ජාත්‍යන්තර කම්කරු දිනය සමරනු පිනිස වැඩකරන ජනතාව නියෝජනය කරමින් වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන රැසක් කොළඹ සහ දිවයිනේ විවිධ ස්ථානවලදී පෙළපාලි හා රැළි පැවැත්වීමට නියමිතය. එමෙන්ම පාලක ධනපති පාර්ශ්වය නියෝජනය කරමින් එජාප-ශ්‍රීලනිප හවුල හා එහි විපක්ෂය නියෝජනය කරන පක්ෂද මැයි රැළි සංවිධානය කර ඇත.
නව සමසමාජ පක්ෂයේ කම්කරු දින රැළිය කොළඹ ගුණසිංහපුර ප්‍රයිස් පාක් පිටියේද එක්සත් සමාජවාදී පක්ෂයේ රැළිය කොස්ගස් හන්දියේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ‘ජාත්‍යන්තර කම්කරු දින රැළිය‘ පවත්වන්නේ පිටකොටුවේදීය. ජනතා විමුක්ති පෙරමුණ සුපුරුදු පරිදි කොළඹ හැව්ලොක් පෙදෙසේ බීආර්සී පිටියේ මැයි රැළිය පවත්වන බව ප්‍රකාශ කර තිබේ.
කොළඹ නගරයේ මැයි පෙළපාළි ගණනාවක් පැවැතිවෙනු ඇත. ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දින පෙළපාළිය කොළඹ, කොටහේන, රත්නම් පිටියෙන් ආරම්භ වී පිටකොටුවේ, බැස්ටියන් මාවත දක්වා ගමන් කරනු ඇත. ජවිපෙ මැයි පෙළපාළිය සුපුරුදු ලෙස දෙහිවල, එස්.ද එස්. ජයසිංහ පිටියේ සිට ගමන් කරනු ඇත්තේ බී.ආර්.සී. පිටිය දක්වාය. ආණ්ඩුවේ මැයි පෙළපාළිය නගර සභා පිටියේ සිට කැම්බල් පිටිය දක්වා ගමන් ගනු ඇත. ඒකාබද්ධ විපක්ෂයේ මැයි පෙළපාළිය ශාලිකා පිටියේ සිට කිරුලපන වෙත ගමන් ගනු ඇත.
ආණ්ඩුවේ මැයි රැලිය බොරැල්ල, කැම්බල් පිටියේදී පැවැත්වෙන බව ප්‍රකාශිත වන අතර ඊට එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල දේශපාලකයන් සහභාගි වන්නට නියමිතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයාට පක්ෂපාත පිළ නියෝජනය කරන පාර්ශ්වයේ මැයි රැළිය සංවිධානය කෙරෙන්නේ ගාල්ල, සමනල ක්‍රිඩාංගනයේදීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කේන්ද්‍රකරගත් දේශපාලන පක්ෂවලින් ‘ඒකාබද්ධ විපක්ෂයʾ ලෙස කටයුතුකරන පක්ෂ කිහිපයක මැයි රැලිය කිරුලපනදී පැවැතිවීමට සූදානමක් පවතී. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බත්තරමුල්ල, බුද්ධදාස පිටියේත් ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑලියේ සහ උඩරට ජනතා පෙරමුණ තලවාකැලේද මැයි රැලි සංවිධානය කරයි. එසේම ඉලංගෙයි තමිල් අරසු කච්චි, මැයි රැලි දෙකක් කිලිනොච්චියේ සහ යාපනේ පවත්වන්නට කටයුතු කරයි.
මේ අතර වෘත්තීය සමිති කිහිපයක සහභාගිත්වයෙන්, ස්වාධීන වෘත්තීය සමිතිවල ඒකාබද්ධ මැයි දිනයක් සංවිධානය කර තිබේ. ලංකා වෙළෙද, කාර්මික හා පොදු සේවක සංගමය (CMU), ලංකා බැංකු සේවක සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, නිදහස් වෙළෙද කලාප පොදු සේවක සංගමය ආදී වෘත්තීය සමිති මෙම මැයි දින සැමරුමට එක්වේ. එම සමිති, ඩී.ආර්. විජේවර්ධන මාවතේ සහ කොල්ලුපිටිය සිට පෙළපාළි දෙකකින් හයිඩ් පිටියට පැමිනීමට නියමිතය.


