ඌව පළාතින් ඇරඹෙන උමාඔය ව්‍යාපෘතිය අසාර්ථක එකක් බව කියන්නට ජනතාව විවිධ පැතිවලින් කරුණු දක්වති. එහෙත් බලධාරින් ඊට දක්වන්නේ ඇල්මැරුන ප්රතිචාරයකි. ඉකුත් නොවැම්බර් 8 වැනිදා වැලිමඩ පුහුල්පොල ගොවි ජනතාව මහ මඟට පැමිණියේ මේ තත්වයට නිසි විසඳුම් ලබා ගැනීමටයි. ඒ තුළ දක්නට ඇත්තේ ගොවි ජන ජීවිතයේ දිගුකාලීන කඩා වැටීමයි.
ඉකුත් 16 වැනිදා පුහුල්පොල ඩයරබා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිසා පීඩාවට පත් ඔවුන් විරෝධය ප්‍රකාශ කරමින් සිටියදී අපට හමුවිය.
මෙම විරෝධතාව සම්බන්ධව අප හා අදහස් දක්වමින් ටී.එම්. ගුණසේකර කියා සිටියේ මෙවැන්නකි.
”උමග හාරාගෙන යන කොට ගෙවල් දෙදරුවා. ගෙවල්වල හදපු වැසි ජල ටැංකි පිපිරුවා. මේ ගෙවලූත් ඉරිතලලා තියෙන්නේ. සමහර ගෙවල්වලට වන්දිත් දුන්නා. එහෙත් අපිට දුන්නේ නෑ. මේ සේරම කළේ බොරුවක්. පුහුල්පොල සුන්දර ගම්මානයක් කරනවා කීවා. කැඩෙන කඩවල් හදලා දෙනවා කීවා. එහි කිසි දෙයක් නැහැ. පාර ගියා විතරයි. ගෙවල් 100 ක් විතර කැඩිලා තියෙනවා. මේකට හිටිය බලධාරින් අපි දන්නේ නැහැ කියනවා. අද බලන්නකෝ, මිනිස්සු ඔක්කොම ඉන්නේ කොළඹ. මේ ඉන්නේ නියම ගොවියෝ. කුඹුරු ඔක්කොම තිබුණේ පුහුල්පොල. වැල්ලවාය හඳපානාගල ඉඩම් දෙනවා කීවා. ඒවා ඉතිං තවමත් පෙන්නුවේ නැහැ. කීවා විතරයි”
එමෙන්ම ඒ අසළ සිටි සුළු ව්‍යාපාරිකයකු වූ ආර්.එම්. පියදාස අප හා කියා සිටියේ, තවමත් වන්දි ලැබී නැති බවයි. වසර කිහිපයකට පෙර වෙළෙඳසැල අත්හැර යන්නට සිදු වුවද කිසිදු වන්දියක් ඔහුට හිමිව නැත.
පුහුල්පොල ප්‍රදේශයේ පළපුරුදු ගොවියකු වන ටී.එම්. ආරියදාස අප සමග කියා සිටියේ, තමන් විසින් වගා කළ කුඹුරු මාර්ගය ඉදිකිරීම නිසා ජල පිටාරයට යට වූ බවකි.
”පාර නිසා යටවුණු කුඹුරු ඉඩමේ වටිනාකමට හරියන වන්දියක් ලැබුණේ නැහැ. ඒකට කුඹුරු ප්‍රමාණයක් දෙනවා කීවා. තවම ඒවා මොකුත් ලැබුණේ නැහැ. ලැබුණ වන්දි මුදලත් ප්‍රමාණවත් නැහැ. ඒකට අභියාචනා දීලා තියෙනවා මීට වඩා තක්සේරුවක් කරන්න කියලා. මෙයාලා අපිට බෝංචි කෝටුවට, ඇපල් ගහට, පැපොල් ගහට පවා ගෙවනවා කියලා තමයි ව්‍යාපෘතිය පටන් ගත්තේ. අධ්යක්ෂ කීවේ හැම දේකටම වන්දි දෙනවා කියලා. පුහුල්පොල තිබුණ විදියටම සකස් කරනවා කියලා. මෙයාලා කොහොම හරි ගොවියෝ රවට්ටලා ඉඩම් ඔක්කොම ගත්තා.”
මේ නිසා උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ වන පුහුල්පොල ප්‍රදේශයේ තත්වය තවදුරටත් අයහපත් වී ඇත. ප්‍රදේශයේ පවුල් 60ක් පමණ මේ වන විට ඉවත් කර ඇත. ඔවුන් වැලිමඩ, මිරහවත්ත, මොරගොල්ල, කැටකෑල්ලවත්ත යන ප්‍රදේශවල පදිංචි වී ඇත. ඔවුන්ගේ ඉඩම් සඳහා වන්දි ගෙවීමේ කි‍්‍රයාවලිය මේ වන විටත් අවසන් වී නැත. එමෙන්ම ඌව පරණගම කොට්ඨාසයේ ගොවීන්ගේ ප්රශ්නය ඊට දෙවැනි නැත. වගාව සඳහා ජලය ගෙන එන උමා ඇළේ සාමාන්‍ය කි‍්‍රයාවලිය බිඳ වැටී ඇත. මේ නිසා 2014, 2015 පුරා වසර දෙකක්ම ගොවීන්ගේ වගා කටයුතු අඩාල වී ඇත. මේ වන විට ගෙවා ඇත්තේ 2004 මහ කන්නයට අයත් වගා වන්දිය පමණි. 2014 යල, 2015 යල මහ කන්න දෙකටම වන්දි ගෙවීම මේවන විටත් අවසන් වී නැත. වසරකට කන්න තුනක් වැඩ කරන කුඹුරු යායට ජලය සැපයීමද අඩාල වී ඇත. පසුගිය නොවැම්බර් 8 ගොවියන් උද්ඝෝෂණය කළේ මේ ප්රශ්නය විසඳා ගැනීමටයි. පිරිස 200 ක් පමණ සම්බන්ධ වූ මෙම උද්ඝෝෂණය සඳහා ඉල්ලීම් කිහිපයක් මුල් විය. වගා වන්දි ලබා ගැනීම, උමා ඇළ ප්‍රතිසංස්කරණය කිරීම ඒ අතර ප්‍රධාන ඉල්ලීම් විය.
තම ඉඩම්වලට ලබා දුන් තක්සේරුව පිළිබඳව සෑහීමකට පත් නොවන පවුල් ගණනාවක් සිටී. ගමේ පොදු පහසුකම් කි‍්‍රයාවලිය බිඳ වැටී තිබේ. මෙකී ප්‍රශ්න සියල්ල සාකච්ඡුා කර ගැනීම අරමුණු කර ගත් රැුස්වීමක් පසුගිය 16 වැනිදා වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී. ප්‍රාදේශීය ලේකම්තුමිය, ව්‍යාපෘති නිළධාරින්, සංවර්ධන නිළධාරින් සහ තක්සේරු දෙපාර්තමේන්තු නිළධාරින් මේ සඳහා සම්බන්ධ වී තිබුණි. ප්‍රදේශයේ පීඩාවට පත් ගොවීන් 50 ක් පමණ මෙයට සහභාගි වී තිබුණි. පැය ගණනාවක් පුරා ඔවුන් සිය ගැටලූ ඉදිරිපත් කරන්නට විය. මෙතැනට සහභාගි වී සිටියේ දිගින් දිගටම පීඩාවට පත් වූ ගොවීන්ය.
ව්‍යාපාර කටයුතුවලට මොරගොල්ල ඉඩම් සුදුසු නැහැ. අපට තැපැල් කාර්යාලයක් නැහැ. සමූපකාරය හදන්නේ කොහොමද? ගමේ පන්සල වගේම ඉරිතැලූණ ගෙවල්වලට දෙන උත්තරය මොකක්ද? මෙය එදා ඔවුන් නැගු ප්‍රශ්නවලින් කිහිපයකි. පුහුල්පොල විහාරාධිපති ස්වාමීන් වහන්සේ මේ පිළිබඳ දීර්ඝ ලෙස ප්‍රශ්න කරන ලදී.
ප්‍රදේශයේ ගොවි සංවිධානයේ සභාපතිවරයා වූ ඩබ්.එම්. ජයසිංහ කීවේ ඉරිතැලීම් ගැන කොටසක් විතරයි පරීක්ෂා කළේ. පාර නිසා වුන ඉරිතැලීම් බැලූවා. ටනල් එක එන හරිය බැලූවේ නැහැ, ඒ විතරක් ද සමූපකාරයේ ඉඩමේ තක්සේරුවෙත් ප්‍රශ්නයක් තියෙනවා. උමා ඇළ හදන්නැත්තේ ඇයි? අපි කාගෙන්වත් යැපුන අය නෙවෙයි. අද අපේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඔබතුමිය අපේ යායටම ඇවිත් බලන්න. අපි කියන්නේ මේක සතියක්වත් පහුකරන්න එපා. ගොවියෝ 50 ක් ඉන්නවා. එයාලට ඉක්මනට වගා වන්දිය දෙන්න. මෙයාලා ඇළ හෑරුවා. ඇලේ ලෙවල් එක වෙනස් කළා. දැන් මේකේ වතුර ගෙන යන්න පුළුවන්ද, බැරිද කියලා ඔබතුමියම ඇවිත් බලන්න. කලින් අපි මේකේ වතුර ගෙනිච්චේ ශ්‍රමදානයෙන් ඇළ කපලා. දැන් මේ ඔක්කොම අඩාල වෙලා”
ඔවුන් බීමට ගන්නා ජලය පවා අපවිත්‍ර වී තිබේ. මෙම ගම්වලට බීමට වතුර සපයන වගකීම ජලාපවාහන මණ්ඩලයට බාර දියයුතු යැයි කීවේ තවත් ගම්වැසියෙකි.
”වැවේ වතුර පිරිසිදු නැහැ. වැවේ වතුර සාම්පල් පරීක්ෂාවක් කරන්න ඕන. මිරහවත්ත පරගහවෙල ඇළට ඉඩම් කඩාගෙන ඇවිත් ඇළේ පස් පිරිලා තියෙන්නේ, මේවා එකකටවත් උත්තර නැහැ” සාලිය සෙනවිරත්න තවදුරටත් සිය අදහස් ඉදිරිපත් කළේය.
ඔවුන් පීඩාවට පත්ව ඇති ප්‍රමාණය කිසි විටකත් මුදල් මත තක්සේරු කළ නොහැකිය. මෙවර එය මතු වූයේ ඩයරබා ප්රදේශයෙන්ය. විටෙක එය බණ්ඩාරවෙල හීල්ඔයෙන්ද, මකුල්ඇල්ලෙන්ද, තව විටක අඹදණ්ඬේ ගමින්ද අසන්නට ලැබුණි. ඒ සියලූ තැන්හි පැමිණි ආපදා තත්වය නතර වී තිබේ යැයි කිසිවෙකුටත් කිව නොහැක. ඩයරබා පුහුල්පොල කුඹුරු ඉඩම් තක්සේරුව තුළ වූ අක්‍රමිකතා රැුසකි. මේ වන විට වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ඒ සඳහා අභියාචනා කමිටු පත් කර ඇත. මේ නිසා වැසියන්ගේ ඉල්ලීම වූයේ මේ අභියාචනා සඳහා ඉක්මන් සාධාරණයක් කරන ලෙසයි. එදින රැුස්වීමට සහභාගි වූ එන්.එම්. මුතුබණ්ඩා කීවේ ද තමන් බිම් සකස් කරවා පරිහරණය කළ ඉඩම් කොටසට ලැබුනු තක්සේරුව ගැන සෑහීමකට පත්විය නොහැකි බවය.
විහාරාධිපති හිමි ප්‍රශ්න කළේ ‘මේ ඉඩම් තක්සේරු කළේ කොහොමද? පර්චස් එකකට ගෙවපු නිශ්චිත මුදල කීයද? එකම භූමි ප්‍රදේශයක තැනින් තැනට වටිනාකම් වෙනස් වෙන්නේ කොහොමද?’ යන්නයි
සැබැවින්ම බණ්ඩාරවෙල, වැලිමඩ, ඌව පරණගම, සශී‍්‍රක එළවළු කලාපයකි. ප්‍රධාන ජීවන වෘත්තිය ගොවිතැනයි. යලමහ කන්නයේදී වී වගාව සහ එළවළු වගාව අඛණ්ඩව කරන ඔවුන්ගේ ජීවිකාව මේ වන විට අර්බුදයකට ගොස් ඇත. සැබැ සුන්දරත්වය වෙනුවට ජලය හිඟ ප්‍රදේශ ඉතිරි වී ඇත.
එහෙත් අසාර්ථක උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට යමින් ඇත. පසු පසින් කියවීමට ඉතිරිව ඇත්තේ, පීඩාවට පත්වන නිමාවක් නැති ජීවිත අර්බුද පමණි. ගහකොළ, සතා සිව්පාවුන්ට හිමි වන පාරිසරික ව්‍යසනය පමණි.
ඉන්දුමතී විද්‍යාරත්න