දකුණේ මෙන්ම උතුරේ ඝාතනයට ලක්වූ ජනමාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරනු!

2016.07.17 isipriya

යුද්ධය අවසන් සමයේ ලිංගික හිංසනයට ලක්ව ඝාතනය කෙරුණු බවට සැක කරන නිවේදිකාවක් හා ගායිකාවක් වූ ශෝබා හෙවත් ඉසෛප්‍රියා ඇතුළු උතුරු හා නැගෙනහිරිදී ඝාතනයට ලක්වූ ජනමාධ්‍යවේදීන්ටද යුක්තිය ඉටු කරන ලෙස උතුරේ මාධ්‍ය වේදීහු ඉල්ලා සිටිති.

‘සංහිඳියා යාන්ත්‍රණයක් සඳහා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය’ (CTFSL) සදහා ජනතා අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන් අගොස්තු 06 වැනිදා පැමිණි ජනමාධ්‍යවේදීන් පිරිසක් යාපනය මහා ලේකම් කාර්යාලයේ, පාර්ශව ගණනාවක සහභාගීත්වයෙන් පැවති රැස්වීමකදී, ඉසෛප්‍රියා පිළිබඳ මෙම ඉල්ලීම ඉදිරිපත් කළහ. දැනට පළව ඇති තොරතුරු වාර්තාවන්ට අනුව 2004 වසරේ සිට රාජපක්ෂ පාලනය අවසන් කරන තුරු ඝාතනයට හෝ අතුරුදහන්වීමට ලක්ව ඇති මාධ්‍යවේදීන් හා මාධ්‍ය වෘත්තිකයන් ගණන 44කි. ඔවුන්ගෙන් අති බහුතරය උතුරු හා නැඟෙනහිරි පළාත් දෙකේ දෙමළ මාධ්‍යවේදීන් ය.

ඉසෛප්‍රියාට මෙන්ම උතුරු හා නැගෙනහිරිදී ඝාතනයට ලක්වූ සිය සහෝදර වෘත්තිකයන්ට හා සෙසු මාධ්‍යවේදීන්ටද යුක්තිය ඉෂ්ඨ කරදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි මෙම අවස්ථාවට ධර්මපාලන් විනෝජිත්, උදයරාසා ෂාලින්, ශ්‍රීරාමචන්ද්‍රන් මජුදරන් සහ යෝගා දයාලන් යන මාධ්‍යවේදීන් පැමිණ සිටියහ. ඔවුන් පවසන්නේ වත්මන්  ආණ්ඩුව පවා උනන්දුවක් දක්වන්නේ දකුණේදී ඝාතනයට හෝ අතුරුදහන්වීමට ලක්වූ සිංහල මාධ්‍යවේදීන් ගැන සෙවීම පමණක් වන බැවින් තමන්ට අභ්‍යන්තර පරීක්ෂණ ගැන විශ්වාසයක් නැති බවකි.

(මූලාශ්‍රය- radiogagana)