අලුත් ක්‍රමයකට ණය වාර්තා කරලා – මුදල් ඇමැති විගණකාධිපතිට දෙහි කපයි!

2016.06.24 auditor general gamini wijesinghe

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ක්‍රමවේදයට පිටින් යමින් විගණකාධිපතිවරයා විසින් රාජ්‍ය ණය පිලිබද වාර්තා කිරීම පිලිබදව මුදල් ඇමති රවි කරුණානායක විසින් චෝදනා කර ඇත. මුදල් ඇමැතිවරයාගේ චෝදනාවට පදනම් වන්නේ විගණකාධිපතිවරයා විසින් රාජ්‍ය ණය පිළිබද ගණනය කළ ක්‍රමවේදය ඉන් පෙර විගණකාධිපතිවරුන් අනුගමනය ක්‍රමය නොවන බවට මුදල් අමාත්‍යංශය විසින් සකස් කළ වාර්තාවකි.

රජය විසින් 2015 වසරේ ලබාගෙන තිබෙන සමස්ත ණය ප්‍රමාණය රුපියල් මිලියන 3,349,805 බව විගණකාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට වාර්තාවක් ලබාදීමත් සමග එය එම වසරට අනුමත ණය සීමාව වූ රුපියල් මිලියන 1,780,000 ඉක්මවා යාමක් ලෙස ආන්දෝලනයට ලක් විය. ඒ අනුව හෙළිව ඇත්තේ පාර්ලිමේන්තුව විසින් අනුමත කළ ණය සීමාව ඉක්මවා රුපියල් මිලියන 1,569,805 ණය ලබාගෙන ඇති බවයි. විගනකාධිපතිවරයා විසින් කළ විමර්ශනයකින් පසුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ඉදිරිපත්කර ඇති මෙම වාර්තාව “තත්වාගණන විගණන වාර්තාව” යනුවෙන් හඳුන්වයි. මෙම වාර්තාවෙන් හෙළි වී ඇත්තේ රජය පසුගිය වරේදී අතිවිශාල ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙන බවය. කෙසේ වෙතත් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර  විශේෂ සාකච්ඡාවක් අද(24) පැවැත්වීමට නියමිතය.

ඊයේ (23) ‘සිරස ටීවී නිවිස්ලයින්’ වැඩසටහනට අදහස්දක්වමින් විගණකාධිපතිවරයා පැවසුවේ තමන් ස්වාධීනව ඉදිරිපත් කළ වාර්තාව පිලිබදව තවදුරටත් පෙනී සිටින බව සහ රාජ්‍ය ණය වාර්තා කිරීමේදී පාර්ලිමේන්තුව නොමග යවා ඇති බවට අදහසක් වේ නම් ඒ ගැන සිතන්නට තමන්ටද කරුනු ඇති බවයි.