ගම්පහ විනිසුරු පාලුගෙයි බින්ද වළං ‘මව්බිමේ“ ප්‍රදර්ශනයට

Court

අද (26) දිනපතා මව්බිම පුවත්පතේ මුල්ම පිටුවේ හරි අපූරු පුවෘත්තියක සිරස්තල විශේෂ අවධානයකට යොමු වන ආකාරයෙන් ප්‍රදර්ශනය කරල තිබුණා. උදේ පාන්දර අනුන්ගේ කුණු අවුස්සන පත්තරකාරයෝ කියාගන්න එවුන් ටිකක් ඒක හරි අපූරුවට තලු මරමර කාපු හැටි හරිම අපුලයි. මේක දැකපු ගමන් මට හිතුනේ මහේස්ත්‍රාත් හෙන පොර ටෝක් එකක් දුන්න, හැබැයි ඒ ‘පාලු ගෙයි වළං බින්ද වගේ‘ වැඩක් නේද කියල. මොකද ගම්පහ මහේස්ත්‍රාත් කියල තිබුණු කාරණා හරියට සරසවි සිසුන්ට දුන්න අවවාද වගේ එකක්. හැබැයි ඒ අවස්ථාව, ස්ථානය, අවවාද දීපු කෙනාගෙ තරාතිරමත් එක්ක ඒ සරසවි සිසුන්ට පුළුවන් මහේස්ත්‍රාත්ගෙ ඒ දේශනයට ප්‍රති උත්තර දෙන්න. බෑ… මහේස්ත්‍රාත්ට ප්‍රතිඋත්තර දෙන්න හරි, මහේස්ත්‍රාත්ගෙන් නැවත ප්‍රශ්න කරන්න හරි පුළුවන් කමක් ඒ මොහොතේ නැ… හදිස්සියේ හරි එහෙම කළොත් ඉතින් ‘සොරි ඩොට් කොම්‘ කියල තමයි කියන්න වෙන්නේ.

ඒ විතරක් නෙමෙයි ඒ මොහොතේ දැනිච්ච අනෙක් අදහස තමයි මහේස්ත්‍රාත් හරියට ඒක කියන්නේ ඒ කියන මහේස්ත්‍රාත්වරයා ජීවත්වෙන්නේ කේතුමතී නුවර කියල හිතාගෙන කියන එක. සමහර විට ඒ කියන මහේස්ත්‍රාත්ට ඔහුගේ ජීවන රටාවත් එක්ක එහෙම හිතෙන්න බැරිකමකුත් නෑ. මොකද ඔය මහේස්ත්‍රාත්වරු දන්නේ “පිගානෙන් බත් උපදිනව“ කියල විතරයි. උදේ පාන්දර නැගිටල උණු වතුරෙන් නාල, පොෂ් විදියට කාලා, සීත කරපු කාර් එකක වටෙන් ගාඩ් එක දාගෙන උසාවියට එන මේ නඩුකාර උන්නාන්සේලා පාරේ මිනිස්සු දූවිලි කකා විදින දුක දකින්නේ, දැනෙන්නේ නෑ…. ඒ විතරක්ද… පොඩි මිනිහට පොතේ හැටියට තීන්දු දීලා, ලොකු මිනිහට උඩින් කියන විදියට තීන්දු දීලා ආපු විදියටම ගෙදර යන කොට මෙන්න බොලේ පිගානෙන් බත් ඉපදිලා. ගෙදරින් උසාවියටයි, ආපහු උසාවියෙන් ගෙදරටයි බඩගාන මේ උන්නාන්සේලා සමාජ ජීවිතය කියල එකක් දන්නේ නෑ.

2016.07.27 gampaha mc

ඒ අය ගාව තියෙන්නේ පොතේ දැනුම විතරයි. පොතේ තියන චිත්‍ර විතරයි එයාල දැකල තියෙන්නේ. ඒ දැකපුව විතරයි ඒ අයගෙ ඔළුවෙ තියෙන්නේ. ඒ නිසා ඒ අය මේ ජීවත්වෙන්නේ කේතුමතී රාජධානියෙ කියල ඒ අයට හිතෙන එක වලක්වන්න බෑ. ඒ නිසා මේ වගේ ‘තීන්දු‘ කියන වචනයට මුවා වෙලා පොර ටෝක්ස් දෙන එක වළක්වන් පුළුවන්කමක් නෑ. මේ නඩුකාර හාමුදුරුවො සරසවි සිසුන්ට කියල අනාගතේ භාර දෙන්න වෙන්නේ විප්ලව කර කර ඉන්න වගකිමක් නැති තරුණ පිරිසකට කියල. අඩෙ අප්පේ විප්ලව කරන තරුණ තරුණියො වගකීමක් නැති එවුන්ලු. තමන්ගෙ පාඩුවෙ පොතට ගැලිල, ලෙක්චර්ස්ල කියන දේ අහගෙන ඉදල, අනික් එකාට කෙළවෙලා ගියත් මොකෝ මගෙ ඩිග්‍රිය බේරුණානම් ඇති කියල හිතන එවුන් ද එතකොට වගකීමක් ඇති අය? තමන්ගෙ අධ්‍යාපනය පමණක් නෙමෙයි, තමන්ගෙන් පස්සේ ඉන්න අනාගත පරම්පරාවට මේ නිදහස් අධ්‍යාපනය හිමිවිය යුතුයි කියල හිතන එක වගකීම් විරහිත වැඩක්ද? අනෙ අප්පේ මුන්දැගෙ දර්ශනේ…? උන්දැ තවකියල තියෙනව දහසක් දුක් විදල උගන්නපු දෙමාපියන්ගේ අරමුණු ඉටු කරන්න මුල් තැන දෙන්නලු? ඇත්ත අපේ අම්මල, තාත්තල කිවුවේ එක එකාට වාල් කම් කරන්නේ නැතුව, හොරෙක් වෙන්නේ නැතුව හොදින් ඉදපත්ත කියලයි. හැබැයි එහෙම ඉන්න පුළුවන්කමක් නෑ… මොකද දැන් ඩිග්‍රියක් ගන්න ලක්ෂ ගණන් ඕනෙ වෙනවා. එහෙම කරන්න තව එකෙක්ගෙ රීරි මාංශෙ උරා බොන්නෙ නැතුව පුළුවන්කමක් නෑ… මේ වගේ සමාජ ක්‍රමයක් ඇතුළෙ පුළුවන්ද දෙමාපියන්ගේ අරමුණු විතරක් හිතේ ගුළි කර ගෙන ජීවත් වෙන්න. තව ඒ උන්දැ උජාරුවට කියල තියෙනව ලෝකෙ වෙන රටවල ළමයි උගන්නපු මවුපියන්ගෙ ණය ගෙවනව කියල. කළු වීදුරු දාලු වාහනවලින් සීතලේ එහෙට මෙහෙට යන උන්දැල දන්නේ නෑ අපේ රට ලෝකයේ අනෙක් රටවල් වගේ නෙමෙයි කියල. අනෙක් අටවල මිනිස්සු ජීවිතේ විදිද්දි අපේ මිනිස්සු ජීවිතේ විදවනව. ලෝකෙ අනික් රටවල අය තමන්ගේ ණය ගෙවද්දි අපි අනික් උන්ගෙ ණය ගෙවනව. අවුරුදු ගාණක් තිස්සේ ක්‍රියාත්මක වෙන මේ මජර ක්‍රමය ඇතුළේ අපි සෙක්කුවෙ බැදපු හරක් වගේ එක තැන කැරකෙනවා. එහෙම ගෙවන අපේ ජීවිත රැඳිල තියෙන මේ පුංචි රට ලෝකෙ අනික් රටවල් වගේ නෙමෙයි කියල මේ නඩුකාර උන්නාන්සෙගෙන් ඒ වෙලාවෙ ඇහුවනම් එහෙම වෙන්නේ මොකද්ද කියල මම අමුතුවෙන් කියන්න උවමමනාවක් නෑනේ… මේ වෙලාවෙදි මට මතක් වෙන්නේ නන්දා මාලනීගෙ ගීතයක්

යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්

ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්

අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්

කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්

කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්

පන්දු කෙළින අතර ඉහළ පාසල්වල අමනයන්

රට ගිනි ගෙන ඇති බව දුටු මගේ එකම පුතණුවන්

එගිණි නිවන මඟ සෙවීම වරදක්දැයි මට කියන්

ගිනි ගන්නා රටක කෙළින මී හරකුන් වැනි පුතුන්

කුමටද මට මහ විරැවෙකි සිරගෙයි මළ මගේ පුතුන්

කෝටි ගණන් බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන්

කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ලඟ උතුම්

හැබැයි උදේ පාන්දර ටීවි එකේ තප්පුලන එවුන් කියන දේවල් ඇහුවහම කියන්න තියෙන්නේ ඇත්තටම නන්දා මාලනීටයි, සුනිල් ආරියරත්නටයි විතරක් නෙමෙයි, මේක මාරයි කියල කියපු, ඒ වගේ වෙන්න හදපු අතීත පරම්පරාවට වගේම, වර්තමාන පරම්පරාවටත් හොදටම පිස්සු…

අම්මප මේ මගුලක් අල්ලන් මෙච්චර ලියපු මටත් පිස්සුද මන්දා…..?

සජිත් සාරංග