භික්ෂු විනය පනත සහ නව ලිබරල් බුද්ධාගම

sri_lanka_un_1563566f

ථෙරවාදී කතිකාවත් නීතිගත කිරීමේ පනත හරහා මුළු බුද්ධ ශාසනයම රජයේ පාලනය යටතට ගැනීමේ මෙහෙයුම ගැන අපි පසුගිය සතියේ කතා කළා. ඒ සඳහා නායක හාමුදුරුවරුන් ඇතුළු නිල ධුරාවලිය භාවිතා කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. මේ පනත නීතිගත වීම බුදු සසුන තුළ යම් ප්‍රමාණයකින් හෝ ඉතිරිව තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් කප්පාදු කර මර්ධනයකට සහ අත්තනොමතිකත්වයකට පාර  කපනවා. මෙවැනි පනතක් තිබුනානම් අපායට යන්නට තිබෙන පහසුම මග විහාරාධිපති ධුරයක් දැරීම යයි කවි ලියු යක්කඩුවේ ප්‍රඥාරාම හිමි, නිල ශාසන ධුරාවලියට විරෝධය දැක්වීමට උපසම්පදාව ප්‍රතික්ෂේප කළ උඩකැන්දවෙල සරණංකර හිමි, භික්ෂුන් ජනතාව වෙනුවෙන් දේශපාලන අරගලයේ නිරත වීම අනුමත කරමින් “භික්ෂුවගේ උරුමය” වැනි කෘති ලියු වල්පොල රාහුල හිමි ඇතුළු විකල්ප සම්ප්‍රදායේ චින්තකයන් සියලු දෙනා ඒ දිනවල සසුනෙන් නෙරපන්න ඉඩ තිබුනා. ඒ හිමිවරුන් නිල ධුරාවලියට වගේම රාජ්‍යයටත් ප්‍රහාර එල්ල කළ නිසා නායක හාමුදුරුවරු සහ රජය එකාබද්ධව මැදිහත් වී ඔවුන් මර්ධනය කරන්න ඉඩ තිබුනා. විනය ඉදිරියට දමමින් මේ නීතිගත වෙන්නට හදන්නේ අනාගත විකල්ප භික්ෂු ප්‍රවණතාවයන් මර්ධනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක්. ඒ වගේම රජය සහ ආගම අතර සම්බන්ධය තවත් ශක්තිමත් කරන නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමෙන් පෙනී යන්නේ ලෞකික රාජ්‍ය සංකල්පය () පිළිගන්න මේ ආණ්ඩුවත් සූදානම් නැති බව. ආණ්ඩුව ගැන ඒ කාලයේ විවිධ සුරංගනා කතා කිවූ ලිබරලුන් දැන් සද්ද නෑ.

ඒ අතර මේ පනතේ තවත් ප්‍රශ්නයක් තිබෙනවා. මේ ආණ්ඩුව ලංකාව තුළ නව ලිබරල් ධනවාදයේ දෙවන ඉනිම පිම්මක ආකාරයෙන් ඉදිරියට ගන්න උත්සාහයක සිටින බව රහසක් නෙවෙයි. රජයේ මධ්‍ය කාලීන ආර්ථික වැඩපිළිවෙල වගේම මෙවර අයවැයත් ඒ බව ඔප්පු කරන සාධක. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව 1978දී නව ලිබරල් මෙහෙයුමේ පළමු අදියර ආරම්භ කරද්දී නව ලිබරල් පරිභෝජනවාදී ප්‍රතිපත්තිය සහ සමාජය තුළ තහවුරුව තිබුණු බෞද්ධ සම්ප්‍රදාය අතර ගැටුමක්, ප්‍රතිවිරෝධයක් ඇති වන බව ඔහු කලින්ම දැක්කා. එයට ජේ.ආර්. ප්‍රවේශ වුනේ ජාතිවාදයත් ආගම්වාදයත් හරහා සිංහල බෞද්ධ බලවේග තමන්ගේ ව්‍යාපෘතියට උරා ගැනීමෙන්. එයට උදාහරණ ලෙස 1977 මැතිවරණයේ භාවිතා කළ “ධර්මිෂ්ට සමාජය” සටන් පාඨයේ සිට 1983 කළු ජුලිය දක්වාත්, උතුරට දියත් කළ මිලිටරි මර්ධනයේ සිට සිරිල් මැතිවු භාවිතා කර දියත් කළ ජාතිවාදී ප්‍රචාරය දක්වාත් බොහෝ උදාහරණ දක්වන්න පුළුවන්. මේ මෙහෙයුමට ප්‍රතිවිරෝධය දැක්වූ භික්ෂු ව්‍යාපාරයන් මර්ධනය කළා. ගැටඹේ පන්සල වටා  කටුකම්බි ගැසීමේ සිට තරුණ භික්ෂුන් මහමග ටයර් සෑ වල දැවීම දක්වා බොහෝ උදාහරණ එයටත් දක්වන්න පුළුවන්. නමුත් ඒ මෙහෙයුම එතරම් සාර්ථක වුනේ නෑ. නව ලිබරල් වැඩපිළිවෙල ඉදිරියට යත්ම බෞද්ධ සමාජයෙන් එයට ප්‍රතිවිරෝධයක් ආවා. පසුව ජේ. ආර්.ගේ ව්‍යාපෘතියට එරෙහි අරගල බොහෝමයක ක්‍රියාකාරීන් මේ සමාජ බලවේගයෙන් උපත ලද අය. ඒ විතරක් නෙවෙයි, 1980 දශකයේ අග භාගයේ දියත්වූ සන්නද්ධ අරගලයටත් භික්ෂු සමාජයේ සහ පන්සල්වල සහය හිමි වුනා. ඒ නිසා ලංකාවේ නව ලිබරල් ව්‍යාපෘතිය දියත් කරන්නට යන ඕනෑම පාලකයෙක් බෞද්ධ සම්ප්‍රදායන් තමන්ට අවනත කර ගැනීම ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. මැතිවරණයට පෙර මොන ලිබරල් කතා කීවත් ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛතාව දීමේ වගන්තිය හොලවන්නවත්  රනිල් උත්සාහ නොකරන්නේ ඒ නිසා. ආගමික නිල ව්‍යුහයන්ට රාජ්‍ය බලය සම්බන්ධ කරන නව නීති ගෙන එන්නේ  එනිසා.

මහින්ද රාජපක්ෂ නව ලිබරල් දෙවන ඉනිමට ඇත තියද්දී ජේ.ආර්.ගෙන් පාඩම් ඉගෙන ගත්තා. ඒ නිසා ඔහු එක අතකින් නව ලිබරල් ප්‍රතිපත්තිය දියත් කරන ගමන්  අනෙක් අතින් ජාතිවාදය හා ආගම්වාදය හරහා සිංහල බෞද්ධ බලවේග තම අත්අඩංගුවේ තබා ගැනීමට උත්සාහ කළා. එක අතකින් ගෝලීය ප්‍රාග්ධනයට මාර්ගය විවෘත කරන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර අතිශය පසුගාමී ආකාරයෙන් ජාතිකවාදී කතිකාවතක් හරහා ව්‍යාජ අධිරාජ්‍ය විරෝධයක් නඩත්තු කළා. මේ සියල්ල මැද ඔහු නව ලිබරල් ධනවාදයට ගැලපෙන නව බුද්ධාගමක් සඳහා අනුග්‍රහය ලබා දුන්නා. පසුගිය කාලයේ අසපු බුද්ධාගම, අමුතු බණ සම්ප්‍රදායන් සහිත බුද්ධාගම ලෙස මතුව ඇවිත් මධ්‍යම පාන්තිකයන්ගේ ආකර්ෂණය දිනා ගත්තේ ඒ ව්‍යාපෘතිය. මේ අසපු සම්ප්‍රදාය නව ලිබරල් උමතු පරිභෝජනවාදයත් සංදර්ශනකාමීත්වයත් උපයෝගීතාවාදී ජීවන දර්ශනයත් බුද්ධාගමට උරා ගත්තා. නව ලිබරල් ජීවන රටාවක් ගෙවන අතර කිසි පරස්පරයකින් තොරව බෞද්ධයන් ලෙස පෙනී සිටිය හැකි සම්ප්‍රදායක් බිහි කිරීම මෙහි අරමුණ වුනා. නමුත් එම ව්‍යාපෘතියට සමස්ත බෞද්ධයා ග්‍රහණය කරගත නොහැකි වුනේ නිල බෞද්ධ ධුරාවලිය සහ “ගමේ පන්සල” මේ නව බුද්ධාගමට විරෝධය පල කළ නිසා. මහින්දගේ ව්‍යාපෘතියේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීමේ මෙහෙයුම මහින්දට වඩා වේගයෙන් පිම්මක ආකාරයෙන් සම්පූර්ණ කරන්න හිතාගෙන ඉන්න රනිල් සහ මෛත්‍රී මේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන තමන්ගේම සැලැස්මක් සකස් කර ගනිමින් සිටිනවා. ඒ ජාතිවාදයට උල්පන්දම් දෙමින් මේ ආර්ථික ප්‍රතිපත්තියෙන් අතෘප්තියට පත් බලවේග දිනා ගැනීමට උත්සාහ කිරීමෙන් සහ නව ලිබරල් බුද්ධාගමක් හැදීමේ කටයුත්ත සම්පූර්ණ කිරීමෙන්. මහින්දගේ කාලයේ නව ලිබරල් බුද්ධාගම ජනප්‍රිය නොවුනේ එය නිල මහා සම්ප්‍රදායට පිටින් තිබුණු නිසා. ඒ නිසා මේ ආණ්ඩුවේ සැලැස්ම තිබෙන්නේ නව ලිබරල් බුද්ධාගම නිල සම්ප්‍රදාය බවට පත් කරන්න. ඒක කරන්නනම් නායක හාමුදුරුවරුන් ඇතුළු නිල ධුරාවලිය ශක්තිමත් කර එයත් රජයත් අතර සම්බන්ධය ගොඩ නගන්න ඕන.  මේ පනත කරන්නේ එක.

ආණ්ඩුවේ මේ දැක්ම තවදුරටත් තේරුම් ගන්න අපි රනිල් වික්‍රමසිංහ වසර දෙකකට පමණ පෙර නිකුත් කළ “කලියුගය” පොතේ නව ලිබරල් ධනවාදය සහ බුද්ධාගම අතර සම්බන්ධය ගොඩ නගන ආකාරය බලන්න.

” ඒ මක්නිසාද යත් අද තරම් ක්ෂණ භංගුරතාවය හෙවත් සියල්ල මොහොතින් වෙනස්වන, නැසෙන සුළු බව වෙන කවරදාටත් වඩා දැනෙමින් තිබෙන නිසායැයි මට සිතේ. මේ ලිපිය කියවන ඔබ සතුව පවතින ජංගම දුරකතනයේ ඇති පහසුකම් ඔබ එය මිලදී ගෙන සාප්පුවෙන් එලියට එන නිමේශයට වෙනස්වී තිබීම යථාර්ථයයි. එබැවින් එය පරණ වැඩියයි සිතා යලි සාප්පුවට ගොස් අලුත් කරගෙන එලියට එන මොහොත වනවිට එය තවදුරටත් වෙනස් වී තිබේ. වෙනස්වීම ලොව ලොව පිළිගත් ධර්මතාවක් බවට පත්වී තිබේ. කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, සිතුම් පැතුම් ආදී සියල්ල ඉක්මනින් වෙනස් වන බව කවුරුත් දනිති, අදහති. ථෙරවාදී බුදු දහමේ හරය මෙය නොවේද?”

රනිල් කරන්නේ සමාගම් වල ලාභ ඉපයීම වෙනුවෙන් අද මිලදී ගත් භාණ්ඩය හෙට යල් පැනගොස් ඇති බවට මතයක් හදා අලුතින් තව තවත් භාණ්ඩ විකිණීමේ වෙළඳපල ධනවාදී ක්‍රියාකාරීත්වය බුදු දහමට එකඟ බව තහවුරු කිරීමය.

“ගෝලීයකරණය සංකල්පය දාර්ශනිකව වටහාගත් ප්‍රථම දහම බුදු දහම යැයි සිතමි. එලෙසින් බෞද්ධයන් වශයෙන් නූතන ලෝකය අපට යථා පරිදි තේරුම් ගත හැක්කේ බුදු දහම මත පිහිටා මිස ඉස්ලාම් හෝ කතෝලික හෝ අනෙකුත් ආගම්වල වන දෘෂ්ටීන් හෝ මූලධර්ම මත එල්බගෙන නොවේයැයි සිතමි.”

රනිල්ගේ දැක්ම නව ලිබරල් ධනවාදී ගෝලීයකරණය සහ බුද්ධාගම එකිනෙකට සම්බන්ධ කර නව ලිබරල් ව්‍යාපෘතියට ජනගහනයේ බහුතරය වන බෞද්ධයන්ගේ ප්‍රතිවිරෝධය සමහන් කිරීම බව පැහැදිලිය. නව පනත හරහා කරන්නට යන්නේ මේ සඳහා බෞද්ධ සාසන ව්‍යුහයන්ම භාවිතා කිරීමටය. එනිසා උක්ත පනත ප්‍රජාතන්ත්‍ර විරෝධී වනවා පමණක් නොව නව ලිබරල් ධනවාදයට සමාජය ගොදුරු කිරීමේ හා අවනත කිරීමේ ව්‍යාපෘතියකි.