අමෙරිකානු ජිනීවා යෝජනාවෙන් යුක්තිය ඉටුවෙයිද?

seig al

ලංකාවේ හමුදාව සහ එල්ටීටීඊය විසින් සිදු කරන ලද යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට විවිධ පාර්ශ්ව විසින් යෝජනා ඉදිරිපත් කර තිබිණි.

ඇතැමුන් පටු දේශපාලන අරමුණු සහිත මෙම යෝජනාවට පක්ෂපාතී වූ අතර තවත් පාර්ශ්ව විසින් එම යෝජනාවට එකහෙළාම විරුද්ධ වූයේද එවැනිම ඉතාමත් පටු ජාතිවාදී දේශපාලන ස්ථාවරයන්ගෙන් සිටගෙනය.

නමුත් යුක්තිය හා සාධාරණත්වය අපේක්ෂා කරන කිසිවකුත් ලංකාවේ සිදු වූ යුද අපරාධ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් නොපැවැත්විය යුතු බවට අදහස් කරන්නේ නැත. එහෙත් මෙම ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණය සිදු කළ යුත්තේ කෙසේද කවුරුන් විසින්ද යන්න පිළිබඳව පමණක් ඇතැමුන්ට විවාද පවතී.

ලංකාවේ ආණ්ඩුව (මහින්ද රාජපක්ෂ පාලනය මෙන්ම වත්මන් මෛත්‍රි – රනිල්) පාලනයද පුන පුනා කියා සිටින්නේ ලංකාවේ හමුදාව විනයගරුක වෘත්තීමය හමුදාවක් බවයි. එමඟින් අදහස් කරන්නේ එවැනි හමුදාවක් මඟින් සංවිධානාත්මකව මහ පරිමාණයෙන් කිසිවිටෙකත් යුද අපරාධ සිදු විය නොහැකි බවයි.

නමුත් ඇස් කන් ඇරගෙන ලංකාවේ ජීවත් වූ යුක්තිය හා සාධාරණත්වය අගයන කිසිවෙක් ආණ්ඩුවේ මෙම කතාව පිළිගන්නේ නැත. විටින් විට තැනින් තැන සිදු වුණු ව්‍යුක්ත සිදුවීම් නොසළකා හැරියද 71, 88-89 මෙන්ම 2006-2009 උතුරු නැගෙනහිර යුද්ධයේදීද ඒ සඳහා ඇති තරම් සාක්ෂි ඇත.

එහිදී ලංකාවේ හමුදාව අතින් යුද අපරාධ සිදු නොවූයේ යැයි අඹමල් රේණුවක සැකයක් ඇත්තේ කාටද? එහිදී සිදු වන සිදුවීම් ජාලය මුළු හමුදාවම දනී.

ඒ පිළිබඳ හාන්කවිසියක් නොදන්නා හෝ ඊට කිසිසේත් සම්බන්ධයක් නැති එකම සොල්දාදුවෙක් හෝ ලංකාවේ හමුදාවේ සිටිය නොහැකිය. ඒ තරමටම එය ප‍්‍රසිද්ධ රහසක් මෙන්ම සංවිධානාත්මක ක‍්‍රියාවලියක් විය.

එනිසා හමුදාවෙන් මේ පිළිබඳව විමසා සිටීමේ කිසිදු ප‍්‍රතිඵලයක් නැත. නමුත් මෙරට ජීවත් වන සිංහල, තමිල්, මුස්ලිම් ජනතාවට මේ පිළිබඳව ඕනෑ තරම් සාක්ෂි ඇත.

ඒ පිළිබඳව සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නේ නම් ඇළ, දොළ, ගංගාවල පාවුණු මළ මිනී ගැන, මහ පාරේ දැවුණු ටයර් සෑ ගැන, ජනතාව ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද බර අවි ප‍්‍රහාර ගැන ඔවුන් විසින් ඇසින් දුටු සාක්ෂි ඕනෑ තරම් ඉදිරිපත් කරනු ඇත.

එනිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද්රාද් අල් හුසේන් උතුරේ පිහිටි හමුදා කඳවුරුවල වද හිංසා පැමිණිය හැකි උපකරණ ස්ථිරසාරව සවිකර තිබූ බවටත් ලිංගික හිංසනයන් සිදු කළ බවටත් අතුරුදන් කිරීම් සහ පැහැර ගැනීම් සිදු කළ බවටත් පොදු ජනතාව ඉලක්ක කර ගෙන හිතාමතාම මෝටාර් සහ ෂෙල් වෙඩි ප‍්‍රහාර සිදු කළ බවටත් සාක්ෂි ලැබී ඇතැයි පවසන විට ඒ පිළිබඳව කිසිවෙකුත් විස්මයට පත්විය යුතු නැත.

සැබැවින්ම විස්මයට පත්විය යුත්තේ 88-89 ලංකාව පුරා පවත්වාගෙන ගිය හමුදා කඳවුරුවල තිබූ වධකාගාර ඇසින් දුටු සහ අත්විඳි ඇතැම් පිරිස් ලංකාවේ හමුදාව අතින් උතුරේදී යුද අපරාධ සිදු වූ බවට නැගෙන චෝදනා ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳවය. ඔවුන්ගේ හෘදසාක්ෂිය පිළිබඳවය.
එල්ටීටීඊය අතින් සිදු වූ යුද අපරාධ පිළිබඳවද මීට නොදැවැනි වේ. ඔවුන් සමූල ඝාතනය තුළින්ම තම දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට උත්සාහ ගත් පිරිසකි.

එනිසා ගම්මානවලට පැන සිය ගණන් මිනිසුන් ගැහැනුන් මෙන්ම ළමයින්ද කපා කොටා මරා දැමීමට පවා ඔවුන් කිසිවිටෙකත් පැකිළුනේ නැත. ප‍්‍රසිද්ධ ස්ථානවල සහ දුම්රිය සහ බස්රථ ඉලක්ක කර ගත් බෝම්බ ප‍්‍රහාරයන්ද අඩුවක් නොවීය.

අවසාන වශයෙන් යුද්ධයේදී තමිල් ජනතාව යුද පලිහක් බවටද පත්කර ගන්නා ලදී. ළමයින් කිසිදු වගවිභාගයකින් තොරව සොල්දාදුවන් ලෙස යොදා ගැනීමත් මරාගෙන මැරෙන ඝාතකයන් යුද්ධයේදී යොදා ගැනීමත් කිසිදු ශිෂ්ට සම්පන්න සමාජයක් අනුමත කරන්නේ නැත.

එල්ටීටීඊය විසින්ද වධකාගාර පවත්වාගෙන ගිය බවට ඕනෑ තරම් සාක්ෂි ඇත. එනිසා එල්ටීටීඊය යුද අපරාධ සිදු කළ බවටද ඇසින් දුටු සාක්ෂි පවතී.

එනිසා එක් පැත්තකින් දැන් අවශ්‍ය වන්නේ ලංකාවේ හමුදාව සහ එල්ටීටීඊය විසින් යුද අපරාධ සිදු කළාද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීම නොව සිංහල, තමිල්, මුස්ලිම් ජනතාවට යුක්තිය ඉටුවීම සඳහා එම යුද අපරාධවලට වගකිව යුතු අයට එරෙහිව පියවර ගන්නේ කෙසේදැයි සොයා බැලීමයි.

මෙම ප‍්‍රශ්නයේදී වඩාත් අසරණභාවයට පත්ව ඇත්තේ පටු දේශපාලන වාසියකින් තොරව යුක්තිය හා සාධාරණත්වය අපේක්ෂා කළ මිනිසුන්ය. ඇතැමුන් අවංක ලෙසම ලංකාවේ සිදු වූ යුද අපරාධ පිළිබඳව යුක්තිය හා සාධාරණත්වය ඉටු කරවා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අමෙරිකාව ප‍්‍රමුඛ ලෝක බලවතුන් කෙරෙහිත් විශ්වාසය තබා කටයුතු කරන ලදී.

නමුත් අද ඔවුන්ට සිදු වී ඇත්තේ වඳින්න ගිය දේවාලය හිස මත කඩා වැටුණු තත්වයකට පත් වීමයි. මන්ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලංකාවේ සිදු වූ වේ යැයි පවසන යුද අපරාධ පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් යෝජනා කරන විට මෙවර අමෙරිකාව එය ප‍්‍රතික්ෂේප කර තිබීමයි.

ඒ වෙනුවට ලංකාවට වඩා සහනදායී සංශෝධිත යෝජනාවක් ගෙන ඒමට අමෙරිකාව තීරණය කර ඇත. ඊට ලංකාව සම අනුග‍්‍රහය දක්වයි. මෙමඟින් යෝජනා කරන්නේ හොරාගේ අම්මාගෙන් පේන අසන්නා සේ දේශීය පරීක්ෂණයකට ජාත්‍යන්තර උපදෙස් සහ සහය ලබාදීමයි.

ඒ සඳහා ලංකා ආණ්ඩුව සත්‍ය කොමිසමක්, යුද වන්දි පිරිනැමීමේ කාර්යාලයක් සහ අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීමේ කොමිසමක් යෝජනා කරයි. පසුගිය දා අගමැති රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේ යුද අපරාධ පිළිබඳව නඩුදාන්න ගියොත් ඉවරයක් නැති බවත් එනිසා සත්‍ය කොමිසමේ වාර්තාව පිට වූ පසු ඒ පිළිබඳව ස්ර්ව ආගමික ප‍්‍රධානීන්ගේ අදහස් හා යෝජනා අනුව ක‍්‍රියාකරන බවත්ය.

මෙය හරියටම වුණ දේ වුණා දැන් ඉතින් හෙට ජීවත් වෙන්නෙ කොහොමද කියලා බලමු වගේ යෝජනාවකි. මෙමඟින් බලන කල 71 යුද අපරාධ සිදු විය. 88 – 89ත් එයම සිදු විය. 2006 – 2009 එයම සිදුවී ඇත. මේ හැම අවස්ථාවකම සමහරුන් කල්පනා කරන්නේ එසේය. ඉතින් මෙහි අවසානයක් තිබිය හැකිද?. ජනතාවට ඇති ප‍්‍රශ්නය එයයි.

එනිසා සත්‍ය සොයනවා යැයි පවසා හොරාගේ අම්මාගෙන් පේන ඇසීමෙන් පලක් නොවන බවත් ජනතාවට අවශ්‍ය වී ඇත්තේ යුද අපරාධකරුවන් හෙළිදරව් කොට යුද්ධයේ මිය ගිය අය සඳහා යුක්තිය හා සාධාරණත්වය ඉටුකරවා ගැනීම බවත් අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

Leave a Reply