අද පෙරවරුවේ යාපනය මහාධිකරණයේදී විභාගයට ගත් ලලිත්-කුහන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ නඩුවට අදාලව සාක්ෂි විමසීම සදහා කැදවා තිබු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණය හමුවේ ඉදිරිපත්විය.
උසාවිය හමුවේ ඉදිරිපත්වූ හිටපු අමාත්‍යවරයාට නිකුත් කර තිබූ වරෙන්තුව අද මහාධිකරණය හමුවේ ඉවත් කර ගැනීමට කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාගේ නීතිඥයින් කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා අධිකරණය හමුවේ පෙනී සිටීමේ පදනමින් එම නියෝගය ඉවත් කළේය.
නඩුව මද වේලිවකට කල් තබා නැවත විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂී ලබාදීමේදී භාෂා පරිවර්තකයකු නොමැති නිසා අද දින කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාගෙන් සාක්ෂි ලබා ගැනීමට නොහැකි වීය. පරිවර්තකයෙකු නොමැති නිසා අද දින නඩුව විභාග කිරීමට නොහැකි බව අධිකරණය විසින් දන්වනු ලැබූ අතර, නැවත වරක් මැයි මස 13 වැනිදා දක්වා නඩුව කල්තැබූ මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ එදිනට භාෂා පරිවර්තකයෙකු සම්බන්ධ කරවන ලෙසයි.
මීට ප්‍රථම අවස්ථා කිහිපයකදී කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාට උසාවියට පැමිණෙන ලෙස සිතාසි මගින් දන්වා තිබුනත් එම අවස්ථාවන් කිහිපයකදීම ඔහු අධිකරණය හමුවට පැමිණියේ නැත.
එබැවින් අද දින ඔහුට එරෙහිව අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නියම කර තිබුනි. මෙම නඩුවේ සාක්ෂි ලබාදීම සදහා අවස්ථා කිහිපයකදීම හිටපු අමාත්‍යවරයාට සිතාසි යවා තිබුණත් ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීමට කටයුතු කර තිබුනි.
අද දින මෙම නඩුව සදහා ලලිත් කුමාර්ගේ පියාද කුහන් මුරුගානන්දන්ගේ බිරිද ඇතුළු සිය නීතිඥයින් වන නුවන් බෝපගේ ඇතුළු පිරිසක් නඩුව සදහා පැමිණ සිටියහ.