පිස්සු නැත්නම් ශෝක්

nice-free-fox

මාධ්‍ය වලට දවසින් දවස අලූත් සිදුවීම් තලූ මරන්නට ලැබෙන අතර ත‍්‍රාසය දනවන සිදුවීම් නිසා යලිත් ප‍්‍රවෘත්ති වල ”රේටින්” ඉහල ගොස් තිබේ. ඇඹිලිපිටියේ සිදුවීම පිලිබඳ සී සී ටී වී දර්ශන පෙන්වා අත සෝදා ගැනීමටත් පෙර ඥානසාර හිමිගේ සටන් ජවනිකාවේ උණු උණු දර්ශන මාධ්‍ය වලට ලැබී ඇත. කලකට පෙර මහා සමාජ ආන්දෝලනයක් නිර්මාණය කළ සේයා ඝාතනය, විද්‍යා ඝාතනය ගැන දැන් කවුරුත් අසන්නේ නැත. මොනවා හෝ ප‍්‍රවෘත්තියක් ඒ ගැන නිර්මාණය වුවද මාධ්‍ය වලින් ඒ ගැන ප‍්‍රමුඛතාවයක් ලැබෙන්නේද නැත. සතියකට එක් මාතෘකාව බැගින් ආහාරය සඳහා ලැබෙන සශ‍්‍රීක අවදියක රස විඳින මාධ්‍ය වල මේ සතියේ ආහාරය ගලබොඩඅත්තේ ඥානසාර හිමිගේ කතා වස්තුවයි. අපට කතා කිරීමට වැදගත් වෙනත් ප‍්‍රමුඛතා තිබියදීම අපටත් ඒ මාතෘකාවෙන්ම කතාව ආරම්භ කළ හැකිය. මේ මාතෘකාව ගැන පාරට බැස සාමාන්‍ය පුරවැසියෙකු සමග සාකච්ඡුා කළහොත් අපට අසන්නට ලැබෙන්නේ එකිනෙකට පරස්පර තර්ක වන අතර උත්ප‍්‍රාස ජනක කරුණ වන්නේ මේ පරස්පරය එකම පුද්ගලයෙකු තුළ පවා ප‍්‍රදර්ශනය වීමයි.

උගුරට හොරා බෙහෙත් කෑම 

ගලබොඩඅත්තේ ඥානසාර හිමි හෝමාගම උසාවියේදී යකා නැටීම සහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත්, එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් සමග තවත් ගිහි-පැවිදි පිරිසක් උසාවිය අසල ප්‍රචණ්ඩකාරීව හැසිරීමත් සිදුවුයේ ආණ්ඩුව භික්ෂු විනය සඳහා නව පනතක් හඳුන්වා දීමත් සමගය. මේ පනත මගින් භික්ෂු විනය පිලිබඳ තීන්දු තීරණ ගැනීමේ සම්පූර්ණ බලය එක් එක් නිකාය වල මහා නායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභා වලට ලැබෙන අතර එම තීරණ පිළිනොපදින භික්ෂුන්ට එරෙහිව රටේ නීතියට අනුව දඬුවම් දීමේ ප්‍රතිපාදන සම්පාදනය කර ඇත. බෞද්ධ භික්ෂු ප්‍රජාව මුළුමනින්ම නිල භික්ෂු නායකත්වයට යටත් කිරීම සඳහාත් ඒ සඳහා රාජ්‍ය බලය භාවිතා කිරීම මගින් ආගම සහ රජය අතර සම්බන්ධය තවත් සංකීර්ණ කිරීම සඳහාත් ගෙන එන ලද මේ පනත සමාජය තුළ සාධාරණීකරණය කරනු ලබන්නේ භික්ෂු විනය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පෙන්වමිනි. ඥානසාර නාටකය වැනි සිදුවීම නිසා මේ විනය පිලිබඳ සංවාදය යලි ඉදිරියට පැමිණ තිබේ. ආණ්ඩුව අලුත් ජවයක් සහිතව සංවාදයට අවතීර්ණ වී ඇති අතර භික්ෂුන් උසාවියේ තාප්ප වලින් පැනීම, බන්ධනාගාර රථ අවහිර කර පාරේ වැතිර ගැනීම ආදී ක්‍රියා බරපතල ලෙස භික්ෂු විනය උල්ලංඝනය වීමක් බවටත් මෙවැනි සිදුවීම නතර කිරීමට රාජ්‍ය බලය භාවිතා කළ යුතු බවටත් බෞද්ධයන් අතර මතයක් නිර්මාණය කරමින් සිටී. මේ අතර බොදු බල සේනාවද ඇතුළු අන්තවාදී අදහස් දරණ කණ්ඩායම් මෙයට පිළිතුරු දෙන්නේ එසේ ප්‍රතිචාර දැක්වීමට බලපෑ මූල හේතු විග්‍රහ කර නොගෙන මේවා හුදෙකලා විනය කඩකිරීමේ සිදුවීම් ලෙස ගත නොහැකි බව කියමිනි.

ඥානසාර හිමිගේ සිදුවීමට පදනම්  වුයේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට එරෙහිව හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව විභාග වන නඩුවයි. මේ නඩුවේදී බොදු බල සේනාව සහ ජනාධිපති මෛත්‍රී දරන්නේ එකම මතයකි. නඩුව ආරම්භයේදීම චුදිත හමුදා භටයන් සඳහා යුද හමුදාව නීති ආධාර ලබා දුන් අතර පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන පැහැදිලිවම විත්තිකාර පාර්ශවයට පක්ෂපාතීව ක්‍රියාත්මක විය. පසුගිය ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිබඳව සාධාරණය ඉටු කරන බවට පොරොන්දු වී බලයට පැමිණි ආණ්ඩුවක් යටතේ මෙවැනි පක්ෂග්‍රාහීත්වයක් සිදුවීම බොහෝ පාර්ශව වල විරෝධයට ලක්විය. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියාගේ බිරිඳ සන්ධ්‍යා එක්නලිගොඩද විවේචනයක් ඉදිරිපත් කළාය. පසුගිය සතියේ බී බී සී ලෝක සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් ජනාධිපති මෛත්‍රී මේ සම්බන්ධයෙන් ප්‍රකෝපකාරී ප්‍රතිචාරයක් දක්වමින් එක්නැලිගොඩගේ බිරිඳ රහස් පරීක්ෂණ පිලිබඳ විශේෂඥවරියක්දැයි ප්‍රශ්න කළේය. බොදු බල සේනාව මෙවැනි ප්‍රකෝපකාරී ප්‍රතිචාරයක් දක්වන්නේ ඒ අතරය. ආණ්ඩුව මේ අන්තවාදයන්ට එරෙහි බව නිල වශයෙන් පැවසුවද මේ පාර්ශව දෙක එකිනෙක පෝෂණය කරමින් සිටින බව පැහැදිලිය. මේ ආකාරයට ආණ්ඩුව මේ සිද්ධිය තමන්ගේ ප්‍රජාතන්ත්‍රවිරෝධී අණ පනත් සාධාරණීකරණය කිරීමට භාවිතා කරන අතර ෆැසිස්ට් පන්නයේ බලවේග මේවා තම බහුජන පදනම් ශක්තිමත් කර ගැනීම සඳහා භාවිතා කරති. මේ සිදුවීමද විනය පිලිබඳ කාරණයකට ලඝු කරනවා විනා හමුදාවට හෝ වෙනත් රාජ්‍ය ආයතනයකට මිනී මැරීමේ අයිතියක් නැති බව කෙලින් කියා ඊට අදාළ සමාජ මතයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන්නේ නැත. සිය නව ලිබරල් ආර්ථික-දේශපාලන වැඩපිළිවෙල ජනතා විරෝධී එකක් බව දන්නා ආණ්ඩුව ඊට එරෙහි ජනතා විරෝධයන් තුලනය කිරීමට උත්සාහ කරන්නේ අගතීන් පැටව් ගස්වමින් මෙසේ තීරණාත්මක සිදුවීම් වලදී උගුරට හොරා බෙහෙත් කෑමෙනි. සමාජය සම්බන්ධයෙන් ගත් කල මෙය අතිශය විනාශකාරීය.

පිස්සු හැදෙන සඳ 

මේ සිදුවීමේදී බොදු බල සේනාව මෙන්ම ආණ්ඩුවේ නිල මතයද නියෝජනය කරන්නේ එකම මතවාදී ධාරාවකි. මේ දෛනික සිදුවීම් දෙස බලා සිටින එම මතය පිළිගන්නා පිරිස් වික්ෂිප්ත වී සිටී. උදාහරණයක් ලෙස ඥානසාර නාටකයෙදී ඔවුන් පැත්තක් ගත නොහැකිව මහා පටලවිල්ලකට ලක්වේ. ඔවුන් එක පැත්තකින් බොදුබල සේනා මතය වන “රණ විරුවන් ආරක්ෂා කර ගැනීම” වෙනුවෙන් භික්ෂුන් ප්‍රචණ්ඩකාරීව හැසිරීම අනුමත කරයි. එසේම භික්ෂු විනය ස්ථාපිත කළ යුතු බවටද මෙවැනි සිදුවීම් පාලනය කිරීමට රජය ඉදිරිපත් විය යුතු බවටද වන ආණ්ඩුවේ මතයද අනුමත කරයි. එකම කාසියේ දෙපැත්ත වැනි ජාතිවාදී ව්‍යාපෘතිය සහ රාජ්‍ය බලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යන විනාශකාරී ව්‍යාපෘති දෙකම එකම දේශපාලන ධාරාවක ක්‍රියාත්මක වන අතර ව්‍යාජ ප්‍රතිවිරෝධයක් ප්‍රදර්ශනය කරන මෙවැනි අවස්තාවක එම ධාරාව නියෝජනය කරන්නන් බරපතල ව්‍යාකූලතාවයකට ලක්වීම වැළක්විය නොහැක. ගලබොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමේ සිදුවීම එම මතවාදී ධාරාවේ සිටින අයටනම් වික්ෂිප්ත භාවය ඇති කරන හරස් පද ප්‍රහෙලිකාවකි. මේ ගැන සිතන විටත් පැත්තක් ගැනීමට සිදුවන විටත් ‘පිස්සු හැදෙන” තත්වයක් ඔවුන්ට උද්ගත වේ.

මෙසේ “පිස්සු හැදෙන” ඉරණමකට ගොදුරු වී සිටින්නේ ජාතිකවාදී දේශපාලන ධාරාවේ අය පමණක් නොවේ. අපි උදාහරණයක් ලෙස ඇඹිලිපිටිය සිදුවීම ගනිමු. එහිදී පොලීසිය පහර දී ගොඩනැගිල්ලකින් බිමට ඇදදමා තරුණයෙකු ඝාතනය කිරීමේ චෝදනාව බොහෝ ලිබරල්වාදීන් අර්බුදයට යවා ඇත. පසුගියදා අසල ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙකු එම සිදුවීමේ සී සී ටී වී දර්ශන මාධ්‍ය වලට ලබා දීමත් සමග මේ සිදුවීමේදී පොලීසිය සැලකිය යුතු මට්ටමේ අත්තනොමතිකත්වයක් සහ ප්‍රචණ්ඩත්වයක් මුදා හැර ඇති බව පැහැදිලිවේ. නමුත් පොලීසිය සැකකරුවන් ආරක්ෂා කිරීමේ උත්සාහයක නිරතව සිටී. අදාළ චුදිතයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණ නියෝගයක් නිකුත් වුයේ සිදුවීමෙන් දින 20කට පමණ පසුවය. මේ සම්බන්ධයෙන් කෙතරම් බලපෑමක් තිබිනිදැයි තේරුම් ගැනීමට මේ ප්‍රමාදයම ප්‍රමාණවත්ය. නමුත් මේ ගැනද මත දෙකක් තිබේ. එක පැත්තකින් ලිබරල් මත දරන්නන් පිරිසක් පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඇඹිලිපිටිය වින්දිතයන්ට සාධාරණය ඉටු විය යුතු බව ප්‍රකාශ කරති. තවත් එවැනිම මත දරන පිරිසක් පවසන්නේ සිදුවීම අනුමත කළ නොහැකි වුවත් සිදුවීම පාවිච්චි කරමින් පොලීසිය පිලිබඳ ජනතා අප්‍රසාදයක් ගොඩ නැගීමද අනුමත කළ නොහැකි බවයි. පොලීසිය වැනි රාජ්‍ය ආයතන වල සුජාත භාවය බිඳ වැටීම රාජ්‍යය පවත්වාගෙන යාමේදී බරපතල ප්‍රශ්නයක් බව ඔවුහු පවසති. මේ සිදුවීමේදී ගත යුතු ස්ථාවරය කුමක්දැයි ලිබරල් මත දරන පිරිස්ද බරපතල ව්‍යාකූලතාවයකට ගොදුරු වී සිටිති. ඔවුන්ට අනුව මෙවැනි සිදුවීම් වල ගත යුතු පැත්ත තීරණය කිරීම “පිස්සු හැදෙන” වැඩකි.

ආණ්ඩුවට හිතවත් පිරිස්ද මේ දිනවල සිටින්නේ පිස්සු හැදෙන පොරපිටියකය. වසර 67කට පසු එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක අරමුණකට එකට එකතුවූ බවට පුරසාරම් දොඩා ආරම්භ කළ හවුල අර්බුදයට යමින් තිබේ. පක්ෂ දෙකේ අය තම තමන් ශක්තිමත් වන සැලසුම් ක්‍රියාත්මක කරමින් භේදය කරලියට ගෙනවිත් තිබේ. ඒ මේ හවුල් ආණ්ඩුවට ආශීර්වාදය පල කළ “සිවිල් බුද්ධිමතුන්ගේ” අනුමානය පරිදි ප්‍රතිපත්තිමය පරස්පරයන් ඇති වීමෙන් නොවේ. එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් මන්ත්‍රීවරුන්ට කුට්ටිය පිටින්ම තනිවම හිමි කරගෙන තනිවම කෑමේ උවමනාව උග්‍ර වී ඇති හෙයිනි. ආණ්ඩුවේ නායකයෝ එකිනෙකාට එරෙහිව අවි අමොරමින් සිටිති. ඥානසාර නාටකයෙදී මෙන්ම මෙහිදීද පාර්ශව දෙකම එකම මතවාදී ධාරාව නියෝජනය කළද මේ ව්‍යාජ ප්‍රතිවිරෝධයෙදී පැත්තක් ගැනීමට අපේක්ෂා කරන්නන්ට හිසරදය ඇති කර තිබේ. පසුගියදා නිමල් සිරිපාල ද සිල්වා පොහොර හිඟයට අදාලව කෘෂිකර්ම ඇමතිවරයා සමග කෙහෙවලු පටලවා ගත්තේය. චම්පික රණවක සහ දයා ගමගේ අතර වාග් සංග්‍රාමයට පසුගිය සතියේ සැලකිය යුතු මාධ්‍ය ආවරණයක් ලැබිණි. ආණ්ඩුවට හිතවත් අය දෙපැත්ත දෙසම බලමින් ව්‍යාකූලව සිටින්නේ කාගේ පැත්ත ගන්නදැයි තීරණය කළ නොහැකි වික්ෂිප්ත භාවයකිනි.

සිද්ධියෙන් සිද්ධියට ස්ථාවරය ප්‍රකාශ කිරීමට හෝ දවසින් දවස වෙන වෙනම විග්‍රහ කර ගැනීමට යන්නෙකුට සැබවින්ම ඇත්තේ “පිස්සු හැදෙන” තත්වයකි. විශේෂයෙන්ම මාධ්‍ය මගින් ව්‍යාජ ප්‍රතිවිරෝධතා අවුස්සන, අපේ ප්‍රමුඛතා මොනවා විය යුතුදැයි මාධ්‍ය විසින් තීරණය කරන සමාජයක මෙය තවත් ව්‍යාකූල වේ. පිස්සු හදා ගන්නේ නැතිව, මොලය අවුල් කරගන්නේ නැතිව සිටීමටනම් සිද්ධියෙන් සිද්ධියට පැන පැන යාම වෙනුවට සමස්තය පිලිබඳ ගැඹුරු විග්‍රහයක් මත පදනම් වූ ස්ථාවරයක් අවශ්‍ය වේ. මෙවැනි මොහොතක පිස්සු හදා නොගෙන සිටීමටත් වමේ දෘෂ්ටි කෝණය අවශ්‍ය වේ. ව්‍යාජ ප්‍රතිවිරෝධතා සහ සැබෑ ප්‍රතිවිරෝධතා වෙන් කර හඳුනා ගැනීමට අවශ්‍යව ඇත්තේ වාමාංශික දේශපාලන පදනමයි. මේ මොහොතේදී මාධ්‍ය වලට අනුව සිතන, එනිසාම ව්‍යාකූල වී සිටින හැම දෙනාටම, අභ්‍යන්තර පරස්පරතා ගැබ් කර ගැනීමම ජාති ලක්ෂණය කරගත් ජාතිකවාදී හෝ ලිබරල් ධනේශ්වර මත දරන හැම දෙනාටම අපට යෝජනා කිරීමට ඇත්තේ යහපත් සිහි කල්පනාව පවත්වා ගැනීම සඳහාවත්, අවම වශයෙන් තමන්ගේම මානසික සෞඛ්‍යය වෙනුවෙන්වත් වමට හැරෙන ලෙසය. ඒ සිද්ධියේදී මෙයා හරි, මේ සිද්ධියේදී අරයා හරි කියමින් සිද්ධියෙන් සිද්ධියට පනිමින් සිටීමේ අවසන් දේශපාලන ප්‍රතිපලය වන්නේ එක හොරු කල්ලියක් වෙනුවට වෙන හොරු කල්ලියක් තෝරා ගැනීමේ, අපේ සමාජය හැමදාමත් වැටුණු වලේ නැවත වැටීමයි. එනිසා මේ ව්‍යාකූලතාවයට පිළිතුරු සෙවිය හැක්කේ එදා වේල ටුවර්ස් දේශපාලනය වෙනුවට ප්‍රතිපත්ති මූලික වාමාංශික දේශපාලනය තෝරා ගැනීමෙනි. එදිනෙදා අත්දැකීමට ඒ පදනම් හරහා මුහුණ දීමෙනි.

Leave a Reply