කම්කරුවෝ මැක්ඩොනල්ඩ් මූලස්ථානය අත්පත්කරගනිති!

2016.05.27.Macdonalds2

ඇමරිකාවේ ඉලිනොයිස් ප‍්‍රාන්තයේ පිහිටි මැක්ඩොනල්ඩ් ක්ෂණික ආහාර සැපයුම්කරුවන්ගේ මූලස්ථානය ඉදිරිපිට පැවැති දැවැන්ත විරෝධතාවක් නිසා කම්කරැවන් 110ක් අත්අඩංගුවට ගෙන තිබේ. මැක්ඩොනල්ඩ් කම්කරුවන් දහස් ගණනින් ඒකරාශී වී මැක්ඩොනල්ඩ් මූලස්ථානය වටලමින් පවත්වන මෙම විරෝධතාවේ ඉල්ලීම් වන්නේ ඔවුනට ශ‍්‍රම පැයක් වෙනුවෙන් ගෙවන අවම වැටුව ඩොලර් 15 ක් දක්වා වැඩි කරන ලෙස සහ ඔවුන්ට වෘත්තීය සමිති අයිතිවාසිකම් ලබා දෙන ලෙස බල කිරීමයි. අද දින මැක්ඩොනල්ඩ් කොටස්කරුවන්ගේ වාර්ෂික රැස්වීම පැවැත්වෙන අතර කම්කරුවන් මෙකී විරෝධතාව සංවිධානය කර ඇත්තේ ඊට සමගාමීවය.

කම්කරුවන්ගේ මෙම ඉල්ලීම පිළිබඳ අදහස් දක්වන මැක්ඩොනල්ඩ් ආයතනයේ ප‍්‍රධාන විධායක එඩ් රෙන්සි සඳහන් කරන්නේ කම්කරුවන් මෙකී විරෝධතාව රට පුරා ගෙන ගියහොත් ඔවුන් සියල්ල සේවයෙන් පහකොට රොබෝවරු යොදවා ආයතනය ඉදිරියට පවත්වාගෙනය යන බවයි. මැක්ඩොනල්ඩ් යනු ලොව පුරා ව්‍යාප්ත ක්ෂණික ආහාර සපයන බහු ජාතික සමාගමකි. පසුගිය කාලය පුරා මෙවැනි ආයතන මඟින් ක්ෂණික ආහාර නිෂ්පාදනයේ ඒකාධිකාර ගොඩ නගමින් ලාභ මලූ පුරාවාගනිමින් සිටි. නමුත් කොතරම් ලාභ ලැබුවත් එහි කම්කරුවන්ට තම අවම ජීවන තත්වය පවත්වාගෙනයාමට අවශ්‍ය වැටුපක් වත් ලබා නොදේ.

මෙය සූරාකෑම පිළිබඳ කදිම නිදර්ශනයකි. කෙසේ නමුත් මෙහි ප‍්‍රධාන විධායකවරයා මෙහිදී සිදු කරන ප‍්‍රකාශය ඉතා වැදගත්ය. ඔහු පවසන පරිදි මිනිසුන් වෙනුවට රොබෝවරුන් යොදා ගැනීම ඔවුන්ට කළ නොහැක්කක් නොවේ. ඔවුන් මේ කේවල් කරන්නේ කුමක්ද? ඒ අන් කිසිවක් නොව කම්කරුවාගේ ශ‍්‍රමයයි. කම්කරුවන් යනු තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට ඇති එකම පිළිසරණ තමාට ලබාදෙන වැටුප බවට පත්වූ අයයි. ඒ නිසා වැටුප වෙනුවෙන්  ඕනෑම කොන්දේසියක් දරා ගැනීමට ඔවුන්ට බල කෙරී ඇත.

රොබෝවරු යොදා ගැනීම කෙසේ වෙතත් ඒ වෙනුවනට ලංකාව වැනි රටවල රැුකියා විරහිත කම්කරුවන්  ඕනෑ තරම් ඔවුන් කියන වැටුපකට රැකියා කිරීමට මෙකී ආයතන හිමිකරුවන්ට හැකියාවක් ඇත. අද ලංකාව වැනි රටවල ආණ්ඩු ආයෝජකයන් ගෙන්වීම හා රැුකියා ලබා දීම ගැන පාරම්බාන්නේ මෙවැනි සූරාකන්නන්ට තමන්ගේ කාර්යන් සිදු කර ගැනීමට රොබෝ මිනිසුන් සැපයීමට මිස අන් කිසිවකට නොවේ.

ඒ නිසා මැක්ඩොනල්ඩ් කම්කරුවන්ගේ විරෝධය ලාංකීය කම්කරුවන්ද සැලකිය යුතු ප‍්‍රශ්නයකි. ධනවාදයේ පසු කාලීනව වර්ධනය වෙමින් පවතින සේවා ක්ෂේත‍්‍රයේ කම්කරුවන්ගේ ගැටලූ මේ වන විට ලොව පුරා පැන නගිමින් තිබේ. මුලින් මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත ශාලා තුළ වූ සූරාකෑම සේවා ක්ෂේත‍්‍රය දක්වා විහිදීමත් ඒ සමග ඊට අදාලව කම්කරුවන් නිර්මාණය වීමත් මේ අනුව සිදු වෙමින් ඇත. අද ලොව පුරා නැගෙමින් තිබෙන්නේ එකී නව කම්කරුවන්ගේ අරගලයයි.

2016.05.27.Macdonalds1

2016.05.27.Macdonalds