කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස ලැබූ පාසල් සිසුවා පොලිස්පතිට ලිඛිතව පැමිණිල්ලක් කර තිබෙන අතර එම ලිපියේ පිටපත් ජනාධිපතිවරයාට ද යොමු කර ඇත.
තමා අත්අඩංගුවට ගනිද්දී පොලිස් භාරයට ගත් ජංගම දුරකතන, ඩොංගලය, සිම්කාඩ්, අපලවලට දැමූ සුර දෙකක් සහ මැණික් ගල් ඇල්ලූ රිදී ආභරණයක් කොටදෙනියාව පොලිසියෙන් තමාට නැවත ලබා නුදුන් බවට එම ලිපියෙන් චෝදනා කරන ඔහු එම භාණ්ඩ නැවත තමාට ලබා දෙන්නැයි ද ඉල්ලා සිටී.
සිසුවා පොලිස්පතිට සහ ජනාධිපතිවරයාට යැවූ ලිපිය මෙසේය.
“ඉහත නම සඳහන් මා 2015.09.16 වැනි දින උදේ කිසිදු හේතුවක් නැතිව කොටදෙනියාව පොලිසියෙන් අත්අඩංගුවට ගත් අතර 2015.09.19 දක්වා පොලිසියේ රඳවා ගනිමින් පහර දී එදින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කෙරිනි.
පසුව ඔක්තෝම්බර් පළවෙනිදා මා නිදහස් කර මුදා හරිනු ලැබීය.16 වැනි දා මා අත්අඩංගුවට ගනිද්දී මගේ කාමරේ තිබූ ලැප්ටොප් පරිගණකය, මා භාවිත කරන ජංගම දුරකතනය (සිම්පත සමඟ), කැඩුණු ජංගම දුරකතන දෙක, මෘදුකාංග සහ චිත්‍රපට සීඩී කිහිපයක් සහ තවත් සිම් කාඩපතක් ද පොලිස් බාරයට ගත්තේය.
16 වැනි දා සවස මා පොලිසියේ සිටිය දී මාගේ ඩොංගලය ද පොලිසියට ගෙන ආ අතර එදින මා කූඩුවට දැමීමට පෙර මගේ කරේ තිබූ තඹ සුර දෙකක්, අපළ මාලයක් (මැණික් ගල් හතරක් ඇල්ලු රිදී පෙත්තක්) සහ අතේ බඳින නූල් තුනක් පොලිස් බාරයට ගත්තේය.
මාගේ ලැප්ටොප් පරිගණකය අධිකරණයට ඉදිරිපත් කළ බව දැනගන්නට ලැබුණු අතර ඉතිරි භාණ්ඩ මට නැවත නොලැබුණු නිසා 2015 ඔක්තෝබර් 05 සඳුදා සවස මගේ නීතීඥ මහත්මා මා ඉදිරිපිට දී ම කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් උදය කුමාර මහතාට දුරකතන ඇමතුමක් ගෙන එම භාණ්ඩ ගැන විමසන ලදී.
ඒවා නොගත් බව කියමින් ස්ථානාධිපතිවරයා දුරකතනය විසන්ධි කළේය.
ගරු පොලිස්පතිතුමනි, මා සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් ඉහත භාණ්ඩ හැකි ඉක්මනින් නැවත මා හට බාර දෙන ලෙස කොටදෙනියාව පොලිස් ස්ථානාධිපතිට උපදෙස් ලබා දෙන මෙන් ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.”