කලාකරුවන් යනු තමන් ජීවත්වන පරිසරයේ සිටින ජනතාව සාමාජීය හා සංස්කෘතික වශයෙන් දශමයක් හෝ ඉදිරියට තල්ලු කිරීමට කැපවිය යුතු සමාජයේ පෙරගමන්කරුවන් පිරිසකි. නමුත් අපේ රටේ සිටින සාතිශය බහුතරයක් වාණිජ්‍කරනයවූ කලාකරුවන් තමන් වෙත පැවරී ඇති එම සමාජමය වගකීම ඉටුකරණු තබා තමන් වෙත එවැනි වගකීමක් පැවරී ඇතිද යන්න ගැනවත් දන්නා පිරිසක් දැයි විමසිය යුතුව ඇත. කලාකරුවා තමන්ගේ ජීවනෝපාය වශයෙන් තම දක්ෂතා භාවිතා කිරීමේ වරදක් නැත. නමුත් වාණිජ්‍ය පරමාර්ථයෙන් තමන් විසින් සිදුකරන කලා නිර්මාණ හරහා සමාජය වල පල්ලට ඇද දැමීමට කලාකරුවෙකුට කිසිඳු අයිතියක් නොමැත. එසේම තමන්ගේ කලාත්මක හැකියාවන් ඔස්සේ ඇතිකරගත් පාඨක, ප්‍රේක්ෂක හෝ ශ්‍රාවක සමූහයා තමන්ට පටු වාසි ප්‍රයෝජන ලබා ගත හැකි දේශපාළුවන් පසුපස ගොනුන් රැළක් සේ දැක්කවීමටද කිසිඳු කලාකරුවෙකුට අයිතියක් නැත. නමුත් අතිශය වාණිජ්‍යකරනයවූ හා දේශපාලකයන්ගේ වන්දිභට්ටයන් බවට පත්වූ අපේ රටේ කලාකරුවන් යැයි කියාගන්නා බහුතරයක් පිරිස මේ මොහොතේ සිදුකරමින් සිටින්නේ එම පාප කර්මයයි.
එවැනි පසුබිමක මහා පොළොවේ සැබෑ ස්පර්ශය විඳිමින් පීඩිත ජනයාගේ වධ වේදනා වලින් සහකම්පනය ලබමින් තම කලා නිර්මාණ දැයේ ප්‍රගමනය උදෙසා තිලිණ කරන සැබෑ කලාකරුවන් පිරිසක් ද මේ දිවයිනේ ජීවත්වීම අස්වැසිල්ලකි. “DownTown Pulse” නමින් ඒකරාශී වෙමින් රට කරවන පාලකයන්ගේ තක්කඩිකම් නිර්දය ලෙස විවේචනය කරමින්, පීඩිත ජනතාවගේ දුක් ගින්දර ලොවට හඬගා කියමින් ස්වකීය නිර්මාණ කාර්යයේ යෙදී සමාජය අඟලක් හෝ ඉහළට ඔසවා තබන්නට උත්සාහ දරන අජිත් කුමාරසිරි, චින්තක ගීතදේව හා අමිල සඳරුවන් ඇතුළු සංගීතවේදීන් පිරිසද අයත් වන්නේ එම සීමිත සැබෑ කලාකරුවන් කුලකයටය.
Down Town යන ඉංග්‍රීසි වදනේ සරල අර්ථය වන්නේ ‘නගර මධ්‍යය‘ යන්නයි. නමුත් මේ සංවේදී ස්පන්දන නැගී එන්නේ කිසිඳු භෞතික ස්ථානයක සිට නොවේ. එය සිත් සතන් මුණගැසී අදහස් හුවමාරු කරගනු ලබන පාරභෞතික අවකාශයකි. එම පාරභෞතික අවකාශය තුල ඒකරාශීවන මෙම කලාකරුවන් පීඩිත ජනයාගේ සිත් සතන් තුලින් ජනිතවූ සිතුවිලි වලින් පොහොසත්වී ඔවුන් අතරම සැරි සරයි. සංගීතයේ නව මානයන් ගවේෂණය කරමින් ජනයා මුහුණදී සිටින පීඩනය වදනින් පමණක් නොව නාද රටා හා ශබ්ද මගින්ද ලොවට හඬ නගා පවසයි. මට ඔවුන්ගේ ස්පන්දනය දැනුණේ මිතුරෙකුගේ දැනුම්දීම අනුව youtube වෙබ්අඩවිය ඔස්සේ මෙම අසහාය තරුණ ගායනවේදීන්ගේ ගායනා ශ්‍රවනය කිරීමෙනි. වෘත්තීය සංගීත හෝ සාහිත්‍ය විචාරකයෙකු නොවන මා මෙම ලිපිය ලිවීමට යොමු කලේ ද එම ගායනා ශ්‍රවනය කිරීමෙන් ලද කම්පනයයි.
“ … විඩාපිරි මුවවල්ය
හිඟාකන අතවල්ය
අතනොපා අත පාන
සිනා නැති පොරවල්ය
මග දෙපස කොඩි වැල්ය
මුව සිනහ මන ලෝලය
ගාඩ් පිට ඇමතිවරු
ඇදෙන හැටි ආතල්ය
සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට ගොස් ඇති ලෝකයේ බොහෝ රටවල් හා නිර්මාණ කරුවන් තම නිර්මාණ සඳහා උපයෝගී කරගෙන ඇත්තේ පීඩිත සමාජ පන්තිය මුහුණ දෙමින් සිටින ඛේදනීය ඉරණමය. නමුත් අප සමාජයේ බොහෝ ආකර්ෂණය දිනාගත් කලාකරුවන් තම නිර්මාණ සඳහා සමාජ යථාර්තය පාදක කර ගෙන නැත. ඔවුන් විසින් සිදුකර ඇත්තේ තම පාඨක, ප්‍රේක්ෂක හෝ ශ්‍රාවක ජනතාව මායාවක මංමුලා කිරීමය. එයින් නොනැවතී තමන්ට ධන නිල බලය ලබාදෙන තක්කඩි දේශපාලකයන් වෙනුවෙන් නිරුවත්ව කඩේ යමින් මුළු මහත් සමාජයද එකී දුර්දාන්ත ගමන් මගේ කැඳවාගෙන යාමය. එවන් පසුබිමක චින්තක ගීතදේව වැනි Down Town කලාකරුවන් මේ සිදුකරමින් සිටින්නේ සැබෑ කලාකරුවාගේ සමාජමය වගකීම බව ඉතා පැහැදිළිය. ඔවුන්ගේ ගීත ජනතාවගේ සිත් සතන් මහත් සංවේදී ආකාරයෙන් ස්පර්ශ කරන්නේ එබැවිණි.
සියළු බලධාරී දේශපාලන අධිකාරියක් රට කරවමින් අහිංසක අසරණ ජනතාව මත සියළු පීඩනයන් මුදාහරින පසුබිමක එම පීඩනයට ඔරොත්තු දෙමින් ඊට එදිරිව තම නිර්මාණ වලින් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට තරම් එඩිතර කලාකරුවන් සිටින බව අසන්නට ලැබීමත් ඉමහත් සතුටට කරුණකි. ලොව බොහෝ රටවල ජනතා විරෝධී පාලන තන්ත්‍රයන් තුල මේ ආකාරයෙන් එඩිතර කලාකරුවන් ජීවත්වී ඇති අතර ජන මනස සාහිත්‍යයෙන් පෝෂණය කර සැබෑ විමුක්ති අරගලයක් වෙනුවෙන් ජනතාවය මෙහෙයවීමේ බර කරට ගෙන ක්‍රියාකර ඇත්තේ ඔවුන් බව පැහැදිළිය. අප සියළුදෙනාම අවිවාදයෙන් පිළිගන්නා රුසියානු සාහිත්‍ය තුල පවා අති විශිෂ්ඨ නිර්මාණ බිහිවී ඇත්තේ ද එරට සාර්ලා විසින් පාලනය කල යුගයේදී වීම ඊට කදිම නිදසුනකි. සෑම අඳුරු වළාවක් තුලම රිදී රේඛාවක් ඇඳී ඇතිබව එමගින් යළි යළිත් පසක් වුවද අපේ රටේ එම රිදී ඉර මතුවී පෙනෙන්නේ ඉතා යන්තමින් වීම හා එවැනි ජනහිතවාදී කලා නිර්මාණ පොදු ජනතාවගේ සිත් සතන් තුලට කාන්දු වීම සිදුවී ඇත්තේ ද යම් තරමක මන්දගාමී ආකාරයට වීම කණගාටුවට කරුණකි.

“දෙයියෝ දුන්න කොල්ලා
මොකදෑ උඹ මේ කරන්නේ
එයා දුන්න දේ, මට එයා දුන්න දේ තමයි
මම මේ කරන්නේ
දියියෝ දන්න කලාපේ
දෙයියෝ දුන්න ජීවිතේ
දෙයියෝ දන්න ඉරණමේ
ඉන්න දෙන්න නිදහසේ …
තමන් නොදන්නා පිරිසක් විසින් හසුරුවනු ලැබ, තමන් නොදන්නා පිරිසක් විසින් ඇතිකරන ලද බලාපොරොත්තු ගොන්නක් හිස දරාගෙන ඔසවන්නට බැරි තරම් බර හිස මත රඳවාගෙන උන්මන්තකයන් මෙන් ජීවිත ගමන තුල ඔබ මොබ සරණ බහුතර ජනතාවකගේ සිතුම් පැතුම් ඉහත සඳහන් ගීපද තුල උපහාසාත්මකව ගැබ්ව ඇති බව වැටහීමයි. ඒ ආකාරයෙන් ‘දෙයියෝ දන්න ඉරණමේ’ නිදහසේ ඉන්නට උත්සාහ කිරීම හැර ඉරණම වෙනස් කිරීමේ මාර්ගයට අවතීර්ණ වීමට අප බොහෝ දෙනා උත්සාහ නොකරන බව සැබෑවකි. ඒ වෙනුවට අප සිදුකරමින් සිටින්නේ දුකම සතුටක් ලෙස සිතමින් වින්දනය කිරීම නොවේද ? නැතහොත් තමන් වෙත අනුන් විසින් පවරණ ලද ඉරණම ලබා උපන් හැටි යැයි පවසමින් ඉවසා සිටීම නොවේද? එම අවාසනාවන්ත තත්ත්වය Down Town කලාකරුවන් විසින් ඉහත ආකාරයෙන් ගායනා කලද එම ගීවලින් කියැවෙන අර්ථය අවබෝධකර ගැනීමට අපේ රටේ පොදු ජන විඥානය කොතරම් දුරට සමත්ද යන්න ගැටළුවකි.
“සාපලත් සඳට තරහින් හීන වීසි කරන
පාපලත් මිනිස් අහිනක කයිවාරු ඇහෙනවද
කා බිබී නටන – රමණය ජීවිතය කියන
පාරේ යන සෙනග දෝතින් සාදු කියනවද …
ඒ අප හැම දෙනාම මේ මොහොතේ මුහුණදී සිටින සමාජ යථාර්ථය පිළිබඳ DownTown Pulse කලාකරුවන්ගේ කියැවීම වුවද සමාජයේ කලාකරුවන් ලෙස පෙනී සිටින කීදෙනෙක් ඒ ගැන නොසඟවා ගී පදවැල් ලියා තිබේද? කී දෙනක් ඒ ගැන නොබියව ගී ගයා තිබේද? කලාව මෙතරම් සෝදා පාළුවට ලක්ව ඇති යුගයක තරුණයන් පිරිසක් සමාජ ශෝධනය සඳහා මේ දරන තැත කොතරම් වටිනවාදැයි සිතෙන්නේ එබැවිණි.
“මේක නෙවෙයි ජීවිතේ
වෙනසක් නෑ දූපතේ
යතුර තියාගෙන අතේ
ඉන්නවා අපි හාමතේ…
බොහෝ දෙනෙකු මෙවැනි යථාර්තවාදී කලා නිර්මාණ ‘විකල්ප’ ලේබලය අලවා ලඝුකොට පසෙකින් තැබීමට කටයුතු කරති. නමුත් සැබෑ සමාජ යථාර්තය පිළිබිඹු කෙරෙන මෙවැනි කලා නිර්මාණ විකල්ප නම් ඊට සමාන්තරව අපට එදිනෙදා ජීවිතයේදී දකින්නට ලැබෙන බොහෝ නිර්මාණ සාප්‍රදායික කලා නිර්මාණ විය යුතුය. විචාරකයන් විසින් සම්භාව්‍ය කලා නිර්මාණ ලෙස සමාජය ඉදිරියේ ඔසවා තබන්නේ එම සාප්‍රදායික අභව්‍ය නිර්මාණ බව වැටහීමයි. නමුත් DownTown Pulse එවැනි විකල්ප සංගීත ධාරාවක් ලෙස ලඝුකොට සැලකීම කිසිඳු විටෙකත් නොකළ යුතුය. එම සංගීත ධාරාව විකල්ප වන්නේ මේ තාක් දුරට ප්‍රධාන ධාරාවේ ශ්‍රාවක ප්‍රේක්ෂක ජනයා වෙත ලඟා වීමට අපොහොසත්වීම හේතුවෙනි. එසේ සිදුවන්නේ ඔවුන්ගේ ගායන හා වාදන වල ඇති කුමන හෝ අඩුලුහුඬු කමක් නිසා නොවේ. ඔවුන්ගේ සංගීත භාවිතාව තුල නියම ජීවගුණය, නියම ගුණාත්මය, නියම උද්වේගය හා සමාජීය අනන්‍යතාවය පවතී. නැත්තේ දේශපාලකයන් ඇතුළු පාලක පන්තිය අපේක්ෂා කරන හීලෑකම පමණි. එබැවින් පාලකයන් විසින් මෙම නිර්මාණ පොදු ජනතාව වෙත ප්‍රවේශවීමට ඇති මාර්ගය සංවිධානාත්මක ආකාරයෙන් අහුරා ඇත.
“සැමරුම් දින වලට වීර
තාප්ප වල විජේවීර…
බොහෝ දෙනෙකු සිතන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්නෝ වාමාංශික මත දරන්නන් බවය. නමුත් දක්ෂිණාංශික පාලකයන්ගේ වැරදි අඩුපාඩු නිර්දය ලෙස විවේචනය කරන අතර තුරම DownTown Pulse වාමාංශික ව්‍යාපාරවල වර්තමාන වැඩපිළිවෙලද ප්‍රශ්න කරයි.
“නිවැරදි මග ගන්න තොර
හොයමුද අප සැබෑ පාර …
සාන්ද්‍ර අදහස් එක් ස්ථානයක සමූහනය වීමෙන් ආතති ඉහළ යයි. එය පවතින ගතානුගතික ලෝකය විනාශකර එහි නව ලොවක් නිර්මාණය කරන අතිවිශිෂ්ට පිපිරීමකට මඟ පාදයි. ඔවුන් තම නිර්මාණ ඔස්සේ මේ ඇරයුම් කර සිටින්නේ ඒ සඳහා ය. ඒ සැබෑ කලාකරුවාගේ හැසිරීමය. එබැවින් ඔබටත් මේ ස්පන්දනය සංවේදනය වනවාදැයි බලන ලෙස සහෝදරත්වයෙන් යුතුව ඉල්ලා සිටිමි.
සුපුන් ළහිරු ප්‍රකාශ් (සංවාදයට විවෘතයි)