දිගුකාලයක් තිස්සේ ඉටු නොවුණු ඉල්ලීම් වෙනුවෙන් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් ගෙන යන වෘත්තිය අරගලය මර්දනයෙන් මැඩ පවත්වන්නට ආණ්ඩුව දරණ උත්සාහයට විරෝධය පළ කරමින් ‘කම්කරු අරගල මධ්‍යස්ථානය‘ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊයේ(5) දිනයේ සේවයට වාර්තා නොකරන අනධ්‍යන සේවකයන් සේවය හැරගියා සේ සලකන බවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කළ නිවේදනයට මෙසේ කම්කරු වය්‍යපාරයේ විරෝධය පළ කරණ ලදී. කම්කරු අරගල මධ්‍යස්ථානය වෙනුවෙන් එහි සංවිධායක ලේකම් දුමින්ද නාගමුව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.
……………………………………………………………………
වැඩවර්ජන අයිතියට අත නොතබනු!
“මේ වන විට ආරම්භ කර ඇති අනධ්‍යයන සේවක වැඩ වර්ජනයට රාජ්‍ය මර්දනය මුදා හරිමින් ඊයේ දිනයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ අද දින සේවයට වාර්තා නොකරන අනධ්‍යය සේවකයන් සේවය හැර ගියා සේ සලකන බවයි. අනධ්‍යයන සේවකයන් ඉදිරිපත් කර ඇති ඔවුන්ගේ වැටුප් පිළිබඳ ඉල්ලීම්වලට සාධාරණ පිළිතුරක් ලබා නොදීම නිසා මේ වන විටත් වැඩ වර්ජනය දින හතක් ඉක්මවා ඇත. වැඩ වර්ජකයන්ගේ ඉල්ලීම්වලට සාධාරණ පිළිතුරු ලබාදීම පසෙකින් තබා ආණ්ඩුව මේ සැරසෙන්නේ වර්ජකයන්ට මර්දනය මුදා හරිමින් කම්කරු අයිතිවාසිකම් යටපත් කිරීමටයි.
සේවයට වාර්තා නොකරන්නන් සේවය හැර ගියා සේ සලකනවා යැයි කී විට අපට සිහියට නැගෙන්නේ 1980 ජූලි වැඩ වර්ජකයන්ට එජාප ආණ්ඩුව මේ අයුරින්ම මර්දනය මුදා හළ ආකාරයයි. ජූලි වර්ජකයන්ටද එවකට ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ප‍්‍රතිචාර දැක්වූයේ මේ අයුරින්මය. අද වන විට ජයවර්ධනගේ බෑණනුවන් එම භූමිකාවටම අවතීර්ණ වෙමින් සිටී. පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ බොහෝ පොරොන්දු සමාජය මත තැබුවේය. එදා ඔවුන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තළු මරමින් රසවිඳීමට තිබූ රස බොජුනක්ය. එහෙත් අද එය වහකදුරු වී ඇති බව පෙනේ.
වැඩ වර්ජන අයිතිය යනු මූලික අයිතිවාසිකමකි. එම අයිතිවාසිකම උදුරා ගැනීම පැහැදිලිවම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවකි. එපමණක් නොව, වැඩවර්ජනය කිරීමේ අයිතියට එරෙහිව සමාජ මත සැකසීම හරහාත් නීති අණ පනත් හරහාත් අධිකරණ තීන්දු හරහාත් හැම විටම පාලකයෝ සිය උවමනාව ඉටු කර ගැනීමට උත්සාහ කරති. මේ වන විටත් වැඩ වර්ජන අයිතිය මුළුමනින්ම උදුරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවා නම් කිරීමේ බලය සහිත පනතක් ආණ්ඩුව සකස් කරමින් ඇති බවට තොරතුරු ලැබී ඇත. එය එසේ නම් මේ එන්නේ පෙරහැරේ කසකරුවන් විය යුතුය.
ආණ්ඩුව ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන කම්කරු අයිතිවාසිකම් උදුරා ගැනීමේ ගමන් මගට එරෙහිව පුළුල් ජන පෙළ ගැස්මක් ගොඩනැගෙන බව ඔවුන් දැනටමත් දනී. රජයේ සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප් කප්පාදුව, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ රුපියල් 2500 වැටුප් වැඩි කිරීම හරි හැටි සිදු නොකිරීම, වැට් බදු හා බැංකු පොලී හරහා එල්ල කර ඇති ආර්ථික පීඩනය, එට්කා වැනි ගිවිසුම් හරහා ලංකාවේ ශ‍්‍රම බලකායේ වැටුප්තල පහත හෙළීමට දරන උත්සාහය, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම වසර එක හමාරක් තිස්සේ කල් දමා තිබීම, ඊ.පී.එෆ්.-ඊ.ටී.එෆ්. අරමුදල් විවෘත වෙළෙඳපොළේ ආයෝජනයට කැඳවීමේ උවමනාව ආදී කරුණු ගණනාවක් නිසා වැඩකරන ජනතාවගේ වෛරයට වත්මන් පාලනය ලක් වෙමින් තිබේ. මෙම කරුණු ගැන අද සංවේදී නොවන පිරිස් හෙට දිනයේ සංවේදී වෙමින් වත්මන් පාලන ප‍්‍රතිපත්තියට එරෙහිව පෙළ ගැසෙනු ඇත.
ආණ්ඩුවේ මෙම මර්දනය කැඳවෙන්නේ ඉහත සංදර්භය තුළය. ඒ නිසා මේ මර්දනයට එරෙහිවීම වැඩකරන ජනතාව ප‍්‍රමුඛ සියලූ පීඩිතයන්ගේ වගකීමකි. වැඩවර්ජන අයිතිය උදුරා ගැනීමට සැරසෙන මෙම උත්සාහයට එරෙහි වන ලෙසත් සරසවි අනධ්‍යයන සේවක අරගලයට සහාය පළ කරන ලෙසත් සමස්ත වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිමු.“