පාලම තව දුරය සෙන්දුරන්

sendura1

කොකුවිල් හින්දු විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි රාජේශ්වරන් සෙන්දුරන් ශිෂ්‍යයා දුම්රියට පැන සිය දිවි හානිකර ගත්තේය. ඒ කිසිදු වග විභාගයකින් තොරව රඳවාගෙන සිටින තමිල් දේශපාලන සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන්ය. දකුණට මෙය හුදු ප‍්‍රවෘත්තියක් පමණය. විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කර මරා දැමීම ගැන දකුණ කලබල වූයේ නැත. එහෙත් සේයා දැරිය එකල දූෂණයට ලක් වී ඝාතනයවීම ගැන සිංහල දකුණ වීදි බැස්සෝය. තමිල් ජනයාට තමිල්වීම නිසා ඇති ප‍්‍රශ්නය කුමක්දැයි’ අසන්නන්ට මෙය නොතේරීම නොදන්නාකමද, කුහකකමදැයි අපට නොවැටහේ.

සිය දිවි හානි කරගන්නට පෙර සෙන්දුරන් ජනාධිපතිට ලියා තැබූ සටහන සහෝදර දෙමළ හදවතේ ස්පන්දනය අපට ඇසෙන්නට සලස්වයි.

”අතිගරු ජනාධිපතිතුමන්ගේ යහපාලන ආණ්ඩුව වහාම දේශපාලන සිරකරුවන් පුනරුත්ථාපනය කර නිදහස් කළ යුතුමය. කිසිදු දෙමළ සිරකරුවකුට තවදුරටත් එලෙස සිරගතව සිටිය හැකි නොවේ. මේ මට පවා මෙම දේශපාලන සිරකරුවන් නිදහස් කරනු ලැබීමේ හදිසි අවශ්‍යතාව අවබෝධ වී ඇති විටෙක, මේ යහපාලන ආණ්ඩුවට ඒ තරම්වත් අවබෝධයක් නැතිවීම මා දැඩි වේදනාවට පත් කර ඇත.”

සිරගත මිණිකැට

අම්මලා, තාත්තලා දරුවන් හදන්නේ ඉතාමත් දුෂ්කරතා මැද ඉමහත් ලබාපොරොත්තු පොදි බැඳගෙනය. තමන්ගේ දරුවන් ජීවිතයේ හොඳම කාලය කිසිදු සාධාරණ හේතුවකින් තොරව සිර ගෙදරක ගත කරනු දැකීමට කිසිදු දෙමාපියකු කැමැති වන්නේ නැත. මේ සිරගත කරනු ලැබ ඇත්තේ හුදෙක් දෙමාපියන්ගේ දරුවන් පමණක් නොවේය. මේ සිරකරනු ලැබ ඇත්තේ සමාජයක දරුවන්ය. දකුණේ සමාජයට ඔවුන් වැදගත්යැයි නොසිතුනද  තමිල් සමාජයට ඔවුන් වැදගත්ය. ඇත්තෙන්ම ඒ තමිල් සමාජයේ උතුම් දරුවෝය. මා එසේ කියන්නේ ඇයි?

71 කැරැුල්ල විනිශ්චය කළ විනිසුරුවන් අතර සිටි ඒ.සී.අලස් නඩු විභාගය අවසන ඇති වූ කම්පිත හදවතින් යුතුව ”71 කැරැල්ල” නමින් පොතක් ලිවීය. එහිදී ඔහු කැරලිකරුවන් පිළිබඳව සඳහන් කරමින් මීට වඩා සාධාරණ සමාජයක් ගොඩනැඟීම සඳහා ජීවිතය වුවත් පරිත්‍යාග කිරීමට ඔවුන් තුළ වූ හදවත අගය කරයි.

තමන්ගේම වූ පෞද්ගලික අභිමතාර්ථයන් හා වාසනාවන් හඹායන නිස්සාර තාරුණ්‍යයකින් සමන්විත සමාජයක, සාධාරණ ලෝකයක් වෙනුවෙන් අරගල කරන්නා මිණිකැටයකි. එවන් මිණිකැට සතු අඩුපාඩු සකස්කර ඔපමට්ටම් දමා එහි වටිනාකම නැංවීම සමාජයේ වගකීමකි. එහෙත් වත්මන් සමාජය කරනුයේ ඒ වෙනුවට එම මිණිකැට විනාශ කර දැමීමය.

නඩුනැති රටක්

තමිල් රැඳවියන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ ප‍්‍රධාන ඉල්ලීම වන්නේ ‘වැරදි ඇතොත් නඩු දමන්න. නැතිනම් නිදහස් කරන්න’ යන්නයි. මෙය ඉල්ලීමක් විය යුත්තේ ඇයි? මෙය  ඕනෑම ශිලාචාර සමාජයක සම්මතයකි. එබැවින් මෙවන් ඉල්ලීමක් කරන්නට සිදුවීමම අපේ සමාජයේ අශීලාචාරකම පිළිබිඹු කරන්නකි.

1971 කැරැල්ල සමයේ දී අත්අඩංගුවට ගත් කැරලි නායකයන් හා රැුඳවියන් සම්බන්ධයෙන් නඩුවක් ගොනු කළ හැකි නෛතික විධිවිධාන නොතිබිණි. එහෙත් ‘අපරාධයුක්ති විනිශ්චය කොමිසන් සභා පනත’ නමින් විශේෂ අධිකරණයක් ස්ථාපිත කර කැරලිකරුවන් විනිශ්චය කරනු ලැබිණි. එහිදී කැරලිකාර තරුණ තරුණියන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරුණු ප‍්‍රකාශ ශ‍්‍රී ලාංකේය හදවත කම්පනයට පත් කළේය. ලාංකීය සමාජය පුරා පැතිර ඇති සමාජ අසාධාරණය පිළිබඳව ජන හදවත් අවදි කරන්නට එකී නඩු විභාගය සමත් විය. එය කැරලිකරුවන්ට දඬුවම් නියම කළ විනිශ්චයකරුවන්ගේ පවා හදවත් අවුලූවා ලූ ඓතිහාසික අවස්ථාවක් විය.

ආත්මාර්ථකාමී පුද්ගලයන් බිහිකරන්නා වූ ධනේශ්වර සමාජයේ ආරක්ෂකයන් වන පාලක පන්තිය ඒ ‘වැරැුද්ද’ යළි නොකරන්නට වගබලා ගත්හ. ඒ අනුව 1988-89 දකුණේ දෙවන කැරැුල්ල 60,000ක් පමණ තරුණ තරුණියන් මරා දමා නඩු විභාගයකින් තොරව අවසන් කරන්නට පාලකයෝ සමත් වූහ. 71 කැරැුල්ලේදී විජේවීර ඇතුළු නායක මට්ටමේ පුද්ගලයයන් ආරක්ෂා වුවද 88-89 කැරැුල්ලේදී එකල ඇමැතිවරයකු වූ සිරිසේන කුරේට ඥාතීත්වයක් තිබූ සෝමවංශ අමරසිංහ හැර අනෙකුත් සියලූ නායකයන් අත්අඩංගුවට ගෙන අනෛතික ආකාරයට මරා දමනු ලැබීය. මේ නිසා ඔවුන්ගේ පාර්ශ්වයෙන් කරුණු මතුවීම වළක්වන්නට එකල පාලකයන් හෙවත් ආත්මාර්ථකාමී සමාජයේ ආරක්ෂකයන් කටයුතු කළ බව මේ අනුව පැහැදිළිය.

තමිල් කැරැුල්ලට හේතු භූත වූ කාරණා ඒ පාර්ශ්වයෙන් මතුවීම වලක්වන්නට ඉහත කී ආත්මාර්ථකාමී සමාජයේ ආරක්ෂකයෝ ඊටත් වඩා සැලකිලිමත් වී ඇත්තාහ. උතුරේ කැරැුල්ලේ මුල් අවස්ථාවල සිටම හා ඊට පෙර පවා දකුණේ ආණ්ඩුවේ පොලිසිය, හමුදා හා වෙනත් මැර කල්ලි වෙතින් උතුරේ ජනයාට එරෙහිව මුදා හළ ප‍්‍රචණ්ඩත්වයන් නිදහසේ වාර්තා කිරීම ‘බලධාරියා විසින් කපා හරින ලදී’. එහෙත් ඒවාට එරෙහි ප‍්‍රතිචාරයන් වශයෙන් උතුරේ කැරලිකාරිත්වයෙන් එල්ල වූ ප‍්‍රචණ්ඩත්වයන් තලූ මර මරා වර්තාකරන්නට ඉඩ හරින ලදී. මේ අනුව උතුර පිළිබඳව දකුණේ සංවේදී හදවත අකර්මණ්‍ය කරන්නට ආත්මාර්ථකාමී සමාජයේ දුෂ්ට  ආරක්ෂකයෝ ඉතිහාසය පුරාම කටයුතු කළහ.

ඉතිං සෙන්දුරන්

උතුරේ කැරලිකාරීත්වයට එරෙහිව දකුණ කවදාවත් නඩු පවරන්නේ නැත. නඩුවක් පැවරුවත් ඒ පුද්ගල අපරාධයක් ලෙස විනා සමස්ත කැරැුල්ලකට හෝ විප්ලවයකට එරෙහිව නොවේය.  කැරැුල්ලකදී හෝ විප්ලවයක දී සිදු වන සිදුවීම් වූකලී එකී කැරැුල්ලෙන් හෝ විප්ලවයෙන් හුදෙකලා වූ සිදුවීම් නොවේය. එහෙත් ආත්මාර්ථකාමී සමාජයේ කපටි ආරක්ෂකයෝ ඒවා හුදෙකලා අපරාධ ලෙස හුවා දක්වමින් දඬුවම් කරති. ඔවුහු විප්ලවය හෝ කැරැුල්ල සාධාරණ විනිශ්චය සභාවක් ඉදිරිපිටට ගෙන ඒමෙන් හිතාමතා ම වැලකෙන්නාහ.

ආදරණීය සෙන්දුරන්, පුනරුත්ථාපනය කළ යුත්තේ කැරලිකරුවන් නොව මේ ආත්මාර්ථකාමී සමාජයේ කපටි ආරක්ෂකයන්ය.

අප හැමෝටම හිරු උදාවන ආදරණීය අලූයම තෙක් ආදරණීය පුතේ ඔබට සුබ රාත‍්‍රියක්!

අජිත් හැඞ්ලි පෙරේරා

ජනරළ ඇසුරෙන්

Leave a Reply