විල්සන් මහතාට දැන් අවුරුදු අසූවකට ආසන්නය. දෙපයින් නැඟිට ඇවිදීමට තරම් තවමත් සිරුරේ ශක්තිය තිබුණත් සැරයටියක් නැතිව වැඩි දුරක් යාමට සිතේ විශ්වාසයක් නැති සේය. ඒ නිසා ගෙයින් එළියට බසින්නේත් සැරයටියක් රැුගෙනය.
”සීනිත් වැඩියි, පෙෂර් එකත් තියෙනවා. අපි දැන් වයසයිනේ ළමයෝ…” ඔහු කියයි.
”සර්… ඇඳුම් මාරු කර ගෙන එන්න. අපි ඉන්නං…”
ඔහු වැඩිය කැමති ‘සර්…’ කියා කතා කරනවාටය. ඒ ඔහු විශ‍්‍රාමික ගුරුවරයෙක් නිසාය. මැදිවියේ හෝ මැදි විය ඉක්මවූවකු ‘ඉස්කෝලෙ මහත්තයා’ යැයි කියා අමතනවාට ඔහු වඩාත් කැමතිය. එහෙත් තරුණයකු හා ළමයකු ‘ඉස්කෝලෙ මහත්තයා’ යැයි කියනවාට කැමති නැත. ඒ ඔවුන් එසේ කියන්නේ කවටකමට යැයි හැෙඟන නිසාය.
අප යන විට ඔහු කළුතරට ගොස් පැමිණ සිටියා පමණි.
”අද තමයි සර්ගෙ පරණ යාළුවො හම්බ වෙන දවස. එයා ඉතින් හැමෝගෙම දුක සැප බලලා එනකං මං ත‍්‍රීවිල් එකත් තියාගෙන බලා ගෙන හිටියා. නැත්තං පැයකට දෙකකට කලින් එන්න තිබුණා. රටට සේවයක් කළ මනුස්සයෙක්නේ. අපි හයර් එක ගන්නෙ නෑ.” ත‍්‍රී රෝද රථය පදවාගෙන ආ තරුණයා කියයි.
”අද සර් හැපී එකේ ඉන්නෙ. මාසෙකට එක දවසයිනෙ එළියට යන්නෙ…” ඔහු යළිත් කියයි.
විල්සන්ගේ බිරිඳ හැරමිටි වාරුවෙන් ගෙතුළ සිට පැමිණියාය. ඒ ගෙදර සිටින්නේ ඔවුන් දෙදෙනා පමණි. ඔවුන්ගේ එකම පුතා කොළඹ රැුකියාවක් කරයි. ඔහු පැමිණෙන්නේ මාසයකට වරක් පමණි.
”පුතා ගැන අපි මොනවා හරි කිව්වොත් කේන්ති යනවා. එයා මාසෙකට විතර සැරයක් ඇවිත් යන්න එනවා නම් තමයි. මෙයාලා පැන්ෂන් එකෙන් තමයි ඔක්කොම කර ගන්නෙ. අහල පහළ ඉන්න අපි ඉතිං උදව් කරනවා.” තරුණයා රහසින් කියයි.
රජයේ සේවකයන්ගේ විශ‍්‍රාම වැටුපට දිගු ඉතිහාසයක් තිබේ. 1815දී ලංකාව යටත් කර ගත් ඉංග‍්‍රීසි ආණ්ඩුවේ සිටි රජයේ සේවකයන්ට විශ‍්‍රාම යාමෙන් පසුව විශ‍්‍රාම වැටුපක් ලැබිණි. යටත් විජිත භාර ලේකම්වරයා ඒ සම්බන්ධව වගකීම දැරුවේය.
එහෙත් විශ‍්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග‍්‍රහය පිහිටුවනු ලැබුවේ 1947 අංක 2 දරන ආඥා පනතේ දෙවැනි වගන්තියෙනි. 1972 මැයි 05 වැනිදා එය සංශෝධනය කරන ලද අතර දැන් ක‍්‍රියාත්මක වන්නේ 2010 අංක 08 දරන පනතෙන් සංශෝධනය වූ විධිවිධානයි.
ඒකාබද්ධ අරමුදලෙන් විශ‍්‍රාම වැටුප් ගෙවනු ලබන අතර ඊට අදාළ කටයුතු 1970.12.23 වැනිදා පිහිටුවනු ලැබූ විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.
වැන්දඹු, අනත්දරු විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය හඳුන්වා දෙන ලද්දේ 1898 තරම් ඈතකදීය. 1983 අගෝස්තු පළමුවැනිදා සිට විශ‍්‍රාම වැටුප් සහිත රැුකියාවක් කරන සියලූ දෙනා වැන්දඹු අනත්දරු විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට දායක විය යුතුය.
විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට 1920දී ලංකාවේ සිටි විශ‍්‍රාමිකයන් ගණන 1200කි. ඔවුන්ට විශ‍්‍රාම වැටුප් ගෙවීම සඳහා රුපියල් 21,55,792.10ක් වැය කර තිබේ.
විල්සන්ගේ සූදානම ආගිය කතා කීමටය. එහෙත් ඊට පෙර ඔහු ප‍්‍රමාද වූ දිවා ආහාරය ගෙන බෙහෙත් බී සිටිය යුතු බව ඇගේ බිරිඳගේ නියමය විය. ඔහු ඊට අවනත විය.
”දෙන්නටම වයසයිනේ. දෙන්නටම සීනියි, පෙෂර් එකයි තියනවා. මිස් පහුගිය දවසක වැටිලා ගොඩක් අමාරු වුණා. වෙලාවට පොතේ සල්ලි වගයක් තිබිලා තියෙනවා.”
විල්සන්ගේ සේවා කාලය අවුරුදු තිහකට වැඩිය. ජාතික ධනය ගොඩනැඟීම සඳහා ඒ කාලය තුළ ඔහුගෙන් සිදු වූ සේවය අතිමහත්ය. රාජ්‍ය, පෞද්ගලික, වතු, ස්වයං රැුකියා ආදී කිසිදු භේදයකින් තොරව සියලූ ශ‍්‍රමිකයන් තම දවසෙන් වැඩිම කාලයක් වැය කරන්නේ ජාතික ධනය ගොඩනැඟීමටයි. එහෙත් ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබෙන්නේ වැටුප ලෙස සොච්චමකි. එවැනි ශ‍්‍රමිකයන් ජීවිතයේ සැඳෑසමයට ළං වන විට ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතතාව ඇති කිරීම විශ‍්‍රාම වැටුපේ අරමුණයි. ඔවුන් විශ‍්‍රාම වැටුප ලෙස නැවත ලබන්නේද ඔවුන් විසින් උපයන ලද, සේවය කරන කාලයේ ඔවුන්ට නොගෙවන ලද වටිනාකම්වලින් කොටසකි. වැඩ කළ නොහැකි මහළු වයසට එළඹුනු විට සෑම ශ‍්‍රමිකයකුටම ජීවිත සුරක්ෂිතතාව වෙනුවෙන් යම් වැඩපිළිවෙළක
රැකවරණය ලැබීමට අයිතිය තිබේ.
”මම දන්න ගොඩක් අම්මලා, තාත්තලා එනවා. එයාලට ළමයි සලකන්නෙ නෑ. පෙන්ෂන් එකෙන් තමයි දෙන්න ජීවත් වෙන්නෙ. ඒක ගන්න එන්නෙත් බැරි බැරි ගාතෙ තනියම.” ඔහු කන්තෝරුව ළඟ ඇසෙන, දකින දේ සිහිපත් කරයි.
2014 වසරේදී 12.4%ක් වූ ලංකාවේ වැඩිහිටි ජනගහනය 2016දී 16% දක්වාත් 2050දී 29% දක්වාත් වැඩි වනු ඇති බව ගණනය කර තිබේ. මෙම නොවැම්බර් මාසයේදී 5,60,303 දෙනකුට විශ‍්‍රාම වැටුප් ගෙවා ඇත. ඊට වැය වී ඇති මුදල රුපියල් බිලියන 13ක් පමණ වේ. මුදල් ඇමැති රවි කරුණානායක අයවැය ඉදිරිපත් කරමින් පැවසුවේ 2005-2014 කාලය තුළ විශ‍්‍රාම වැටුප් සඳහා යන වියදම 170%කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි. ඒකාබද්ධ අරමුදලෙන් විශ‍්‍රාම වැටුප් ගෙවීම ගැටලූවක් වන බව ඔහු කියයි. ඒ නිසා මේ බරෙන් නිදහස් වීමට රජයට තිබෙන අවශ්‍යතාව පැහැදිලිය. අයවැය කතාව ඉදිරිපත් කරමින් රවි කරුණානායක මෙසේ කියයි.
‘කෙසේ වුවද දැනට සේවයේ නියුතු රාජ්‍ය සේවකයන්ට ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමවේදය එපරිද්දෙන්ම පවත්වා ගෙන යන අතර 2016 ජනවාරි 01 දා සිට රජයේ සේවයට බැඳෙන අය සඳහා දායකත්ව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හඳුන්වා දෙනු ලබනවා. එමඟින් ඔවුන් විශ‍්‍රාම ගන්නා අවස්ථාවේදී ඔවුන්ට විශ‍්‍රාම වැටුපක් ගෙවීම සනාථ කෙරෙනවා. එම දායකත්ව අරමුදල් රජයේ විශ‍්‍රාම වැටුප් අරමුදලකට යොමු කෙරෙනු ඇත.’
ජීවිතයේ ආ ගිය තැන් පුනරුච්ඡුාරණය කිරීමේ ආශාවෙන් විල්සන් අප ඉදිරියේ පුටුවක් මත වාඩි වූයේය. අප ඔහුගේ කතාව ඇසීමට සැරසුනෙමු. එහෙත් අප සිත් තුළ කැකෑරෙමින් තිබුණේ වෙනත් අදහසකි.
මුදල් ඇමැතිවරයා පවසන මේ කාරණය සුළුවෙන් තැකිය හැක්කක් නොවේ. වැඩි වන වැඩිහිටි ජනගහනයට විශ‍්‍රාම වැටුප් ගෙවීමට නොහැකි බව රජයේ තක්සේරුව වී තිබෙන බව පැහැදිලිය. මේ නිසා සියවස් දෙකක් පමණ ක‍්‍රියාත්මක වූ විශ‍්‍රාම වැටුපට අත තැබීමට ආණ්ඩුව තීරණය කර තිබේ. එසේ වුවහොත් තවත් අවුරුදු 50කින් පමණ පසුව ජීවිතයේ සැඳෑ සමය ගෙවන විශ‍්‍රාමිකයන්ට අත්වනු ඇත්තේ අද විල්සන්ලාට අත් වී තිබෙන ඉරණමටත් වඩා දුක්ඛිත ඉරණමක් නොවේද?
ජනක තුෂාර