කටුනායක කම්කරු දඩයම නවතනු! – වෘත්තිය සමිති හඩ නගති

2016.06.24 Katunayaka

වෘත්තීය සමිති දඩයම් කිරීම වහාම නතරකර වෘත්තීය සමිති පිහිටුවීමේ අයිතිය ලබාදෙන ලෙස බලකරමින් කටුනායක නිදහස්‌ වෙළඳකලාප වෘත්තීය සමිති හා දිවයිනේ ප්‍රමුඛ වෘත්තිය සමිති සමග එක්වෙමින් 22වැනිදා සවස ඇවරිවත්ත නගරයේදී උද්ඝෝෂණයක්‌ පැවැත්විය.

පසුගිය දිනවල දිගින් දිගටම කටුනායක කම්කරු ක්‍රියාකාරිකයන්ට පහරදීමේ තත්වයක් උදාවීම තුළ කම්කරු මර්දනයක පෙරනිමිති පහළ වෙමින් පවතින බවට රටපුරා වෘත්තිය සමිති ක්ෂේත්‍රෙය් අවධානය කටුනායක වෙළෙද කලාපය වෙත යොමු විය. ඒ.ටී.ජී. සිලෝන්, ඔකියුපේෂනල්, හයිඩ්‍රාමණි, ග්ලෝබල් ස්‌ටාර්, ස්‌මාට්‌ ෂර්ට්‌, අයි.සී.එල් යන ආයතනවලට මර්දනයේ චෝදනා කරමින් කම්කරු සමිති විසින් පැවැත්වූ මෙම උද්ඝෝෂණයට විශාල කම්කරු පිරිසක්‌ සහභාගි වී සිටියහ.

එක්‌සත් කම්කරු සම්මේලනය, ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය, නිදහස්‌ වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, කාන්තා කම්කරු සහයෝගිතා සංගමය, යන ස්‌වාධීන වෘත්තීය සමිති එකතුව මෙම උද්ඝෝෂණයට එක්වූහ.