ලංකා හමුදා යුධ සමයේ පොකුරු බෝම්බ භාවිතා කල බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් 22වැනිදා කැබිනට් සම ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේය. ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසි වාරයක් ලංවෙත්ම එවැනි ප්‍රකාශන නිතරම සිදු කෙරෙන බව පවසමින් ඔහු මෙසේ අදහස් දක්වා තිබිණි.
‘ඔවුන් ඔය වගේ පින්තූර කීයක් ඉදිරිපත් කළාද ? ඔය පොකුරු බෝම්බ වල කොහේවත් ගහලා තියෙනවද ශ්‍රී ලංකා හමුදා කියලා. මුලින්ම හොයන්න ඕන මේ දර්ශන ලංකාවේද කියල. දෙවැනි එක ඒවා හමුදාවේ ද කොටි සංවිධානයේ ද කියලා දන්නේ කොහොමද. කවුරු වල දැම්මද කියල කොහොමද දන්නේ. ඒ අය ඒ ගැන ඒ වෙලාවේ නොකිව්වේ ඇයි? බිම් බෝම්බ ඉවත් කරලා දැන් අවුරුදු හයක් විතර වෙනවා’ මේ ජනමාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජන මාධ්‍ය නියෝජ්‍ය අැමති කරුණාරත්න පරණවිතාන ප්‍රකාශ කළේ බිම් බෝම්බ ඉවත් කරන කණ්ඩායම් එවන් දෙයක් හසු වීනම් ඒ ගැන මුලින්ම රජයට දැනුම් දිය යුතු බවයි.
කෙසේවෙතත් ආණ්ඩුව කරන මෙම ප්‍රකාශ යුද්ධාවසානයේ පළාත භාරව එහි සිටි රජයේ ජ්‍යෙෂ්ට වෛද්‍ය නිලධාරියෙක් විසින් නැවත අභියෝගයට ලක් කර තිබේ. යුද්ධයේ අවසාන භාගයේ යුද මුක්ත කලාපයේ රජයේ රෝහල් භාරව සිටි ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වන හිටපු ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයකු වන තුරෙයිරාජා වර්ධරාජා පවසන්නේ ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ සේනා විසින් එල්ල කළ පොකුරු බෝම්බ පමණක් නොව රසායනික ප්‍රහාර වලටත් දෙමළ ජනතාව ගොදුරු වූ බවයි. යුද්ධය සමයේ මුලතිව් දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ඔහු ‘රේඩියෝ ගගන‘ වෙබ්අඩවියට අදහස් දක්වමින් කියා සිටියේ නිති විරෝධී අවි ආයුධ ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව එල්ලවන චෝදනා රජය විසින් ප්‍රතික්ෂේප කිරීම පුදුමයට කරුණක් නොවන බවයි.
පොකුරු බෝම්බ වලට අමතරව පොස්පරස් රසායනික බෝම්බද යොදා ගත් අවස්ථා මෙන්ම ඒ ප්‍රහාර වලට ලක්වූවන්ට කිහිපවර ප්‍රතිකාර කිරීම පිලිබඳවද තමන් සතු අත්දැකීම් තිබෙන බව එම වෙබ් අඩවියට ප්‍රකාශ කළ දොස්තර වර්ධරාජා ඒ පිලිබඳ එක් අවස්ථාවක ඡායාරූපද ගගන වෙබ් අඩවියට වෙත ලබා දී තිබිණි. එසේම මුලතිව් දිස්ත්‍රික්කයේ පොකුරු බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවී මනෝහරන් හා ශර්මා යන රජයේ වෛද්‍යවරු පවා මියගිය බව ඔහු හෙළිකර තිබිනි.


