චෝදනා ඔප්පු කරන්න – මුරලිගෙන් තිලංගට අභියෝගයක්!

2016.07.26-murali_thilanga

මුළු තරගාවලියටම අදාළ ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට දගපන්දු පුහුණුව ලබාදෙන ලෙස ඔස්ට්‍රේලියානුවන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් දින 10ට දඟ පන්දුයවන්නන් පුහුණුකරවීමට වූ පොරොන්දුවක් සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තමාට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන මුත්තයියා මුරලිදරන් පවසයි.

ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල විසින් තමන්ට කෙළ චෝදනාවලට පිලිතුරු දෙමින් මුරලිදරන් එසේ කියා සිටියේ මහනුවරදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමිනි. ක්‍රිකට් සභාපතිතුමා ක්‍රිකට් ගැන නොදන්නා බවත්, තමන් විසින් ක්‍රිකට් ක්‍රිඩාවෙන් රටට කළ සේවයෙන් 1%ක් වත් එතුමා විසින් සිදුකර නොමැති බවත් ඔහු කියා සිටියේය. මාස 3ට ඉහතදී‍ෙස්ට්‍රේලියා කන්ඩායම පුහුණු කිරිමේ ඉල්ලීමක් ලැබුනු නමුත්  තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ තරගාවලියේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ෙනිසා බව ඔහු සඳහන් කළේය. එසේම ක්‍රිකට් කළමනාකරු චරිත සේනානායකට තර්ජනය කළ බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන මුරලිදරන්, තමන් හා චරිත එකට ක්‍රීඩා කළ සගයන්ව සිටියදී ඔහු විසින් තමන් තණ කොළ කපා පිටිය සකස් කළ බවට බොරු කියන්නේ ඇයිදැයි විමසා සි‍ටියා පමණක් මිස තර්ජනය කිරීමක් නොකළ බවත් මුරලිදරන් අවධාරණය කළේය. ඕස්ට්‍රේලියානුවන් විසින් 1999දී තමන්ට පන්දුව දමාගසන බවට චෝදනා එල්ල කළ බවත්, ඒ අවස්ථාවේදී ලංකාවේ සියලු දෙනා එක්ව දුන් සහයෝගය තමාට කිසිදා අමතක නොවන බව කී මුරලිදරන්, ඔස්ට්‍රේලියාවෙන්ම තමාව පුහුණුකරුවෙකු ලෙස කැඳවන්නේ එදා ඔවුන්ට වුණු වැරැද්ද පිළිගනිමින් බවත් සිහිපත් කළේය. පුරා විසි වසරක් අඛණ්ඩව ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ තමා 2011න් පසුව අවුරුදු 2ක් වෙනත් රටවල ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩා කළ බවත් සිහිපත් කළේය. ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩව රැඳීමට පවත්නා කැමැත්ත මත තමන් හයිද්‍රබාද් කණ්ඩායමට උපදේශකවරයෙකු ලෙස සේවය ලබාදුන් බවත් ඔහු කීය. චෝදනා එල්ල කළ එස්ට්‍රේලියානුවන්ම පුහුණුකරුවෙකු ලෙස සේවය කිරීමට ආරාධනා කිරීම සහ තමන්ට ක්ෂේත්‍රයේ රැඳී සිටිමට ඇති කැමැත්ත මෙන්ම මෙරට ක්‍රිකට් පාලකයන් විසින් තමන්ට අවස්ථාවක් නොදීම නිසා මෙවැනි තීරණ ගත් බව සැගවිය නොහැකි බවද ඔහු ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මුරලිදරන් ජනමාධ්‍යෙව්දීන් හමුවේ කියා සිටියේ, දින 10ට පමණක් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ට පුහුණු කිරීම නිසාම ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරන්නට එය දායක වන්නේ නැති බවයි. එසේ වන්නේ නම් තමන් ලෝකයේ සිටින හොඳම පුහුණුකරුවා වනු ඇති බවද ඔහු කීය. ලංකා කණ්ඩායම සෑම තරඟයකින්ම ජයග්‍රහණය කරවිය හැකි පරිදි ක්‍රියා කළ යුතුව ඇති බව පෙන්වාදෙන මුරලිදරන් තමන් වෙත නඟන චෝදනා සියල්ල හිස් ප්‍රලාප පමණක් බව අවධාරණය කළේය. තමාට චෝදනා නඟන ක්‍රිකට් සභාපතිවරයා ක්‍රිකට් ක්‍රීඩාවට හෝ රටට කළ සේවය කුමක්දැයි පෙන්වාදිය යුතු බවත් තමන්ගෙන් සිදුවන වැරදි වසාගැනීමට තමන් ඉත්තෙක් ලෙස පාවිච්චි නොකොට එල්ලකරන චෝදනා ඔප්පු කර පෙන්විය යුතුව බවද  මුරලිදරන් මෙහිදී අභියෝග කළේය.

 

Leave a Reply