පසුගිය සතියෙහි ආරම්භ වූ රුසියානු ගුවන් ප‍්‍රහාරයන් සමඟ සිරියාවෙහි සිවිල් යුද්ධය නව අවධියකට එළඹ තිබේ. අමෙරිකා එක්සත් ජනපදය සහ එහි මිතුරන් දැනටමත් රුසියානු ගුවන් ප‍්‍රහාර බරපතළ ලෙස හෙළා දැක තිබේ. මෙහි ප‍්‍රධාන ඇඟවුම කුමක්ද? එක්සත් ජනපද සහ රුසියානු පාලක පන්තීන් අතර ප‍්‍රතිවිරෝධයන් තව දුරටත් ගැඹුරු සහ තීව‍්‍ර වෙමින් පවතින බවයි. ඔවුනට ඇත්තේ තම භූ දේශපාලනික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමේ කොල්ලකාරී උවමනාවන් පමණි. සත්‍ය කරුණ වනුයේ මේ කිසිවකුට සිරියාවෙහි පමණක් නොව ලොවෙහි අන් කිසිදු තැනක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපනය කිරීම පිළිබඳ අබමල් රොනක හෝ අවශ්‍යතාවක් නොමැති බවයි. නිදසුනක් ලෙස 70 දශකය අග භාගයේදී ඇෆ්ගනිස්ථානයෙහි සෝවියට් හිතවාදී තන්ත‍්‍රය පෙරළා දැමීම සඳහා තලිබාන් ඇතුළු මූලධර්මවාදී සන්නද්ධ කණ්ඩායම් බිහිකර පෝෂණය කළ අමෙරිකා එක්සත් ජනපදය සිරියාව තුළදීද එම උපාය මාර්ගයම අත්හදා බලමින් සිටියි. එය සවුදි අරාබියෙහි, තුර්කියෙහි මෙන්ම ඊශ‍්‍රායලයෙහි සහය සහිතව ඉස්ලාමික රාජ්‍ය සංවිධානයෙහි බිහිවීමට අවශ්‍ය පදනම සැකසීය. එපමණක්ද නොව එය පවත්වාගෙන යාම සඳහා වක‍්‍ර ලෙස සහය දක්වමින්ද සිටියි. නමුත් ඇ.එ. ජනපදය ප‍්‍රමුඛ එහි මිතුරන් කියා සිටිනුයේ තමන් ඉස්ලාමික රාජ්‍ය සංවිධානයට එරෙහි අනවරත සටනක යෙදී සිටින බවයි. එය තහවුරු කිරීම සඳහා ඔවුන් ගෙන එන ප‍්‍රධාන නිදසුන වනුයේ ඉස්ලාමික රාජ්‍ය සංවිධානයට එරෙහිව තමන් වර්ෂ 2014 අගෝස්තු 8 වැනි දින ආරම්භ කළ ගුවන් ප‍්‍රහාර මාලාවයි. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන අනුව, පසුගිය සැප්තැම්බර් 15 දින වන විට ඔවුන් ගුවන් ප‍්‍රහාර 7328ක් (ඉරාකය තුළ 4701 සහ සිරියාව තුළ 2621) මෙහෙයවා තිබිණි. එහි වියදම ඇ.ඩො. බිලියන 4කි. සංඛ්‍යාලේඛන කුමක් පැවසුවත් ප‍්‍රහාරයන්හි බලපෑම ඉහළ තලයක නොමැති බැව් පොදු පිළිගැනීමයි. නමුත් පැරණි යුගොස්ලාවියාවේදී තත්වය මීට වෙනස් විණි. මාස 3කදී ඔවුහු තම සතුරා අඩපණ කළහ. (වර්ෂ 1999 මාර්තු 24 සිට ජූනි 10 දක්වා කාල සීමාව*. එබැවින් අමෙරිකා එක්සත් ජනපදයේ සහ එහි මිතුරන්ගේ අභිලාෂය මෙතනදී අතිශයින්ම පැහැදිලිය. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ඉස්ලාමික රාජ්‍ය සංවිධානය යම් පමණකට අඩපණ කොට එය තම අධිකාරය සහ මෙහෙයුම යටතේ පවත්වා ගැනීම පමණි.
රුසියානු පාලකයන් වඩාත්ම සංවේදී වන දේශපාලන නිලයද මෙයයි. එ.ජනපද උපායමාර්ගය තුළ සිරියාවෙහි අසාද් තන්ත‍්‍රය ක‍්‍රමිකව දුර්වල වෙමින් පවතින බව ඔවුනගේ තක්සේරුව වී තිබේ. යම් හෙයකින් අසාද් බලයෙන් ඇද වැටුණහොත් කලාපය තුළ රුසියානු අභිලාෂයන්ද තර්ජනයට ලක් වන බව නොකිවමනාය. ඒ අතරම පැරණි සෝවියට් සංගමයට අදාළ භූ සීමාවෙන් පිටස්තරව, රුසියාවට අයත් එකම නාවුක කඳවුර පිහිටා තිබෙන්නේද සිරියාවේය. මෙම සාධකවල තෙරපුම මත ඍජුවම යුද්ධයට මැදිහත් වනවා හැර වෙනත් විකල්පයක් රුසියාවට නොමැත. එය අමෙරිකා එක්සත් ජනපද අභිලාෂයන්ට වෙනස් ‘ප‍්‍රතිශීලි’ හරයක් ඇති ප‍්‍රයාමයක් බව ඇතැම් වාමාංශිකයන්ගේද අදහසයි. නමුත් එය අතීත සෝවියට් සංගමය හා බැඳුණු ‘නොස්ටැල්ජීය මතිභ‍්‍රමයක්’ පමණි.
තම ගුවන් ප‍්‍රහාර ආරම්භ වූ පසුගිය සැප්තැම්බර් 30 වැනි දින සිට මේ දක්වා තම සතුරු ඉලක්කයන් සියයකට වඩා විනාශ කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියි. නමුත් New York Times, CNN, Wall Street Journal වැනි මාධ්‍ය දිගින් දිගටම අවධාරණය කරනුයේ රුසියාව, සිරියාවෙහි එක්සත් ජනපද පිටුබලය ලබන ‘නූතන’ (Moderate) සටන්කාමී බලවේග වැනසීම ඉලක්ක කරගෙන ඇති බවයි. ඒ අතරම අදාළ ප‍්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන්ද අනතුරට පත්ව ඇති බව ඔවුන් කරන තවත් චෝදනාවකි. සැබැවින්ම ඒවායෙහි ඇත්තේ අර්ධ සත්‍යයකි. රුසියානු ප‍්‍රහාරයන්ට ඉස්ලාමික රාජ්‍ය සංවිධානය පමණක් ඉලක්ක වී නොමැති බව ඔවුන් කියන විට එය සත්‍යයකි. නමුත් එක්සත් ජනපදය ‘නූතන’ යන අවධාරණය යටතේ හඳුන්වන Jaish al-Fateh යන සංවිධානය තුළ ආධිපත්‍යය දරනුයේ Jabhat al-Nusra සහ Ahrar al-Sham යන අල් කයිඩා සංවිධානයට සම්බන්ධ මූලධර්මවාදී සංවිධානයන්ය. එපමණක්ද නොව ඒවා ඉස්ලාමික රාජ්‍ය සංවිධානය සමඟද විවිධ මට්ටම්වලින් ඒකාබද්ධ ක‍්‍රියාමාර්ගවල යෙදී සිටියි. නමුත් අමෙරිකා එක්සත් ජනපදය මෙම කාරණා උවමනාවෙන්ම සඟවයි. ඔවුන් පසුගිය කාල සීමාව තුළ ඉහත කී සංවිධාන සහ සිරියන් නිදහස් හමුදාවට සම්බන්ධ 3,500ක පමණ පිරිසකට අවි පුහුණුව සහ ආයුධ ලබාදී තිබේ. ඔවුන්ගෙන් විශාල පිරිසක් දැන් ඉස්ලාමික රාජ්‍ය සංවිධානය සම්බන්ධව සිටිති. ලබාදුන් ආයුධවලට අත් වූ ඉරණමද ඊට සමානය. එසේ තිබියදී පසුගිය සතියෙහිදී තවත් ටොන් 40ක පමණ ආයුධ තොගයක් සිරියාවෙහි සටන්කාමී කණ්ඩායම් අතට පත් කළ බව පෙන්ටගනය කියා සිටියි. මේ සියල්ලම තිබියදී සවුදි අරාබිය සහ තුර්කියද ඉස්ලාමික රාජ්‍ය සංවිධානයට අවශ්‍ය ආයුධ සහ මුදල් සපයමින් සිටින බව අප අමතක නොකළ යුතුය. තුර්කිය නේටෝවෙහි සාමාජිකයෙක් වන අතර එය මෙන්ම සවුදි අරාබිය එ. ජනපද චිර කාලීන මිතුරන්ය. රුසියානු ගුවන් ප‍්‍රහාර හේතුවෙන් අසාද් තන්ත‍්‍රය ශක්තිමත් වනු දැකීම මේ කිසිවකුගේ අරමුණ නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.
ඒ අතරම ඉහත කී ජනමාධ්‍ය පවසන පරිදි, රුසියානු ප‍්‍රහාර හේතුවෙන් දැනට සිවිල් මරණ වාර්තා වී නැති බව සඳහන් කළ යුතුය. නමුත් ඉදිරියේදී ඒවා සිදු වන බව නිසැකය. එවැනි කාරණාවලදී රුසියාව එක්සත් ජනපදයට වඩා ‘අවිහිංසක’ සහ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ බව කීම විකාරයකි. නමුත් ඉහත කී චෝදකයන් සැහැල්ලූවෙන් මඟ හැර යන බරපතළ කාරණා ගණනාවක් තිබේ. පසුගිය ඔක්තෝබර් 3 වැනිදා එක්සත් ජනපද ගුවන් හමුදාව, දේශ සීමා විරහිත වෛද්‍යවරුන් (Doctors Without Borders) නම් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ කුන්දුස්හි (Kunduz) පවත්වාගෙන යන රෝහලකට දරුණු බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළේය. එමඟින් මිය ගිය සංඛ්‍යාව 22කි. ඊට සතියකට පෙර සවුදි අරාබි ගුවන් හමුදාව යේමනයෙහි ටයිස් නගරයෙහි පැවැති මංගල උත්සවයකට ගුවන් ප‍්‍රහාරයක් එල්ල කොට 130කට අධික සිවිල් වැසියන් පිරිසක් මරා දැමීය. තවත් එවැනි සිදුවීම් ගණනාවකි. නමුත් ඒවා ලඝු වනුයේ හුදු අත් වැරදීම් වශයෙනි. සමස්තයක් ලෙස ගත් විට සිරියානු සිවිල් යුද්ධයෙහි ශේෂ පත‍්‍රය අතිශයින්ම ඛේදනීයය. එය දිග හැරුණු පසුගිය වසර 4 1/2ක පමණ කාලය තුළ 250,000ක පමණ පිරිසකට දිවි අහිමි වී තිබේ. නිවාසවලින් පළවා හැර ඇති පිරිස මිලියන 11 ඉක්මවයි. ඉන් මිලියන 4ක් පමණ සරණාගතයන් ලෙස රට අත හැර ගොස් සිටිති. දරිද්‍රතාව ඉහවහා ගොස් තිබේ. සැබැවින්ම අද වන විට සිරියාව යනු හුදෙක්ම නටඹුන් ගොඩකි.
‘ඔබට ඔම්ලට් අවශ්‍ය නම් බිත්තර පොඩි කළ යුතුය’ යන්න මේ ක‍්‍රියාදාමය පිටුපස ඇති නොකියවෙන ලේ වැකි න්‍යායයි. ඔවුන් ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ යනුවෙන් වර නඟන මේ ඔම්ලටයට තවත් කොපමණ බිත්තර සංඛ්‍යාවක් බිලි දිය යුතුද යන්න අද වන විට මානව සංහතිය ඉදිරියේ ඇති බලගතුම පැනයයි.
ගාමිණී හෙට්ටිපතිරගේ
උපුටා ගැනීම – ජනරළ පුවත්පත

