ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කේ. ඩබ්. ජනරංජන රහස් පොලීසියට කැඳවයි

janaranjana

රාවය පුවත්පතේ ප‍්‍රධාන කතෘ නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන රාවය පුවත් පතේ පළවූ ප්‍රවෘත්තියක් මගින් පොලිස් බුද්ධි අංශයේ හිටපු ප‍්‍රධානී චන්ද්‍රා වාකිෂ්ඨ  අපහාසයක් සිදුවී යැයි පවසා, ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

තමන්ට විශ්වාසදායී මාර්ගයන් ගෙන් ලැබෙන ප‍්‍රවෘත්ති පළකිරීම ජනතාවට නිවැරැදිව තොරතුරු ලබාදෙන මහජන සේවා ජනමාධ්‍යයක මූලික ලක්‍ෂණය වේ. ඒ අනුව පුවත්පතට ලැබුණු එම ප‍්‍රවෘත්තිය පළකොට තිබේ. බැලූ බැල්මටම මෙම ප‍්‍රවෘත්තියෙන් පොලිස් දෙපාර්තමේන්තුවට හෝ චන්ද්‍රා වාකිස්ට අපහාසයක් වී නොමැති බව ‘‘මාධ්‍ය නිදහස සඳහා වූ ක‍්‍රියාකාරී කමිටුව’’ විශ්වාස කරනු ලබන බව එම සංවිධානය ප්‍රකාශ කරයි.

“පොලීසියේ පෙර පැවති සම්ප‍්‍රදාය වූයේ කිසියම් වාර්තාකරණයක් පිළිබඳව විමර්ශනය කිරීමට අවශ්‍ය වන්නේ නම් පොලීසිය අදාල මාධ්‍ය ආයතනය වෙත ගොස් පරීක්‍ෂණ ආරම්භ කිරීම ය. එහෙත් මෙහි දී රාවය කතුවරයා රහස් පොලීසියට කැඳවීම තොරතුරු වාර්තාකරනයට හා මාධ්‍ය නිදහස ට එල්ල කළ මරු පහරක් වනවාසේ ම කතුවරයාට හා පුවත්පතට අනියම් ලෙස එල්ල කරන ලද තර්ජනයක් ලෙස ද අප සංවිධානය සළකණු ලබයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම වනුයේ අපරාධ වැළැක්වීම හා අපරාධ පිළිබඳ පරීක්‍ෂණ පැවත්විම වුව ද අපරාධයක් නොවන මෙම සිද්ධිය පිළිබඳව රහස් පොලීසියේ මැදිහත්වීම ද ප‍්‍රශ්ණකාරී වේ?

රටේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් පසුගිය දා කොළඹ හයිඞ්පිටියේ පැවති ‘පුරවැසි බලය’ සංවිධානය කළ රැළියේ ප‍්‍රධාන සංවිධායකු වූයේ ද මෙම කතුවරයාය.

රහස් පොලීසියේ මෙම ක‍්‍රියාව තරයේ හෙළාදකින ‘‘මාධ්‍ය නිදහස සඳහා ක‍්‍රියාකාරී කමිටුව’’ මාධ්‍ය නිදහස හා තොරතුරු වාර්තාකරණයට මෙන්ම තොරතුරු දැන ගැනීමේ අයිතියට එරෙහිව රජය දැනුවත්ව එල්ල කරන මෙවැනි ක‍්‍රියාවන් පරාජය කිරීම පොදු ජනතාවගේ ද වගකීමක් බව ප‍්‍රකාශ කර සිටී.“

මෛත්‍රීගෙන් යහපාලනය ලබාගැනීම සදහා  මෙරට ජනතාව විසින් පසුගිය ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ පරාජය කරවීය.

ඉන්පසුව හවුල් ආණ්ඩුවක් අටවා ගත් මෛත්‍රී හා රනිල් වික්‍රමසිංහ  ප්‍රමුඛ යහපාලකයන් දැන් ජනමාධ්‍ය වෙත ක්‍රමයෙන් පියවර තබන්නට අරඹා තිබෙන බව  “මාධ්‍ය නිදහස සඳහා වූ ක‍්‍රියාකාරී කමිටුව“ විසින් කේ.ඩබ්.ජනරංජන රහස් පොලිසියට කැදවීම හෙලාදකිමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයෙන් හගවනු ලබයි.

One thought on “ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කේ. ඩබ්. ජනරංජන රහස් පොලීසියට කැඳවයි

  1. Pingback: pay someone to write report

Comments are closed.