යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට උපරිමයෙන් ආරක්ෂාව තහවුරු කර තිබෙන බැවින් කිසිදු බියකින් සහ සැකයකින් තොරව නිදහසේ තම අධ්‍යාපන කටයුතුවල නිරතවන ලෙස ජනාධිපතිවරයා එම විශ්වවිද්‍යාලයේ උපාධි අපෙක්ෂකයින්ගෙන් ඉල්ලා සිටි බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් ජනමාධ්‍ය වෙත පුවතක් මුදා හැර තිබිණි. පසුගියදා විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුම ගැනත් සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළක් පිළිබදවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ බව ජනපති මාධ්‍ය අංශය සිය නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබිණි.
මෙවැනි ප්‍රකාශයක් කරන්නට ජනාධිපතිවරයාට සිදුව ඇත්තේ යාපනය සරසවියේ සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුම පිළිබද තොරතුරු හෝ ඉන්පසුව ගන්නා පියවර ජනතාව අතර අදහසක් නොමැති තත්වයක් යටතේය. යාපනය විශ්ව විද්‍යාලය යළි ආරම්භ කළද එහි අධ්‍යයන කටයුතුවලට තම දරුවන් යවන්නට තරම් සෑහීමකට පත් විය නොහැකි බවට ඇතැම් මවුපියන් ප්‍රකාශ කර තිබිණි. එහෙත් යාපනය විශ්ව විද්‍යාල පාලක සභාව හා ශිෂ්‍ය සංගම් සමග කළ සාකච්ඡාවලින් පසුව ප්‍රශ්නය විසදුණු බවට අධ්‍යාපන ඇමැතිවරයා ෙවනුවට යාපනේ විශ්ව විද්‍යාලය බලා ගිය වෙනත් ඇමැතිවරු කළ ප්‍රකාශ ගැන ප්‍රශ්නයක් තිබිණි. යාපනයට යන්න බයවෙන්න එපා යැයි කියන්නේ ‘මීට කළින් යාපනේ සරසවිය බියකරු තැනකි, දැන් එය දමනය කර ඇත!‘ වැනි අදහසකින් බව පැහැදිලිය. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව මෙවැනි සිදුවීමකදී ප්‍රකාශ නිකුත් කරන්නට යාමම ප්‍රශ්නය දේශපාලනික බව පෙන්වන නිදර්ශකයකි.
ජනතාව විසින් අපේක්ෂා කළ කිසිවක් ඉටු නොවන පසුබිමක යුක්තිය ඉටු කිරීමක් ගැන කියන්නට දෙයක් ආන්ඩුවටද නැත. උතුරේ ජනයාගේ ඉඩම් තවමත් හමුදා බාරයෙන් නිදහස් කර නැත. රාජපක්ෂ පාලනය විසින් උතුරේ හා නැගෙනහිර ස්ථාපිත කළ මිලිටරි මැද්හත්වීමද සිවිල් පාලනයක් දක්වා වෙනස් කරන්නට ආන්ඩුවේ වුවමනාවක් පෙනෙන්නට නැත. ‘ත්‍රස්තවාදී සැකකරුවන් මිස දේශපාලන සිරකරුවන් නැතැ‘යි කියමින් යුද සමයේ සහ යුද්ධය අවසානයේ අත්අඩංගුවට ගත් හා පැහැර ගත් ජනතාවට යුක්තිය ඉටු කිරිමට ආණ්ඩුව සූදානම් නැත. අතුරුදන්කළ තරුන කරුනියන් ගැන යුක්තිය ඉටුකරන බවක්ද නැත. මෙවැනි ඉටු නොකළ තත්වයන් යටතේ ආණ්ඩුව තවමත් උතුරේ පාලනය ගෙනයන්නේ බලහත්කාරය තුලිනි.
ජූලි 16වැනිදා යාපනය විශ්වවිද්‍යාලය තුල හටගත් ගැටුම ආණ්ඩුවේ ජනමාධ්‍යවලින් වන් කර එහි ඇත්ත තොරතුරු වසන් කළ ආණ්ඩුව ඉන්පසුව සරසවි ශිෂ්‍යයන් මර්දනය කර ඔවුන් මතු කරන ප්‍රශ්න පාගා දම බලය තහවුරු කිරිමේ සිය සුපුරුදු සෙල්ලම කරන්නට අර ඇදි බව රහසක් නොවේ. කෙසේවෙතත් යාපනේ සිදුවීම හමුවේ විවිධ පාර්ශ්ව විසින් කළ සාධනීය මැදිහත්වීම සහ විශේෂයෙන් මර්දනය කැදවීම තුළුන් වෙනත් විශ්වවිද්‍යාල තුළ ජාතිවාදය වැපිරවීමට ගත් උත්සාහයන් ව්‍යාර්ථ කිරීමට ශිෂ්‍ය වයාපාරය කළ මැදිහත්වීම තුළ ආණ්ඩුවට දෙවරක් සිතා බලන්නට සිදු විය.
ශිෂ්‍ය ප්‍රජාව අතර ඇතිවන ගැටුම් පොදු සමාජයේ ප්‍රචණ්ඩත්වයේ ප්‍රකාශනයක් මෙන්ම දේශපාලනයේද ප්‍රකාශනයක. ජාතිවාදී ගැටුමක් ඇතිවන මට්ටමේ මැදිහත්වීම් රට පුරාම දක්නට ලැබෙන තත්වයක් තුළ යාපනේ සිදුවීම අපේක්ෂා නොකළ තත්වයක්ද නොවේ. කෙසේ වෙතත් දකුනේ ශිෂ්‍යයන් උතුරේ ශිෂ්‍යයන් සමග සමගිවීමෙන් වලක්වා තබන්නට ඇතැම් ජාතිවාදීන් හා පාලක පන්තියේ වුවමනාවන් ඉටු කරන කණ්ඩායම් දැරූ උත්සාහය තාවකාලිකව යටපත්ව තිබේ. එහෙත් යුද්ධයෙන් පසුව මහත් පීඩාවන් මැද දිවිගෙවන ජනතාව හැමදාමත් රැවටිල්ලට හා මර්දනයට යටපත් කර තබාගන්නට පාලකයන් කල්පනා කරනවා නම් සරසවි සිසුන්ට කොහොම වතත් පාලකයන්ට නම් ‘උපරිමයෙන් ආරක්ෂාව තහවුරු කර‘ ගන්නට සිදුවනු ඇත.
ජනාධිපතිවරයා විසින් දකුනේ සිංහල ශිෂ්‍යයන්ගේ මවුපියන් ගෙන්වා ‘ආරක්ෂාව තහවුරු කළා‘ වැනි ප්‍රකාශ නිකුත් කළද යාපනේ සරසවි ශිෂ්‍ය ප්‍රජාව අතර සමගිය වර්ධනය කෙරෙන කිසිවක්ම ආණ්ඩුව සිදු කර නැත. ඒ වෙනුවට බුද්ධි අංශ සාමාජිකයන් යවා, මර්දනයේ දැල එළනු ලැබ තිබේ. අධ්‍යාපන අයිතින් වෙනුවෙන් සටන් කරන හා ඉදිරියේදී වඩාත් තීව්‍ර අරගලයකට පෙරමග ලකුණු පෙනෙන තත්වයක සිය ශිෂ්‍ය දරු දැරියන් වෙනුවෙන් අරගල බිමට පැමිණීමට රටේම මවුපියන්ට සිදුව ඇත.