රාජපක්ෂ කෞතුකාගාරය රජයේ අරමුදල් යොදවා සැදුවාදැයි පරීක්ෂණ

RAJAPAKSHA MIUSIAM

හිටපු ජනාධිපතිවරයාගේ පියා වූ ඩී. ඒ. රාජපක්ෂ වෙනුවෙන් රජයේ අරමුදල් යොදවා වීරකැටිය ප්‍රදේශයේ කෞතුකාගාරයක් ඉදිරිකිරීමේදී සිදුවූ බව කියන බරපතල මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් අරම්භ කර ඇත.

මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.

ඒ අනුව ඊයේ (10) දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් කණ්ඩායමක් අදාළ කෞතුකාගාරය ඉදිකර ඇති ස්ථානයට ගොස් මෙම සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව පිලිබදව කරුණු සොයාබලා ඇතැයි වාර්තාවේ.

රජයේ මුදල් වියදම් කොට මෙසේ ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිරිකිරීමට අදාළ තක්සේරු වාර්තාවක් ලබාගැනීමේ අරමුණින් රජයේ තක්සේරු නිලධාරීන්ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන නිලධාරීන් සමඟ එම කෞතුකාගාරය ඉදිකර ඇති ස්ථානයට ගොස් විමර්ශන සිදුකර තිබේ.