත් පණිවුඩය දුන්නේ නෑ. 27 උදේ රැස්වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි ක‍්‍රියා මාර්ගයක දී රැස්වෙන්නෙ මහ බැංකුවේ රාජ්‍ය ණය පොර්තමේන්තුවේ නිළධාරීන් පමණයි.

හැබැයි මේ රැස්විමට ඇමතිවරයෙකුත් සම්බන්ධ වුනු බවට තොරතුරු තියෙනවා. ලංසු ආවේ එක් බිලියනයකට පමණයි. එක සමාගමක් පමණක් ඉල්ලා තිබෙනවා තමන්ට තව ලංසු දැමීමට තිබෙණ නිසා පැය භාගයක් දික් කරන්න කියල. අනෙක් ආපු ලංසු ටික එන්නේ ලංකා බැංකුවෙන් බව ඔවුන් කිව්වා. රාජ්‍ය බැංකුවක ඉල්ලීමක් පැහැර හරින්නත් හැකියාවක් නෑ. පැය භාගය දික් කළත් ලංසු ටික 11.10 වෙනකොට ආවා. ලංසු තුනක් ආවා. එක ලංසුවක් බිලියන 03 ට. හැබැයි මතක තියාගන්න ඕනෑ වෙළඳපොලේ ඉල්ලූම තියෙන්නේ එක බිලියනයකට. දෙවෙනි ලංසුව බිලියන් 5 හේ ඒවා දෙකක්. ඒ කියන ලංකා බැංකුව අන්තිම මොහොතේ බිලියන 3, 5, 5,  වශයෙන් බිලියන 13ක ලංසු දැම්මා. බිලියන 3  ලංසුව පොලිය 13% ක් තමයි දාල තිබුණේ. 5 හේ දෙක 13% හෝ 14% ලංසුවක් දාන්න ඇති. ඇයි මෙහෙම කළේ කියන එක තමයි මූලික ප‍්‍රශ්නය වෙන්නේ.

ලංසු කථා කරන වෙන්දේසි කාමරයට (Auction  Room) එදා උදේ විශේෂ පුද්ගලයෙක් එනවා ඒ මහ බැංකු අධිපතිතුමා. කිසිම අධිපතිතුමෙක් මෙහෙම ඇවිල්ලා නෑ. එයා ඒක පිළිඅරගෙනත්  තියෙනවා. එයා ඇවිල්ලා කියනවලූ බිලියන 15ක අවශ්‍යතාවයක් තිබුණට බිලියන 30 අවශ්‍යතාවයක් තිබෙන බව එදා රැස්වීමේ දී තමන්ට පවසපු බව. මේ ලංසු ඉදිරිපත්  කරපු ලියවිලි දැන් අපේ අතේ තියෙනවා. මේක අවුරුදු 30 ක බැඳුම්කරයක්. ලංකා බැංකුව මිලියන 08 රුපියල් 119  කොටසක වටිනාකම ඇතුළත ලංසු දැම්මා.  පුද්ගලික සමාගම් දෙකක් තවත් ලංසු කීපයක් දැම්මා මිලියන දහය බැගින්. ලංකා බැංකුව තවත් මිලියන් 500 ට ලංසු දැම්මා. කොටසක් 109 බැගින් ගන්න ඉල්ලූවා. අන්තිම මොහොතේ දාපු බිලියන  3 ට ලංකා බැංකුව කිව්වේ කොටසක් රුපියල් 90 ට ගන්න සූදානම් බවයි. පළවෙනි ලංසු පහ ගත්තා නම් බිලියනය දෙන්න තිබුණා. ලංකා බැංකුව, ඇක්විටි සෙකයුරිටි,  ෆස්ට් කැපිටල්, ලංකා බැංකුව, එන්ට‍්‍රස්ට් සිකියුරිටි සහ ලංකා බැංකුවේ දෙවෙනි ඉල්ලූම. පළවෙනි පස්දෙනාගෙන් බිලියනය පිරවිය හැකිව තිබුණා. මහ බැංකු අධිපති කියනවා ඒ බිලියන් විස්සම ගන්න කියල. ඒ බවට සාක්‍ෂි තියෙනවා. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මෙයට තරයේ විරුද්ධ වුනා.

ඔක්ෂන් ලිස්ට් එක අපිටත් ලැබුණා. කවුරු හරි මේක අපිට ෆැකස් කළේ ගවනර්ගෙ ෆැක්ස් එකෙන්මයි. මේ වැරැද්දට අපි මැදිහත්වෙන බව දන්න අය තමයි එහෙම එව්වේ. EPF එකත් මිලියන 500 ක් 103 වටිනාකමට දාල තිබුණා. පසුව කොටස් බිලියනයක් සඳහා 102 ක ලංසුවක් තිබ්බා. ලංකා බැංකුව අවසානයට දාපු බිලියන 13 දැම්මේ පර් කැප්චුවල් සමාගම වෙනුවෙන් කියල අවසානයේ දී කියන්නට වුනා.

මේ තමයි ප‍්‍රයිමරි ඩීලර් කෙනෙක් වෙනුවෙන් තවත් ප‍්‍රයිමරි ඩීලර් කෙනෙක් මැදිහත් වුණ පළමු අවස්ථාව. මට තිබෙන බලය තවත් කෙනෙකුට දෙන්නේ මොන තේරුමකින් ද? ලංකා බැංකුව මාර්ගයෙන් මහ බැංකු අධිපතිගේ බෑනගෙ සමාගමට බිලියන 13 ක් දැම්මා. EPF එක මිලියන දෙකයි දැම්මේ. බෑනාගේ සමාගම දානවා බිලියන 13ක් ලංකා බැංකුව මගින්. බිලියන් 20 න් 75% යන්නේ බෑනාගේ සමාගමට. බෑනට මෙච්චර ප‍්‍රමාණයක් ගන්න සල්ලි නෑ. මෙයා ලංකා බැංකුවෙන් දවස් හතරකට ණයට ගත්තෙ. අවසානයේ එයා ඒක EPF  එකට විකුණනවා. ලංකා බැංකුව දවස් හතරට ලක්‍ෂ 286 ක් ලාභ ගත්තැයි බැංකුව කියනවා. මේ ගනුදෙනුවෙන් 1% ක් පාඩුවෙන්නේ අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ට. ඇයි 13ට ගන්න තිබුණ එක EPF ගන්නේ 12 ට. ඒ 1% ලාභය යන්නේ බෑනගේ සමාගමට.

ඔය දවස් දෙකේ ගේමෙන් බෑණා බිලියන එකහමාරක ලාභයක් ලැබුවා. හරි පුදුමයි නේද. බිලියන් පහක ගණුදෙනුවකින් බිලියන් එකහමාරක් ලාභ ගත්තා කිව්වම. ඒ කියන්නේ අවුරුදු 30 ලාභය දවස් හතරෙන් හොයන්නේ. විකුණන්නේ අවුරුදු 30 තිස්සේ ලැබෙන පොලියෙන් 1% ක්. ආවොත් සල්ලි අතේ කියල බෑණා ලංකා බැංකුවට එදා උදේ කතා කරල කියනවා. ඒ පිළිබඳ රෙකෝඩ් කෝප් එකකටත් ඉදිරිපත් වුනා.  අපි ගාව නෑ සාක්‍ෂි. හැබැයි කළමණාකරන මූලධර්ම අනුව මේ ගනුදෙනුවේ දි බැඳියාවන්ගේ ගැටුම (Conflict of Interest) ගැන අගමැතිතුමා, අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයා මොකද කියනනේ?  මේ වැඬේ related party එක මාමා හා බෑණා. ගණුදෙනුවට පෙර සබඳතාව හෙළි කළේ නෑ. අපි යහපාලනය ගේන්න කටයුතු කරපු අය. ඒ නිසියි අපි ශ්‍රේෂ්ඨාකරණයට ගිහිල්ලා මේ වගේ  දේවල් අනාගතයේ හෝ වළක්වන්න මැදිහත් වෙන්න කියල කිවුවේ. නමුත් ඒකත්  නිවැරැදිව වුනේ නෑ. හැබැයි අධිපතිතුමා නම් කියන්නේ තමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදහස් වූ බවයි. මම තොරතුරු හා කරුණු පැහැදිළි කළා. විනිශ්චය ඔබ අතේ.

(ස්වාධින වෘත්තීය සමිති එකතුව විසින් ලංකා බැංකු සේවක සංගම් මූලස්ථානයේ ‘බැඳුම්කර අර්බුදය’ යන මැයෙන් පැවති සම්මන්ත‍්‍රණයේදී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න විසින් කළ දේශනයක් ඇසුරින් ‘වමේ හඩ‘ පුවත්පතට ධර්මසිරි ලංකාපේලි විසින් කළ සටහනකි.)