වැට් බදු පනත තවත් පසුපසට ගනී – සම්මතකර ගැනීම අසීරුයි ලු!

pay-income-tax-online-02

වැට් බදු සංශෝධනය සදහා යෝජිත පනත් කෙටුම්පත අදත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවන බව මුදල් ඇමති රවි කරුනානායක පවසයි. ආර්ථික අර්බුදය හමුවේ වැට් බදු මුදලින් එදා වේල සරිකරගන්නට තැත් කළ හවුල් ආණ්ඩුවේ නායකයන් විසින් ඊයේ දින හදිසියේ මෙවැනි තීරණයකට එළඹීමට බලපාන තත්වයන් ගැනද තොරතුරු හෙළිවෙමින් තිබේ.

වැට් බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංශෝධන පිළිගන්නා තෙක් එම පනත් කෙටුම්පතට සහයෝගය පළ නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැට් බදු කමිටුව තමන් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ ආණ්ඩුව සමග අවසන් එකඟතාවකට පැමිණ නොමැත. මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ සහ මුදල් ඇමිති රවි කරුනානායක අද දින වැට් බදු සංශෝධන පිළිබඳ සාකච්ඡා අවසන් කර තීරණයක් ගැනීමට නියමිත බව ආන්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුව ද වැට් බදු සම්බන්ධයෙන් තනිව කටයුතුකල නොහැකි බවත් සාමුහික එකඟතාවකට පැමිණීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වු දේශපාලන වැඩසටහනකදී ප්‍රකාශ කළේය. එසේම වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත්  පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය, අද රැස්වන පාර්ලිමේන්තුවට කථානායකවරයා විසින් දැනුම්දීමට නියමිතය.