ඒ ලේ අපේ දෑතෙත්…. 

sadew semini

පසුගිය සතියේ ගම්පහ කොටදෙනියාවේ සේයා නම් පස් හැවිරිදි දැරිය ලිංගික හිංසනයට ලක්කර මරා දැමීම ගැන සමාජ කතා බහක් ඇතිවී තිබෙනවා. එහිදී අප කරන කතා බහේ අමතක කළ නොහැකි පැත්තක් වෙන්නේ මේ සිදුවීමේදී මාධ්‍ය හැසිරීම. මාධ්‍ය මෙවැනි සිදුවීම් වලදී හැසිරෙන්නේ මස් වෙළෙන්දන් වගේ.

ඔවුන් මියගිය අයගේ සිරුරු වගේම මියගිය අයගේ ඥාතීන් ගේ කඳුළු සහ වේදනාවත් තරඟයට විකුණනවා. අන් හැමටම කලින් මල සිරුරු වල නිරුවත් ඡායාරූප පල කරන්න, ලිංගික හිංසනය සිදුවූ ආකාරය ගැන නාට්‍යමය ජවනිකා ලියන්න මාධ්‍ය ආයතන අතර තිබෙන්නේ තරඟයක්. ඒ තමන්ගේ ප්‍රවෘත්තිය ඉහලම ගානකට විකුණා ගන්න සහ තමන්ගේ ආයතනයේ “රේටින්” වැඩි කර ගන්න.

සේයාගේ සිදුවීම ගත්තොත් ඇතැම් රූපවාහිනී නාලිකා ඇගේ මළ සිරුරේ නිරුවත් ඡායාරූප පෙන්වූවා විතරක් නෙවෙයි මිනීමැරුම ගැන සැක අය ගැන කියමින් පොලීසියේ රාජකාරියත් කළා. එක් පුවත් වෙබ් අඩවියක් සේයාගේ මළසිරුරේ විවිධ කෝණ වලින් ගත ඡායාරූප ත්‍රිමාන ක්‍රමයට බද්ධ කරලා නිරුවත් මළ සිරුරු සජීවීව රස විඳින අවස්ථාවත් උදා කරලා තිබුනා.

අපි අද ජීවත් වෙන්නේ සල්ලි සඳහා, ලාභය සඳහා වන තරඟය හමුවේ මනුෂ්‍ය ආචාරධර්ම අමතක කරන යුගයක බවත් මේ යුගය වහාම අවසන් නොකොළොත් අපි සමාජයක් හැටියට ශිෂ්ටාචාරමය විනාශයක් කරා ගමන් කරමින් සිටින බවත් යලි සිහිපත් කරදුන්නේ සේයාගේ සිදුවීම වාර්තා කළ මාධ්‍ය වල ජඩ හැසිරීම. මේක මාධ්‍ය වල ප්‍රශනයක් විතරක් නෙවෙයි, සමාජයේම ප්‍රශ්නයක් කියලා තහවුරු කළේ මේ සිද්ධියේදී අන්තිම  නින්දිත හැසිරීමක නිරතවුණු සමාජ ජාලා වෙබ් අඩවි සකසුවන්. ඒ අය “ඡායාරූප සහිතයි” කියා සිරස්තල යොදමින් කුණු රසය අවුස්සන්න කර තිබු උත්සාහය දකිද්දී මේ සමාජය වෙනස් කළ යුතු බවට වන අපේ අධිශ්ටානය තවත් ප්‍රබල වෙනවා. මේ වගේ ලෝකෙක ජීවත් වෙන්න පුලුවන්ද?

ඒ අතර සිද්ධියෙන් පසු මාධ්‍ය කරන වැඩේ ගැනත් කතා කළ යුතුයි. දැන් ඔවුන් කරන්නේ මේ ගැන “මහජන අදහස්” ගන්න එක. රූපවාහිනී කැමරා ඉදිරිපිට අදහස් දක්වන අය හැම දෙනාම කියන්නේ මෙවැනි අපරාධ වැළක්විය හැක්කේ ඉතාම දැඩි දඬුවම් දීමෙන් කියලා. පොදුවේ හැම දෙනාම කියන්නේ මේ අදහසද, නැත්නම් මාධ්‍ය වල විකාශනය කරන්නේ මරණ දඬුවම යලි ස්ථාපිත කිරීමට පක්ෂ අදහස් විතරද කියලාත් සෙවිය යුතුයි.

මේක සමස්ත සමාජයේම පොදු මතයනම් අපි මුහුණ දී සිටින සමාජ ව්‍යසනය තවත් බරපතලයි. මේ කරන්නේ එක ඛේදවාචකයක් උනාට පස්සේ ඒක ඌන පූරණය කරන්න තවත් ඛේදවාචක නිර්මාණය කරන එක. හැම ප්‍රශ්නයකටම උත්තරය විදියට මරණ දඬුවම නියම කරලා මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න බෑ. ඒකෙන් ප්‍රශ්නය උග්‍ර වෙනවා. මේ කියන විදියට හොරුත් එල්ලන්න ඕන. කාමුකයොත් එල්ලන්න ඕන. යාචකයොත් එල්ලන්න ඕන.ත්‍රස්තවාදීන්වත් එල්ලන්න ඕන. මානසික අසමතුලිත තාවයෙන් පෙලෙන අයත් එල්ලන්න ඕන. අන්තිමට කවුද ඉතුරු වෙන්නේ?

කුඩා දරුවන් අපයෝජනයට ලක්කර මරා දැමීම වගේ අපරාධ වලට බලපාන සංකීර්ණ හේතු සමුදායක් තිබෙනවා. දැන් සේයා ගැන කිඹුල් කඳුළු හෙලමින් සේයාගේ මරණය විකුණන හැම පත්තරයකම ටැබ්ලොයිඩ් අතිරේක වල මුල් පිටුවේ ඡායාරූප වල අරමුණ ලිංගික හැගීම් උද්දීපනය. තරුණියන්ගේ අඟ පසඟ පෙන්වමින් ලිංගික සංඥා දෙනවා. ළමා අපචාර ගැන මේ දවස්වල නොනවත්වා බණ දෙසන විද්‍යුත් මාධ්‍ය තමන්ගේ වැඩසටහන් වල මුඛ්‍ය අරමුණත් ඒකමයි. සේයාගේ ප්‍රවෘත්තිය හරහා ඔවුන් කරන්නෙත් ඒකමයි. මාධ්‍ය හරහා මේ විදියට මිනිස්සුන්ගේ ලිංගික හැගීම් කුපිත කරනවා විතරක් නෙවෙයි, ශිෂ්ට ක්‍රමයකට ඒ අවශ්‍යතා තෘප්ත කර ගන්න අවස්ථාවත් විවිධ ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික සාධක හරහා අහිමි කරලා. ලිංගික අසහනයෙන් පෙලෙන කෙනෙකුට කිසිම විකල්පයක් නෑ. අඩුම ගානේ ඒ වගේ අයට මානසික උපදේශන සේවාවන් සපයන්නවත් විධිමත් වැඩපිළිවෙලක් නෑ. අන්තිමේදී මේ පීඩනය පුපුරා යනවිට ඒ පිපිරීමේ ගොදුරු බවට පත් වෙන්නේ දුර්වලයන්. මෑත කාලයේ වාර්තා වූ ළමා අපචාර වගේම කොටකෙතන වැඩිහිටි කාන්තාවන් එවැනි හිංසනයන්ට ගොදුරුවීම, හමුදා ළමා නිවාසයේ ආබාධිත දැරියන් අපයෝජනයට ලක්වීම වැනි ප්‍රවෘත්ති අපට පෙන්වා දෙන්නේ අවසානයේ මේවායේ ගොදුරු බවට පත් වෙන්නේ කුඩා ළමුන්, වයස්ගතවුවන්, රෝගීන්, ආබාධිතයන් වැනි දුර්වලයන් බව. ඒ නිසා සේයාගේ ඛේදවාචී අත්දැකීම වැඩි කොටසක් සැඟවී තිබෙන සමාජ අර්බුධය නමැති අයිස් බර්ගයේ උඩට පෙනෙන කුඩා මුදුන පමණයි. ලිංගික අසහනයේ හෝ වෙන යම් මානසික අසමතුලිත තාවයක ගොදුරු බවට පත්වූවන්ට මරණ දඬුවම දීලා විසඳන්න බැරි තරම් මේ ප්‍රශනය බරපතලයි.

අනෙක් අතට මේ දිනවල මාධ්‍ය මගින් හදන මතය “මේවට නීති හරියන්නේ නෑ, අපරාධකරුවෝ අපට භාර දෙන්න, අපි ඔවුන් අනෙක් අයටත් පාඩමක් වෙන්න වද දීලා මරන්නම්” කියන එක. සමාජමය ප්‍රශ්නයකට සමාජමය උත්තර හොයන්නේ නැතිව තනි තනියෙන් උත්තර හොයන තැනකට සමාජය දැක්කීම අහම්බයක් නෙවෙයි. ඒක නිශ්චිත දේශපාලන ව්‍යාපෘතියක්.

අපි මේ හැම දෙයක්ම කතා කරන්නේ පියවි සිහියෙන් ජීවිතයට මුහුණ දෙන්න බැරි නිසා මත්වෙන ජාතීන් අතර පළමු ස්ථාන දහයට ඇතුළුවූ රටක කියලා අමතක කරන්න බෑ. ලෝකයේ සිව්වන තැනට සියදිවි නසාගන්නා රට වන තරමට ජීවිත අර්බුදයට ගිය රටක කියලා අමතක කරන්න බෑ. මේ අත්දැකීම වෙන්නේ සෑම හතර දෙනෙකුගෙන් එක අයෙකුම මානසික අසමතුලිතතාවයට ගොදුරුවූ රටක කියලා අමතක කරන්න බෑ. සේයාගේ මරණය වැනි ඛේදවාචක වලක්වන්නනම් මුළු සමාජයම ගලින් ගල ගලවා අලුතින් ගොඩ නැගිය යුතු බවට අපට මේ සිදුවීම තවත් නිමිත්තක්, ප්‍රබල නිමිත්තක්. අපරාධකරුවා එල්ලන්න කලින් ළමයි කියන්නේ කවුද, ආශාවන් කියන්නේ මොනවාද, ආශාවන් සපුරා ගැනීම සහ සමාජමය වගකීම අතර සීමාවන් මොනවාද වැනි ප්‍රශ්න වලට පිළිතුරු සොයමු. අපරාධකරුවාට පළමු ගල ගසන්නට පෙර සේයාගේ මරණයේ ලේ අපේ අත් වලත් තැවරී නැතිදැයි විචාරාත්මකව කල්පනා කරමු.