සංචිත – ක‍්‍රීඩාවේ පදක්කම් සහ කැරට්

SL-Sports

2016 වසරේ පැවැත්වෙන ක‍්‍රීඩා තරගාවලීන් අතර සාෆ් ක‍්‍රීඩා උළෙල සඳහා මේ වන විට විශේෂ අවධානයක් ලැබී තිබේ. මෙවර දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ සත්කාරක රට ලෙස ඉන්දියාව කටයුතු කරන අතර ඇසෑම් ප‍්‍රාන්තය ඒ සඳහා ලහි ලහියේ සූදානම් වේ. මෙවර ආරම්භ වන 12 වැනි සාෆ් ක‍්‍රීඩා සැණකෙළිය පෙබරවාරි 5 වැනිදායින් ආරම්භ වෙයි. තරගාවලි සඳහා බොහෝ රටවල් දැඩි උද්යෝගයෙන් කටයුතු කරනු ලබන බව පෙනී යයි. ලංකාවද මේ වන විට අදාළ තරගාවලිය සඳහා කටයුතු ලහි ලහියේ සූදානම් කරමින් තිබේ.

කෙසේ වෙතත් මෙවර සාෆ් ක‍්‍රීඩා උළෙල සඳහා නිලධාරීන්ද ඇතුලූ ක‍්‍රීඩකයන් 800කට ආසන්න ප‍්‍රමාණයක් සහභාගි වෙතැයි විශ්වාස කළ හැකිය. මේ වන විට අදාළ ක‍්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට අපේක්ෂා කරනු ලබන ක‍්‍රීඩාවන්හි නියැලෙන ක‍්‍රීඩකයන් සඳහා සංචිත පිහිටුවා පුහුණුවීම් සිදු කරගෙන යන බව ක‍්‍රීඩා ඇමැතිවරයා මාධ්‍ය වෙත කියා තිබේ. පසුගියදා (26) කොළඹ පදනම් ආයතනයේ ශ‍්‍රවණාගාරයේදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ ක‍්‍රීඩා නිලධාරීන් අමතා දයාසිරි ජයසේකර ක‍්‍රීඩා ඇමැතිවරයා කරුණු ගණනාවක් ඉදිරිපත් කර තිබිණි. ඉන් ප‍්‍රධාන කාරණාවක් වන්නේ විශේෂයෙන් විනය සහ ශ‍්‍රී ලංකාවේ ගෞරවය රැකගැනීමට ක‍්‍රීඩකයන් කටයුතු කළ යුතු බවට වූ දැන්වීමයි.

එසේම ක‍්‍රීඩාවන් 10ක් සඳහා විදේශීය පුහුණුකරුවන් ලබාදීමට කටයුතු කර ඇති බවද පවසා තිබේ. තමා ක‍්‍රීඩා ඇමැති වී කටයුතු කළ ටික කාලයට මහ වැඩ ගොඩක් කළ බව ඇමැතිවරයා ප‍්‍රකාශ කර තිබේ. ඒ ඇමැතිවරයාගේ පැත්තෙන් කතාය. නමුත් ලංකාවේ ක‍්‍රීඩාවේ පැවතෙමින් ආ තත්වය යනු ජාතික සංගම්වල නිලධාරීන් මාරුවීමෙන් පසු හෝ ක‍්‍රීඩා ඇමැතිවරුන් පත්වීමෙන් පසු කරන්නන් වාලේ කරනු ලබන එක එක වැඩ සටහන්ය. විදේශීය පුහුණුකරුවන් ආනයනය කිරීම මඟින් ලංකාවේ ක‍්‍රීඩාව සංවර්ධනය කිරීමට යෑම තවත් පිස්සුවකි. අඛණ්ඩව පොදු ක‍්‍රියාවලියක් හෝ ප‍්‍රතිපත්තීන් තුළ දීර්ඝකාලීන සංවර්ධනාත්මක වැඩපිළිවෙළක් ස්ථාපිත වීම කුමන හෝ ක‍්‍රීඩාවන්ට මෙතෙක් නොතිබුණු සංස්කෘතියකි. වෙනස් විය යුතු වන්නේ මෙම ස්වභාවයයි. ක‍්‍රීඩාවේ පදක්කම් ලැබීම හෝ ලබා ගැනීම වෙනුවෙන් මහන්සි වීම එකකි. රටක ක‍්‍රීඩාවේ සංවර්ධනාත්මක ගුණාත්මක වර්ධනයන් හරහා පදක්කම් ලැබීම යනු වෙනත් දෙයකි.

ලංකාවේ මෙතෙක් උත්සාහ කර තිබුණේ ක‍්‍රීඩාව සමාජයීයව දියුණු කර උචිත සංස්කෘතික පරිසරයක් නිර්මාණය කිරීමට නොව ක‍්‍රීඩකයන් තෝර තෝරා පදක්කම් පෝළිමේ ඇරීම වෙනුවෙනි. ඒ වෙනුවෙන් සංචිත පිහිටුවීමත් ඒවායේ ගැටලූත් අලූත් අලූත් ක‍්‍රම ඔස්සේ නිලධාරීන් ගසාකෑමත් පෞද්ගලික හෝ කණ්ඩායම් අතර බල අරගලයන්, තීව‍්‍රර වෙමින් තිබිණි. ලංකාවේ කාලයකට පදක්කම් ලැබීමත් තවත් කාලයකට පදක්කම් නොලැබීමත් ගැන දුක හිතෙන ඇඬෙන කතා ඇසීමට වෙන්නේ ස්ථාපිත වූ දීර්ඝකාලීන අඛණ්ඩ සංවර්ධනාත්මක ක‍්‍රියාවලියක් සමස්ත ක‍්‍රීඩා පරිසරයේ ස්ථාපිත නොවන බැවිනි. ක‍්‍රීඩා ඇමැතිවරයා කියා ඇත්තේ 1991න් පසු සාෆ් ක‍්‍රීඩා උළෙලේ පළමු ස්ථාන ලබා නැති බවකි. එසේම 2010 සිට මේ දක්වා ආසියානු ක‍්‍රීඩා උළෙලක පදක්කමක් දිනාගැනීමට නොහැකි වූ බව කියා තිබේ. ඒ ඇයි, මේ අවුරුදු ගණනාවට ලංකාවේ ක‍්‍රීඩා ඇමැතිවරුන් කොපමණ ප‍්‍රමාණයක් සිටියාද ඔලිම්පික් කමිටුවේ යාවජීව අයිතිකරුවන් කොපමණ නම් කයිය ගසා තිබේද ජාතික ක‍්‍රීඩා සංගම්වල නිලධාරීන් කොතරම් නම් කුළල්කාගෙන වැජඹී ඇද්ද. වෙනස් කළ යුතු වෙනස් විය යුතු තත්වය නම් ලංකාවේ මිනිස් භාවිතාවන්ය. ආයතනික භාවිතාවන්ය. සියලූ ක‍්‍රීඩා ඇමැතිවරුන් ජාත්‍යන්තර තරගයක් ළංවෙන විට ක‍්‍රීඩකයන්ට අල්ලස්දීමට ප‍්‍රසිද්ධියේ කතා කරනු ලබයි. මෙවර එය රන් පදක්කමකට ලක්ෂ පහකි. පදක්කමක් ගත්තොත් ලක්ෂ පහක්, තුනක් හෝ එකක් ලැබෙන බව කියයි. ඉන්පසුව ලබා ගන්නා පදක්කම් අභිමුව ටොන් ගණන් මාධ්‍ය විවරණ එයි. රටක ක‍්‍රීඩාවේ සංවර්ධනය සහ පැවැත්ම යනු ක‍්‍රීඩකයන්ට අල්ලස්දී පදක්කම් ලබා ගැනීම නොවන අතර සියලූ ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා තක්සේරු කරමින් ඔවුන් දීර්ඝකාලීනව රැකගන්නා සහ විශ්වාසය ගොඩනංවා ජාතික අභිමානය සහ පුද්ගල අභිමානය සහ වටිනාකම්වල අර්ථය සමාජයීයව ස්ථාපිත කිරීමකි.

ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩකයන් සහ ඔවුන්ගේ ශ‍්‍රමයේ වටිනාකම සමාජයීය පොදු උවමනාවන්ගේ සහ අපේක්ෂාවන්ගේ ඵලය විය යුතුය. ඔවුන් රැකගැනීම ජාතික අවශ්‍යතාවකි. ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත විය යුත්තේ පොදු උවමනාවන් සහ රට වෙනුවෙනි. පදක්කම්වලට මුදල් දීම අල්ලස් දීමක් නොවන්නේ එවිටය. ලංකාවේ ක‍්‍රීඩාවට අල්ලස් සහ කැරට් වෙනුවට අවශ්‍ය වන්නේ වෙනත් භාවිතාවන්ය.

සදිෂ් තුෂාර අධිකාරී